IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


තරුණ පරම්පරාවේ දායකත්වයෙන් මැණික් කර්මාන්තය ඔසවා තැබීමට රජය කැපවෙනවා - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

නිමල කොඩිතුවක්කු

මෙරට සංවිධානය කරන ප්‍රමුඛතම ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය වන ජෙම් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයෙන් ලංකාවේ මැණික් කර්මාන්තය ගෝලීය මට්ටමෙන් ඔසවා තැබීමට හැකියාව ලැබෙන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.

තරුණ පරම්පරාවේ ද දායකත්වය මැණික් කර්මාන්තයට දැක්වීමෙන් එය ඔසවා තැබීමට නව රජය කැපවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ ජෙම් ශ්‍රී ලංකා 2026 ප්‍රදර්ශනය හඳුන්වාදීමේ උළෙලට පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදි එක්වෙමිණි. 

රටවල් රැසක තානාපතිවරුන් දෙස් විදෙස් ආරාධිතයන් සහ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ පුරෝගාමීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.

මෙම මැණික් ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට හා ආර්ථික සංවර්ධනයට අගය කළ යුතු දායකත්වයක් ලබා දෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසීය.

ජෙම් ශ්‍රී ලංකා යනු ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ලොවට හඳුන්වා දෙන ප්‍රධානතම වේදිකාව බවට පත්ව ඇති බව උත්සවය සමාරම්භය සනිටුහන්කරමින් ජෙම් ශ්‍රී ලංකා හිටපු සභාපති හිල්මි කාසිම් මහතා සඳහන් කළේය.

මෙම ප්‍රදර්ශනය වෙළෙඳ දැක්මක් පමණක් නොව ශ්‍රී ලංකාවේ සදාතනික මැණික් උරුමය ලොවට ගෙනයන උත්සවයක් බවත් කොළඹ ගෝලීය මැණික් මධ්‍යස්ථානයක් ලෙස තහවුරු කිරීම සඳහා සහාය ලබාදෙන බවත් කොළඹ පුරපති ව්‍රායි බල්තසාර් මහත්මිය එහිදී පැවසුවාය.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) විසින් සංවිධානය කරන ලබන Gem Sri Lanka 2026 ප්‍රදර්ශනය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන අතර, මෙහි තුන්වන ප්‍රදර්ශනය 2026 ජනවාරි 7 සිට 9 දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

“The Source. The Production. The Selection,” යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන, Gem Sri Lanka 2026, දුර්ලභ, උසස් තත්ත්වයේ මැණික් ගල් මිලදී ගැනීමට ද, ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් කේන්ද්‍රස්ථානයක් බවට පත් කීරීමද මෙම ප්‍රදර්ශනය අපේක්ෂාව වේ. 

මෙම ප්‍රදර්ශනය හරහා මැණික් ගැනුම්කරුවන් හට අවස්ථාව උදාවන අතර, ශ්‍රී ලංකාවේ අව්‍යාජ මැණික් සම්භවය ලෝකයේ වඩාත්ම සුවිශේෂී ගැනුම්කරුවන් සහ සුඛෝපභෝගී වෙළෙඳපොළවල් සමඟ සම්බන්ධ කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම මැණික් වෙළෙඳ සංගමය ලෙස, සාමාජිකයන් දහස් ගණනක් සිටින CGJTA සංගමය, හා ඊට සම්බන්ධ ලොව පැරණිතම සහ විශාලතම එළිමහන් මැණික් වෙළෙඳපොළ වන ඓතිහාසික චීනකොටුව, බේරුවල මැණික් වෙළෙඳපොළ මෙහෙයුම්කරු ලෙස මෙම කටයුත්ත සංවිධානය කරනු ලබයි.

Gem Sri Lanka හරහා, ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ජාත්‍යන්තර මැණික් වෙළඳ පොළේ ඔසවා තැබීම හා ඊට අමතරව අපනයන ආර්ථිකය ඉහළ නැංවීම සහ ජාත්‍යන්තර මැණික් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රීලංකාව කේන්ද්‍ර ගත කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ.

චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති රිස්වාන් නයිම් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

 



අදහස් (0)

තරුණ පරම්පරාවේ දායකත්වයෙන් මැණික් කර්මාන්තය ඔසවා තැබීමට රජය කැපවෙනවා - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site