සාරා කන්දෙගොඩ
තැපැල් දෙපාර්තමේන්තුව වැඩ වර්ජනයකය. බෙදාහැරීම සඳහා විශාල ලිපි ප්‍රමාණයක් එකතු වී ඇති අතර වර්ජනය ඉතා සංකීර්ණ තත්වයක් කරා ගමන් කරමින් තිබෙන බව පෙනේ. තැපැල් වෘත්තීය සමිති ඉල්ලීම් සාධාරණ නැත. පැමිණීමේ වේලා සටහන් කිරීම සහ අතිකාල වැඩ කිරීම වැනි තීරණ වෙනස් කළහොත් සමස්ත රාජ්‍ය සේවය ගැටලු සහගත තැනකට තල්ලු කරනු ඇත. තැපැල් දෙපාර්තමේන්තුව ඉතාම අවශ්‍ය ආයතනයක් වශයෙන් තිබුණ කාලය අවසන්ය. අවශ්‍යතාවෙන් බැහැර ඒකකයක් බවට පත්වෙමින් තිබේ.
රජයේ ඩිජිටල්කරණය වේගවත් කරන අතර සියලු හුවමාරු අන්තර්ජාලයට බාර කළහොත් ලිපි හුවමාරුව අවශ්‍යම නැත. අන්තර්ජාල භාවිතයෙහි අඩුව තැපැල් දෙපාර්තමේන්තුව ආරක්ෂා කිරීමට සාධකයකි. අන්තර් ජාලයෙන් කටයුතු කරගැනීමට දත්ත ගම්බද ප්‍රදේශවලට නිසි ලෙස සම්ප්‍රේෂණය නොවේ. එම දුබලතාව හේතුකොටගෙන තැපැල් දෙපාර්තමේන්තුව තවමත් පවත්වාගෙන යා යුතුව ඇති රජයේ ආයතනයකි.
ලෝකයේ රටවල් ගණනාවක තැපෑල සතු අභිමානය දියැවී ගොස් තිබේ. එහි කාර්ය භාරය වෙනස් වී ඇත. හුදෙක් ලිපියක් තැපැල් කිරීමට එන පිරිස අඩුවෙමින් තිබේ. ඩෙන්මාර්ක් රජය සිය තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදාහැරීම 2025 වසර අවසානයේ සිට නතර කරන බව නිවේදනය කර තිබේ. 2000 වසරේ දී ඩෙන්මාර්ක් තැපැල් දෙපාර්තමේන්තුව ලිපි මිලියන 1,500 ක් බෙදාහැර ඇත. 2024 වසර වන විට බෙදාහැර ඇති ලිපි ප්‍රමාණය මිලියන සියයකට මදක් වැඩි බව දැක්වේ. ආර්ථික වශයෙන් ප්‍රයොජනවත් නැති ආයතනයක් නඩත්තු කිරීම අනවශ්‍ය බව ඩෙන්මාර්ක් රජයේ පැහැදිලි තීරණය බව පෙනේ. දියුණු රටවල් සම්මත ආයතනික ක්‍රම වෙනස් කරන අතර ශ්‍රී ලංකාව එවැනි පියවරවලට සූදානම් නැත.
ඇඟිලි සලකුණ නැත්නම් වෙනත් රස්සාවක්
කාලීනබවක් රහිත ආයතන පරිවර්තනීය තැනකට හැරවීම වෙනුවට ආණ්ඩුව තැපැල් වෘත්තීය සමිතිවලට උපහාස කරමින් සිටී. වේලා සටහන් යන්ත්‍රවල ඇඟිලි සලකුණ තැබිය නොහැකි සේවකයන්ට වෙනත් රැකියා සොයාගත හැකි බව රජයේ ස්ථාවරය බව දැක්වේ. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් රජයේ ක්‍රමවේදයට අනුව සේවය කළ යුතු බව මෙයින් ඇඟවේ.
