IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


තවමත් ගොන්බැඳි කරත්තයෙන් ආර්ථිකය ගෙන යන මිනිස්සු

වළං කරත්තයක්

 

  • ඒ කාලේ කරත්තෙන් පොළට එළවළු ඇද්දා
  • ටවුන් එකට, වී මලු‍, පොල්, පුවක් ගෙනාවා
  • දැන් ටවුන් එකට දර අරන් එනවා
  • අදත් ජීවත් වෙන්නේ මේ රස්සාවෙන්
  • තාත්තාගෙන් තමයි කරත්ත රස්සාව ඉගෙන ගත්තේ
  • කවදාවත් කරත්තේ අදින සත්තු මසට විකුණන්නේ නෑ
  • දැන් අවුරුදු හතළිහක් මේ කරත්ත රස්සාවට
 
බුල්නෑව ප්‍රදීප් රණතුංග
 
ගිනි අව්වේ ගොන් බැඳි කරත්තයේ නැගී ගමින් ගමට යෑම දින ගණනක් ගතවන ගමනකි. එපරිද්දෙන් සත් කෝරළයේ වාරියපොළ හෝ මහව හෝ දළදාගම නැතිනම් සමහර විටෙක පාදෙනියේ සිට අනුරාධපුරයේ නුවර කලාවියට කරත්තකරුවන් පැමිණි වකවානුවක් තිබිණි. පොල් අතු හය හත්සීයක් එක මත එක ගොඩගැසු කරත්තයක අප්‍රමාණික බර උසුලමින් ගවයෝ වේදනා පිරි දෑසින් මේ ගමනට උරදෙති. අඩුම තරමින් වාරියපොළ සිට අනුරාධපුරයට එන ගමන සැතපුම් සියයකට වැඩිවෙයි. ගිනි මද්දහනත්, සඳ මැදියමත් මේ එන ගමනේ දී කරත්තකරුවන්ගේ නෙත ගැටෙයි.
 
එදා එසේ පැමිණි කරත්තකරුවන් අනුරාධපුර, දෙකේ කණුව හන්දියේ ගවයන් දිගේලි කොට පොල්අතු ගැනුම්කරුවන් එන තෙක් මග බැලීය. ඒ අන්දමින් ගෙපැලි හෙවිළීමට පොල් අතු මිලට ගැනීමට කවරකු හෝ එනතෙක් දින කිහිපයක් එහි රැඳීමට කරත්තකරුවන්ට සිදුවෙයි. මේ දසුන අද වන විට ක්‍රමයෙන් බොඳව ගිය මතක මාත්‍රාවක් පමණක්ම වී තිබේ. වත්මනෙහි එසේ මග ගෙවන කරත්තකරුවකු ඉඳහිට හෝ දකින්නට නැති තරම්ය.
 
අද මහ මගදී ඉඳහිට හෝ කරත්තකරුවකු දැකීම නෙතට උළෙලක්මය. දවස එසේ ගෙවී ගියද අනුරාධපුර, කටුකැලියාව, දීපානිගම ගම්මැද්දේ දිවි ගෙවන ඩබ්ලිව්. නිමල්සිරි මහා සෑයට සාදුකාර දෙමින් තවමත් ගොන් බැඳි කරත්තයේ නැගී දිවි සටන ගෙන යනු ලබයි. මේ නූතන, තාක්ෂණික මෙවලම් මැද සිය ගොන්බැඳි කරත්තයේ නැගී අළුයම දවස අරඹන ඔහු හිරු අඳුරේ ගිලෙන්නට මත්තෙන් දවස අහවර කරයි. එකලස් කරගත් දර කරත්තයේ පොදි බැදගෙන ඔහු ගමෙන් නගරයට එයි. මේ ගමනට දැන් වසර තිහකට වැඩිය. දර විකුණා ලැබෙන ආදායමෙන් නිමල්සිරි පවුලක බර උසුලයි. නේක යාන වාහන යන එන මාවතේ ඔහු කරත්තයේ හැල්මේ ගමන් කරයි. ඔහු කීවේ වටිනා අදහස් පෙළකි.
 
“මේ සත්තුත් මට දරුවෝ වගේ. මගේ දරු පවුල ජීවත් කෙරුවේ, දරුවන්ට ඉගැන්නුවේ මේ රස්සාවෙන්. මගේ තාත්තා තමයි මට කරත්ත රස්සාව පුරුදු කෙරුවේ. ඒ කාලේ ඉඳන් ටවුන් එකට දර අදින එක, පොළට එළවළු ගේන එක, වී මලු‍, පොල් අදිනවා වගේ දේවල් තමයි කරත්තෙන් කෙරුවේ. තාත්තා නැතිවුණාට පස්සේ මං තාම රස්සාව කරගෙන යනවා. දැන්නම් දර අදින එක විතරයි කරන්නේ. කරත්තේ බඳින මේ ගොන්නු දෙන්නා අවුරුදු පහක් විතර තිස්සේ මාත් එක්ක මේ විදිහට උදේට හවසට එනවා. යනවා. කලින් කරත්තේ බැඳපු සත්තු දෙන්නට දැන් වයසයි. උන් ගෙදර මඩුවේ තියාගෙන කන්න බොන්න දීලා මැරෙනකන් බලාගන්නවා. උන් මරාගෙන කන්න කාටහරි දෙනව නම් මට හෙන ගහනවනේ මහත්තයෝ. හරක් මසට විකුණනවා කියන එක පොඩි පහේ සාපයක් නෙමේ. ඒක සමහරු දන්නේ නෑ.”
 
රටට බත සැපයු සාම්ප්‍රදායික ගොවියාගේ ලෙංගතු ගමන් සගයාව සිටියේ ගවයාය. එහෙයින්ම ගවයන් උදෙසා ඉහළම පුද සත්කාර කළ ජාතියක් ලෙස අපි ලොව පතලව සිටියෙමු. ගොන් බැඳි කරත්ත පිට නැග බුදු පුදට මල්, පහන්, සුවද දුම්, දන්, පිරිකර ගෙන ගිය සරුසාර අතීතයක් අපට තිබිණි. සහජීවනය මෙරට අතීත ජන සමාජයේ පදනම විය. ගම කේන්ද්‍රීයව පැවැති සරළ, සැහැල්ලු‍ දිවි පෙවෙත ඊට මනා රුකුලක් වී තිබේ. කෘෂිකර්මාන්තය මුල් තැන්හි තබා දිවි ගෙවු ගැමියන්ගේ ආර්ථිකය ද ස්වයංපෝෂිත එකකි.
 
ගොන් බැදි කරත්තයෙන් ගෙන ආ පොල් අතු හෙවිල්ලු‍ නිවසක්
 
ගැමියන්ගේ කෘෂිකාර්මික දිවිපෙවෙතේ මුදුන් මල්කඩ බදුවු වී ගොවිතැනෙහි වැපිරීමේ සිට කමතෙහි අස්වනු නෙළීම දක්වා වු සියලු‍ කටයුතු සඳහා දායකව ඇත්තේ ගවයාය. වෙළහෙළඳාම් සහ එදිනෙදා විශේෂ ගමන් බිමන් යෑමට ගොනුන් බැඳි කරත්තය එවක ගෞරවාන්විත ප්‍රවාහන මාධ්‍යයක් වී ඇත. ගොන් කරත්තයක් එවක තිබී ඇත්තේ එහෙමත් නිවසකය. ජීවනෝපායට වෙළෙඳාමේ ගිය උදවිය ළඟ හෝ ගමේ යමක් කමක් තිබු ප්‍රභූන් යැයි පිළිගත් උදවිය ළඟ කරත්ත තිබී ඇත. 
 
ගල්කඩවල, කරුක්කන්කුලම ගම්මානයේ ජේ.ඒ. සෝමදාස මහතා කරත්ත රස්සාව පිළිබද වසර හතළිහකට වැඩි අත්දැකීම් ඇත්තෙකි. එවක දින ගණනක් නිවසින් ඈත්වී කරත්තයේ ගෙනගිය ජීවිත සටන පිළිබදව ඔහුට ඇත්තේ මතක පෙළකි. තවමත් කරත්තයේ ගමෙන් නගරයට දර ගෙන එන ඔහු මෙසේ කරුණු කීවේය.
 
“සාමාන්‍යයෙන් කරත්තයකට බඳින්න වස්සෙක් අවුරුදු දෙකහමාරක් විතරවත් වෙන්න ඕන. කරත්ත රෝදය හදන්නේ දඹ ලීයෙන්. හල්මිල්ල තමයි කරත්තයේ සැකිල්ලට ගන්නේ. විය ගහට ගන්නේ කොස්. මොකද කොස් ලීය රත්වෙන්නේ නැහැ. ඒ නිසා වස්සාගේ බෙල්ලට හොඳයි. තුවාල වෙනව අඩුයි. බර කරත්තේ, අත් කරත්තේ, බරබාගේ, තිරික්කලේ, බක්කි කරත්තේ, භූමිතෙල් කරත්තේ, බණ කරත්තේ වගේ කරත්ත ඒ කාලේ තිබ්බා. බර අදින අය පාවිච්චි කෙරුවේ බර කරත්තේ. මේ කරත්තෙට ගොන් නාම්බෝ දෙන්නෙක් ඕන. තිරික්කලය වගේ කරත්තයක් ගත්තොත් ඒකට බඳින්නේ එක ගොන් වස්සයි. දැන් මට යන්තන් එක කරත්තයක් තියෙනවා. ඒකේ තමයි කැලෙන් එකතු කරගන්න දර ටිකක් අනුරාධපුරේට අරන් යන්නේ. ඉස්සර වගේ දැන් දර වලටත් ඉල්ලු‍මක් නෑ. ඔය බඩඉරිඟු තම්බන අය එහෙම තමයි අපෙන් දරගන්නේ. දන්සල්වලට එහෙමත් අපෙන් සමහර වෙලාවට දර ගන්නවා.”
 
මෙපරිද්දෙන් හොඳින් හීලෑ වු ගොන් බැඳි කරත්තය මත ගොඩවී පිටිසර ගම්මැදි වෙත පොල් අතු හෝ මැටි වළං වෙළෙඳාමේ පැමිණි උදවිය එවක ගැමියන්ට සුපුරුදු දසුනකි. එහෙත් අද වන විට ඒ දසුන හුදු මතක මාත්‍රාවක් පමණක් වී ක්‍රමයෙන් වියැකී ගොස් තිබේ. එනමුත් එතුළ ඇත්තේ තවමත් නොසිදුනු රසයකි. ගම මැදට වන්නට පිහිටි තුන් මං හන්දියේ ඉඩකඩ ඇති තැනක කරත්ත පෙළ නවතා රාත්‍රිය ගත කළ කරත්තකරුවන් එහිම හිඳ රෑ බත පිළියෙළ කළ අයුරු වියපත් ගැමියන්ගේ මතකයේ තවමත් සැඟව ඇතිවාට සැක නැත. 
එවක කරත්තයෙන් දිගේලි කළ ගවයන් පුන්නක්කු මෙන්ම පිදුරු හෝ තණකොළ ආදිය තලු‍මරන්නේ ලද විරාමය නොඅඩුව විඳිමිනි. 
 
එවක කරත්තකරුවාගේ ජීවන පෙවෙත පිළිබඳව මනාව දත් නුවර කලාවියේ ප්‍රකට ජනශ්‍රැති පර්යේෂකයකු වන මාමිනියාවේ ඉලංගසිංහ මහතා රසවත් මතකපෙළක් අප හා කීවේය. 
 
“රෑ වෙනකොට හරක්ට ඇස් පේනව අඩුයි. එතකොට කෙහොමත් කොහේ හරි තැනක නවතින්න වෙනවා. හරක්ට වතුර, පුන්නක්කු ටිකක් දීලා දිගේලි කරන්න පුළුවන් තැනක් බලලා තමයි නවතින්නේ. සත්තුන්ටත් විවේකයක් ඕනනේ. කරත්ත රස්සාව කරන අය සමහර කාලවලට ගෙදරින් ගියහම දවස් දහය දොළහ ගෙදර නෑ. ඉන්න තැනක් ගැන ගෙදරට පණිවිඩයක් දීගන්න විදිහක් නෑ. හරි දුකෙන් තමයි සමහර වෙලාවට ඒ දවස් ගෙවන්නේ. ඒත් ඒ ජීවිතේට ඒ අය හුරුවෙලා හිටියේ. සමහර දවස්වලට රෑට නින්දක් නෑ. ඔය ගම් මන්ඩියක එහෙම නවත්තපුවහම රෑ දොගොඩහරිය වෙනකන් මොනව හරි කතා කර කර ඉන්නවා. සමහර වෙලාවට ගමේ දෙතුන්දෙනකුත් එනවා කතාවට. ගිනිමැල ගහගෙන මඤ්ඤෙක්කා අල එහෙම පුච්චනවා. කරත්තෙන් වළං රස්සාව කරපු අය ගමට වළං දීලා කව්පි, මුං, කුරහං වගේ දේවල් අරගෙන යනවා. ඒ කාලේ ගම්මැදි මිනිසුන්ගේ හදවත් ඇතුලේ පුදුම තරම් අනුකම්පාවක් මේ සත්තු ගැන තිබ්බේ. සත්තුන්ට කෙවිටෙන් පාරක් ගැහුවොත් ඒ ගන පස්සේ කම්පා වෙනවා. ඒ තරම් කරුණාවක් තිබුණේ. දැන් ඒ හැමදේම ඉවරයි.”
 
එදා කරත්ත පාරවල්, ගුරු පාරවල් අද අතෝරක් යාන, වාහන යන එන විසල් මහා මාර්ග වී ඇත. මේ පාරවල් මත හුදකලාව ගොන් බැඳි කරත්ත දැක්වු කාලය දැන් සිහිනයක් මෙන් වී තිබේ. සියලු‍ වෙනස්වීම් මැද නිමල්සිරිලා, සෝමදාසලා වැනි මිනිසුන් තවමත් ගොන් බැඳි කරත්තයේ නැගී දවසේ වියදම සරි කරති. උපයන දෙයින් සෑහී ඔවුහු සැනසීමෙන් සිය දරු පවුල ගෙනයති. 



අදහස් (0)

තවමත් ගොන්බැඳි කරත්තයෙන් ආර්ථිකය ගෙන යන මිනිස්සු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site