IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ජනපතිගේ වසරක කාලයේදී ආර්ථිකය ශක්තිමත් ගමනක

  • විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ මේ වසරේ පළමු අර්ධයේදී ඩොලර් බිලියන 3.7ක් ඉක්මවලා
  • එම කාලසීමාවේදීම සංචාරක ආදායම් ඩොලර් බිලියන 1.7 ඉක්මවලා
  • ගෝලීය කැළඹිලි සහගත තත්වය මධ්‍යයේ වුවත් අපනයන ආදායම පළමු මාස හතේදී ඩොලර් බිලියන 10ක්
  • ගත වූ කාලසීමාවේදී ඩොලර් මිලියන 500ක ඍජ‌ු විදේශ ආයෝජන
  • සංචිත ඉහළ ගොස් රුපියලද ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් මට්ටක
  • අගෝස්තු 24 වැනිදා වනවිට මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.53ක් දක්වා ඉහළට

චාරුමිණි ද සිල්වා

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයේ වැඩ භාරගෙන වසරක් ගත වෙමින් පවතින මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාමත් හොඳින් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. 

එහිදී විශේෂයෙන්ම සාර්වආර්ථික මූලධර්ම සහ ඉලක්කගත ප්‍රතිසංස්කරණවල සහයෝගයෙන් මෙම යථාවත්වීම සිදු වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අතරවරයේදී මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්න වෙත පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය.

“විදෙස්ගත ශ්‍රමිකයන් හරහා ලැබෙන ප්‍රේෂණ මේ වසරේ පළමු අර්ධයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7ක් ඉක්මවලා තිබෙනවා, ඒ අතරම එම කාලසීමාවේදීම සංචාරක ආදායම් ඩොලර් බිලියන 1.7 ඉක්මවලා තිබෙනවා. මීට අමතරව ගෝලීය කැළඹිලි සහගත තත්වය මධ්‍යයේ වුවත් අපනයන ආදායම පළමු මාස හත තුළදී එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක් ආසන්නයට වර්ධනය වෙලා තිබෙනවා.“ යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සිය රජයේ වෙළෙඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා, ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අපනයන වෙත පැනවූ සියයට 20ක අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතය එම මට්ටමේම පවත්වාගෙන යාමටත්, ලබන වසරේ සිට එක්සත් රාජධානිය වෙත සිදු කරන ඇගලු‍ම් අපනයන වෙත ලැබෙන ශුන්‍ය බදු අනුපාත මගින් එම අභියෝගය මඟහරවාගැනීමට කටයුතු කරන බවත් පවසා සිටියේය.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අලු‍තින් පැනවූ ඩිජිටල් බද්දෙන් ඇතිවන තර්ජනය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්වීමට තවමත් කල් වැඩි බවද ප්‍රකාශ කළේය.

ගත වූ කාලසීමාවේදී මෙරට වෙත ලැබුණු ආයෝජන සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනාධිපතිවරයා, ඩොලර් මිලියන 500ක ඍජු විදේශ ආයෝජන හිමිව තිබෙන බව සඳහන් කළේය. එසේම සංචිතයද ඉහළ ගොස් ඇති බවත්, රුපියලද ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් මට්ටක පවතින බවත් පැවසුවේය. “ආර්ථිකය ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට ඇදෙනවා.“ 

මෙහිදී විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය මෙම ආදායම් ඉපැයීමේ ප්‍රධානතම භූමිකාවක් බවට පත්ව තිබෙන අතර, අගෝස්තු 24 වැනිදා වනවිට මෙරට වෙත පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.53ක් දක්වා ඉහළ නැග තිබේ. මේ වසර තුළදී සංචාරකයන් මිලියන 3ක පැමිණීමක් රජය අපේක්ෂා කරයි. මෙම සංචාරක කර්මාන්තය හරහා ලබාගන්නා ආදායම් පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක වෙළෙඳපොළ වන ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, එක්සත් ජනපදය සහ චීනය ඉහළ වියදම් හැකියාවක් සහිත සංචාරකයන් සිටින රටවල් බව පවසා සිටියේය.

“ඉදිරිය ගැන බැලු‍වොත් අපගේ වැඩි අවධානය වෙන්නේ ප්‍රමාණයට වඩා ගුණාත්මක බවයි. ඊට සහාය දැක්වීම සඳහා මුල පිරීම් කිහිපයක්ම ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා.“ යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (0)

ජනපතිගේ වසරක කාලයේදී ආර්ථිකය ශක්තිමත් ගමනක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site