තැපැල් දෙපාර්තමේන්තුව නඩත්තු කිරීම ආර්ථික වශයෙන් පලදායී නොවන බව පැහැදිලිය. පසුගිය කාල වකවානුවල ආණ්ඩු ගණනාවක් දෙපාර්තමේන්තුවේ අලාභ පියවා ගැනීමට අලුත් ක්‍රමවේද යෝජනා කළේය. එහෙත් ඒවා මහජන ආකර්ෂණය ලබාගත හැකි ඒවා නොවේ. පසුගිය දා රජයේ තීරණයක් අනුව රථවාහන දඩ මුදල් ද තැපැල් කන්තෝරුව වෙනුවට ඇප් එකකින් ගෙවන්නට පහසුකම් සැපයේ. රථ වාහන දඩ ගෙවීමේ දී සියයට දහයක අතිරේක ගාස්තුවක් තැපැල් සේවයට ලැබුණ අතර එය අහිමිවුවහොත් ආදායම තවත් අඩුවීම වැළැක්විය නොහැක.
තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩම්වලින් වටිනා ආයෝජන පසුගිය කාලයේ දී යෝජනා කළේය. නුවරඑළිය පැරණි තැපැල් කාර්යාල ඉඩම භාවිත කර සංචාරක ආකර්ෂණයට සැලැස්මක් සකස් කර තිබුණි. දේශපාලන විරෝධතා එල්ල කර ඒවා ආපසු හරවන ලදී. එම උද්ඝෝෂණ මෙහෙය වූ ඇතැම් පිරිස් අද ආණ්ඩුවේ සිටින අතර ඔවුන්ට ද මුලින් එල්ල වූ පීඩනය ආපසු භාරගන්නට සිදු වී තිබේ. ආණ්ඩුකරණය එකක් වන අතර පවතින ආර්ථික ක්‍රමය තුළ විකල්ප යෝජනාවල සමානභාවයක් ඇත.
දහනව දහසක සේවකයන් නඩත්තුව
ශ්‍රී ලංකා තැපැල් 2024 වසරේ ආදායම රුපියල් බිලියන 13.6 කි. එම වසරේ රු. බිලියන 3.2 ක අලාභයක් වාර්තා කර තිබේ. තැපැල් කාර්යාල 652 ක් සහ උප තැපැල් කාර්යාල 3354 ක් පවත්වාගෙන යන දෙපාර්තමේන්තුව සතු කාර්ය මණ්ඩලය දහ නම දහසකි. 1798 ආරම්භ කරන ලද සේවයට වසර 427 ක ඉතිහාසයක් ඇති බව එහි වාර්ෂික වාර්තාව දක්වයි. ලන්දේසි පාලන කාලයේ දී ආරම්භ කරන ලද බව දැක්වේ.
සංචාරය සඳහා ශ්‍රී ලංකාවට එන විදේශිකයෝ මෙරට පැරණි තැපැල් සේවාව දැක ගැනීමට ද කැමැත්තක් දක්වති. නුවරඑළිය තැපැල් කාර්යාලය හා එහි පැරණි උපකරණ දැකබලාගන්නට පැමිණි සංචාරක යුවලක් වසා තිබෙන ගොඩනැගිල්ල පිටතින් බලන පින්තූරයක් පසුගිය දා ලංකාදීප පුවත් පත පළ කළේය. සියවස් පහක පැරණි ලංකාවේ තැපැල් සේවයේ ඉතිහාසය නිරීක්ෂණය විදේශිකයන්ට අත්දැකීමකි. ලෝකයේ අනෙක් රටවල් තැපැල් ක්‍රම නවීකරණය කර තිබේ. මෙරට තැපැල් සේවාව අරඹන ලද නෙදර්ලන්තය ඔවුන්ගේ තැපැල් සේවය අත්හැර දමා ඇත. 1997 වසරේ දී නෙදර්ලන්ත පොස්ටල් සේවය පුද්ගලිකරණය කෙරිණ. එය ඔස්ට්‍රේලියාව පදනම් කරගත් ජාත්‍යන්තර ආයතනයක් මිල දී ගත් අතර නෙදර්ලන්ත රජය සියයට විසි හයක පමණ කොටස් ඉතිරි කරගෙන තිබුණි. එය වෙනම ව්‍යාපාර මුහුණුවරක් ගත් අතර පසු කාලීනව ලිපි බෙදාහැරීම තවත් අඩුවන පසු තැපැල් කාර්යාල ගණන පවා අඩු කළේය. 2013 වසරේ දී පිරිවැය කපා හැරීමක් වශයෙන් සඳුදා දිනයේ ද තැපැල් ලිපි බෙදීම නතර කළේය. වසරක් ඇතුලත තැපැල් කාර්යාල ගණන 2500 ක සිට දහස දක්වා කපා හැරියේය.
