ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී., 2026 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරගෙන තිබේ. දෛනික මෙහෙයුම් සාර්ථක ලෙස ක්‍රියාවට නංවමින් ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පුළුල් කරන අතරම සිය ප්‍රධාන ණය දීම් සහ තැන්පතු සේවා සම්බන්ධයෙන් පැවති යහපත් ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගැනීමට සමාගමට හැකියාව ලැබිණි. ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු වීම සහ ණය සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම මෙන්ම මෙහෙයුම් කටයුතු විධිමත්ව පවත්වා ගනිමින් සේවා එකතුව සුපරීක්ෂාකාරී ලෙස කළමනාකරණය කර ගැනීම හේතුවෙන් සමාගමේ කාර්යසාධනය තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකි වී තිබේ.
විගණනය නොකළ අන්තර්වාර මූල්‍ය ප්‍රකාශන අනුව, 2026 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මාස 12 සඳහා සමාගම රුපියල් මිලියන 564 ක බදු පෙර ලාබයක් වාර්තා කරගෙන තිබෙන අතර එය පසුගිය මූල්‍ය වර්ෂයේ වාර්තා වූ රුපියල් මිලියන 348 ක නැවත ප්‍රකාශිත බදු පෙර ලාබයට සාපේක්ෂව සියයට 62 ක කැපීපෙනෙන වර්ධනයකි. ව්‍යාපාර කටයුතුවල ප්‍රමාණාත්මක වර්ධන සිදුවීම, මෙහෙයුම් කාර්යසාධනය වැඩිදියුණු වීම සහ ප්‍රධාන වෙළෙඳපොළ කාණ්ඩ පුළුල් වීම හේතුවෙන් ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 35 ක් වැනි සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී රුපියල් බිලියන 3.1ක් ලෙස වාර්තා විය.
මෙම සමාලෝචනයට අදාළ වර්ෂය සඳහා සමාගමේ ශුද්ධ බදු පසු ලාබය (NPAT) පෙර වසරට සාපේක්ෂව සියයට 38 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 403 ක් ලෙස වාර්තා වී ඇති අතර, එය වෙනස් වන වෙළෙඳපොළ තත්වය හමුවේ සමාගමේ සුපරීක්ෂාකාරී මූල්‍ය කළමනාකරණය සහ ක්‍රමෝපායන්හි සාර්ථකත්වය පිළිබිඹු කරයි. සමාගමේ 4 වැනි කාර්තුවේ කාර්යසාධනය එහි ධනාත්මක වර්ධන ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් කළ අතර, එම කාර්තුවේ බදු පෙර ලාබය පෙර වසරට සාපේක්ෂව සියයට 17 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 175 ක් ලෙස වාර්තා විය. එමෙන්ම 4 වැනි කාර්තුවේ බදු පෙර ලාබය පෙර වසරට සාපේක්ෂව සියයට 39 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 163 ක් ලෙස වාර්තා වී තිබේ. කාර්තුව සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 31 ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් රුපියල් මිලියන 883 ක් ලෙස වාර්තා විය.
ව්‍යාපාර ව්‍යාප්තියේ ශක්තිය සහ වර්ධනය වන වෙළෙඳපොළ විශ්වාසය පිළිබිඹු කරමින්, සමාගමේ ණය සහ අයවිය යුතු මුදල්වල මුළු වටිනාකම 2026 මාර්තු 31 වැනි දින වන විට රුපියල් බිලියන 32.96 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 48 ක වර්ධනයකි. සමාගමේ ප්‍රධාන ණය අංශ පුළුල් වීම, සේවා එකතුව දිගින් දිගටම විවිධාංගීකරණය වීම සහ ණය වර්ධනය සම්බන්ධයෙන් විධිමත් ප්‍රවේශයක් අනුගමනය කිරීම යන සාධක මෙම වර්ධනයට හේතු වී තිබේ. ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය තහවුරු වීම සහ ආවරණ පරාසය රට පුරා ව්‍යාප්ත කිරීම හේතුවෙන් තැන්පතු සියයට 14 කින් වර්ධනය වී රුපියල් බිලියන 18.2 ක් ලෙස වාර්තා විය.
3 වැනි කාර්තුවේ කාර්යසාධනයට සාපේක්ෂව 4 වැනි කාර්තුවේදී සමාගමේ බොහෝ අංශ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එහිදී බදු පෙර ලාබය සියයට 18 කින්, ශුද්ධ බදු පසු ලාබය සියයට 66 කින් සහ ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 12 කින් වර්ධනය වී ඇති අතර, මෙය නව වසරක් වෙත පියනැගීමට ආසනයේදී සමාගමේ මෙහෙයුම්වල ඉදිරිගාමී ප්‍රවණතාව සහ ඉපැයුම් ශක්තිය මැනැවින් පිළිබිඹු කරයි.
“මෙම වසරේ කාර්යසාධනය අපගේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය සහ දීර්ඝකාලීන ක්‍රමෝපායන්හි සාර්ථකත්වය මැනැවින් පිළිබිඹු කරනවා. ආර්ථිකය නැවත වේගවත් වෙමින් පවතින තත්වයක් තුළ, සියලුම පාර්ශ්වකරුවන්ට තිරසාර ප්‍රතිලාභ පිරිනමන විශ්වාසනීය සහ ඉදිරිගාමී බැංකු නොවන මූල්‍ය ආයතනයක් ලෙස සිය භූමිකාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි ලෙස ජනශක්ති ෆිනෑන්ස් හොඳින් ස්ථානගත වී තිබෙන බව පැහැදිලියි.” ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා පැවසීය.
ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ 4 වැනි කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක්