ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ විශ්වාසනීය නාමයක් දිනා ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මේ වන විට සමත් වී තිබේ.
ඒ අනුව ඔවුන් දේශීය මට්ටමෙන් ඔබ්බට ගොස් සිය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමට පියවර ගෙන ඇත. එහිදී ඩුබායි සහ ඕමානය පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ ලොජිස්ටික්ස් සමාගමක් වන Navire Logistics Services L.L.C හි සියයට 50ක හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහය සමත්ව ඇත. මෙය ආයෝජනයක් පමණක් නොව, ලාංකීය ව්‍යාපාරික අනන්‍යතාව ගෝලීය තලයට රැගෙන යාමේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස ද සැලකිය හැකිය.
ලංකාව තුළ ඩේවිඩ් පීරිස් සමූහයේ ලොජිස්ටික් අංශය වන ඩී.පී. ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු ගබඩා පහසුකම්, ප්‍රවාහනය, නෞකා භාණ්ඩ ප්‍රවාහනය සහ රේගු නිෂ්කාශන ආදී ක්ෂේත්‍ර රැසක ප්‍රමුඛයෙකි. මෙරට 3PL (Third-party logistics) මෙහෙයුම් සහ ගබඩා පහසුකම් සපයන ආයතන අතර ඩී.පී. ලොජිස්ටික්ස් සමාගම ඉහළ ස්ථානයක් හිමිකර ගනී.
එමෙන්ම මෙම අංශය සතුව පවතින දැවැන්ත කන්ටේනර් රථ පෙළ සහ විවිධාංගීකරණය වූ සේවා හරහා සිය වෙළෙඳපොළ කොටස දිනෙන් දින පුළුල් කර ගැනීමට ද හැකියාව ලැබී තිබේ.
මෙම ගෝලීය ව්‍යාප්තියේ පදනම සැකසී ඇත්තේ 2022 වසරේ දී Expolanka Holdings වෙතින් Pulsar Shipping Agencies සමාගම අත්පත් කර ගැනීමත් සමගය. එමගින් නාවික ඒජන්සි සහ සමුද්‍රීය ලොජිස්ටික් ක්ෂේත්‍රයට පිවිසි ඩේවිඩ් පීරිස් සමූහය, මේ වන විට Navire Logistics හරහා මැදපෙරදිග සහ දකුණු ආසියානු කලාපීය ජාලය තුළ සිය කාර්යක්ෂමතාව පෙන්වමින් සිටියි.
තවද, මෙම නව ආයෝජනය ඩුබායි රාජ්‍යයට පමණක් සීමා නොවන අතර, ඕමානය තුළ පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස මෙහෙයුම් ක්‍රියාත්මක වේ. එපමණක් නොව, ඉදිරි කාලය තුළ සෞදි අරාබිය, තායිලන්තය සහ ඉන්දියාව දක්වා මෙම ව්‍යාපාර ජාලය ව්‍යාප්ත කිරීමට ඩේවිඩ් පීරිස් සමූහය විසින් සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් ඩී. පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කැලුම් කැටිපෙආරච්චි මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘‘මැදපෙරදිග කලාපය තුළ කැපවීමෙන් සේවය කරන 60කට අධික අපගේ සේවක මණ්ඩලය හරහා දේශසීමා ඉක්මවා ගිය විශිෂ්ට මෙහෙයුම් සේවාවක් ලබා දීමට අප සමත් වී තිබෙනවා. අපගේ විවිධාංගීකරණය වූ පාරිභෝගිකයන්ගේ විවිධ වූ අවශ්‍යතා සඳහා ප්‍රායෝගිකව හා බාධාවකින් තොරව විසඳුම් ලබා දීම අපගේ අරමුණයි.
ලාංකීය ලොජිස්ටික් දැනුම ලෝකය සමඟ බද්ධ කිරීමට ගනු ලැබූ මෙම පියවරේ ශක්තිය වන්නේ අප කණ්ඩායමේ වෘත්තීයභාවය සහ කැපවීමයි.”
එසේම ඔහු තවදුරටත් අවධාරණය කළේ, දේශීය ලොජිස්ටික් සේවා හෝ ගෝලීය භාණ්ඩ ප්‍රවාහන සේවා යන ඕනෑම අංශයක දී ආයතනයේ පදනම ‘‘අඛණ්ඩතාව සහ නිරවද්‍යතාව” වන බවයි. සෑම මෙහෙයුමක්ම ඉතා සියුම් ලෙස සහ ඉහළ විශ්වාසනීයත්වයකින් යුතුව කළමනාකරණය කිරීමට ඩේවිඩ් පීරිස් සමූහය බැඳී සිටින බව ද ඔහු එහිදී පැවසුවේය.
ඩේවිඩ් පීරිස් සමූහය යනු සමාගම් 30කට අධික සංඛ්‍යාවකින් කින් සමන්විත, ක්ෂේත්‍ර රැසක පැතිරුණු ලංකාවේ විශාලතම සහ මූල්‍යමය වශයෙන් වඩාත් ස්ථාවර ව්‍යාපාරික සමූහයකි. මෝටර් රථ ක්ෂේත්‍රය, මූල්‍ය සේවා, ලොජිස්ටික්ස්, නාවික සහ සමුද්‍රීය සේවා, තොරතුරු තාක්ෂණ, දේපළ වෙළෙදාම් සහ පුනර්ජනනීය බලශක්තිය වැනි විවිධ අංශ ඔස්සේ ඔවුන් ලබා ඇති පරිණතභාවය මෙම නව ජාත්‍යන්තර ආයෝජනයට ශක්තිමත් පදනමක් සපයනු ලබයි.
ඩුබායිහි Navire Logistics සමග ඩේවිඩ් පීරිස් සමූහය ජාත්‍යන්තර ව්‍යාපාර පුළුල් කරයි