ජර්මනියේ තැපැල් සේවය වෙනස් ආකාරයකට තීන්දු ගත් අතර ඇමරිකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවක් වන ඩී.එච්.එල් හි කොටස් මිල දී ගෙනන එය ව්‍යාපාරික හැඩයකට වෙනස් කර ඇත. 1998 වසරේ කරන ලද මෙම වෙනස්කම් සමග ලෝක ව්‍යාප්ත භාණ්ඩ ප්‍රවාහන සේවයක් දක්වා පරිවර්තනය වී තිබේ. ෆෙඩරල් එක්ස්ප්‍රස් සේවය ද තැපැල් ලිපි ඉක්මනින් ප්‍රවාහනය කරන ආකරයකට 1970 ගණන්වල ආරම්භ කරන ලද ව්‍යාපාරයකි. පසුව එය පුළුල් කරන ලද අතර අද වන විට ගුවන් යානා 650 කින් ලෝකය පුරා ලිපි හා පාර්සල් බෙදාහරින සේවයක් සේ ව්‍යාප්ත වී ඇත. තැපැල් සේවය දුර්වල වන අතරවාරයේ පැරණි ගතානුගතික රාමුව ඉවත්කර අලුත් යුගයකට ඇතුළු වූ සේවා ලෝකය වෙනස් කර තිබේ.
රෝයල් තැපෑල ද පෞද්ගලීකරණය කර හමාරය
කැනඩාවේ තැපැල් සේවය පෞද්ගලිකරණය කරන බව පසුගිය වසරේ මැද නිවේදනය කෙරිණ. එහි සේවකයන් පනස් පන් දහසක් පාරට බැස එම තීන්දුවට විරුද්ධත්වය පළ කළ බව ජාත්‍යන්තර වාර්තා අනාවරණය කරයි. ජනතාව ගෙවන බදු වලින් අසාර්ථක ව්‍යවසාය නඩත්තු කිරීම වරදක් බව එරට වැසියෝ අවධාරණය කරමින් සිටිති. කැනඩාවේ ඊළඟ ආණ්ඩුව තැපෑල රජයේ නඩත්තුවෙන් ඉවත් කරන තව තීරණයකට යා යුතු බව එරට මතධාරීහු දිගින්දිගටම කියා සිටිති. මෙම සේවය තව දුරටත් ව්‍යාප්ත කරන අතර නවීන තාක්ෂණය ඇතුළු කරන සේ කැනඩා තැපැලේ සේවකයන් බල කරන නමුත් ලිපියක් යැවීමට සාමාන්‍ය මිල මෙන් තුන් ගුණයක් ගෙවීම කිසිසේත් උචිත නැති බව මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස වී තිබේ.
2013 වසරේ දී බ්‍රිතාන්‍යයේ රාජකීය තැපෑල බ්‍රිතාන්‍යය රජයේ පාලනයෙන් බැහැර කර වෙනම ඒකකයක් සේ සංවර්ධනය කරන තීරණයකට එළැඹියේය. එය 1635 දී ආරම්භ කරන ලද රෝයල් මේල් තැපැල් සේවාව පෞද්ගලීකරණයේ පළමු පියවර බව ප්‍රකාශ විය. කොටස්වලින් සියයට දහයක් සේවකයන්ට බෙදාදුන් අතර එම කොටස් හා මිශ්‍රකර කොටස් වෙළෙඳපොළට නිදහස් කෙරිණ. එම පරිවර්තනය කිසිසේත් පුද්ගලීකකරණයක් නොවන බව මුලින් ප්‍රකාශ කරන ලද බව ද සඳහන් කළ යුතුය. කොටස් මිල දී ගත් පිරිස සේවය විවිධාංගීකරණය කළ නමුත් වැඩ වර්ජන හා විරෝධතා බහුලවිය. බ්‍රිතාන්‍ය දේශපාලනඥයෝ රෝයල් තැපැල් පෞද්ගලීකරණය තුළ අඩු තක්සේරුවක් කර රජයට විශාල අවාසියක් කළ බවට ද චෝදනා කළෝය.
ජපානය ද සිය තැපැල් සේවාවේ අලාබ පියවා ගැනීම අරමුණු කරගෙන 2015 වසරේ දී හෝල්ඩිං සමාගමක් බවට හැරවීය. තවමත් එහි කොටස්වලින් වැඩි ප්‍රමාණයක් ජපාන රජයට අයත්ය. මෙහෙයුම් නවීකරණය කර තිබේ. එක්සත් ජනපද තැපෑල ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එය වහාම පෞද්ගලිකරණය කළ යුතුබව අවධාරණය කර ඇත. පසුගිය වසරේ පමණක් ඇමරිකානු තැපෑල ඇමරිකානු ඩොලර් බිලියන 9.5 ක අලාභයක් වාර්තා කර තිබේ. කාර්යක්ෂමතාව ඇතිකරන අතර ඇමරිකානු රජයේ පිරිවැය කපා හරින පියවරක් වශයෙන් යෝජනා කර ඇති පෞද්ගලිකරණය ගැන තවමත් අභ්‍යන්තර විවාද තිබේ.
අධ්‍යයන වාර්තා අනුව තැපෑලේ වැදගත්කම
අලුත් වාර්තා පෙන්වා දෙන පරිදි සාමාන්‍යයෙන් පුද්ගලයකුට එක වසරක දී ලැබෙන ලිපි ගණන 17 ක් පමණ බව දැක්වේ. මෙය වු පසුගිය වසර දහයක කාලය සමග සසඳන පසු සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටීමකි. විදුලිය පුවත් යැවෙන්නේ නැත. එම සේවාව අහෝසි කර තිබේ. තැපැල් ස්ථාන හරහා මේල් යැවිය හැකිනමුත් තැපැල්හල්වලට ගොස් විද්‍යුත් තැපැල් පරිහරණය කරන පිරිසක් නැත. තැපැල් ඇණවුම් සේවාවක් ද නැත. මුද්දර එකතු කිරීම ජනප්‍රිය විනෝදංශයක් ලෙස තිබුණි. ඉතිරි කිරීමේ බැංකුවේ කවුන්ටරයක් වශයෙන් මුදල් භාරගැනීම හා ගෙවීම එක්තරා කාලයක තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායමෙන් කොටසකි. පසුව එය ද අත්හැර දමන තැනට පත්ව තිබේ. මුද්දර හා මුල් දින කවර අලෙවියෙන් සැලකිය යුතු ලාබයක් උපයා ගැනීමට හැකි විය. එය ද හීන වී තිබේ. මුලින් ද සඳහන් කළ පරිදි පොලිස් රථවාහන දඩ මුදල් රජයේ ඇප් එකකින් ගෙවන පසු සාමාන්‍ය ජනතාව තැපැල් කාර්යාලයට යන වාර ගණන ඉතාම අඩු විය හැකිය. මෙවැනි තත්වයක් තුළ සේවාව තව දුරටත් පවත්වාගෙන යන අවශ්‍යතාව සලකා බැලීම සුදුසුය.
දෙපාර්තමේන්තුව සතු මානව සම්පත වෙනත් ප්‍රයෝජනවත් කාර්යයකට යෙදවිය හැකිය. තව දුරටත් තැපැල් සේවයකින් ඇඟිලි අත්සන තැබීම වෙනුවට අවස්ථා උත්පාදනය කිරීම ආණ්ඩුවේ වගකීමකි. ශ්‍රී ලංකාවේ රැකියා හිඟය අඩු බව 2025 පළමු කාර්තුවේ අලුත්ම දත්ත වාර්තා කරයි. අවුරුදු හතරකට පසු ඉතාම අඩු ප්‍රතිශතයක් බව ද දැක්වේ. කෙසේ වෙතත් රජයේ ආයතනවල පුරප්පාඩු සඳහා අලුතින් ලක්ෂ ගණනක් බඳවා ගැනීමට සූදානම්ය. තැපැල් දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් රජයේ සේවයට ලබාගෙන එහි වත්කම් වෙනත් ආයෝජන අවස්ථා සඳහා හැරවීම අවශ්‍යය. පුළුල් අවබෝධයක් ඇති වැඩ පිළිවෙළක් මගින් තීරණ ගතයුතුව තිබේ.
තැපැල් වර්ජනය: අතුරු කතා කිහිපයක්