IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ජනගහනයෙන් සියයට 10ක් ප්‍රාග්ධන වෙළෙඳපොළට ආකර්ෂණය අරමුණයි

ලැයිස්තුගත සමාගම් 286 සමාගම් 500ක් බවට පත් කරගැනීමේ මූලික සැලසුමක් 
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 50ක් බවට පත් කරගැනීමේ අපේක්ෂා
රාජ්‍ය ව්‍යවසාය 5ක් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමටත් සැලසුම්


භානුක අමරසිංහ


වර්තමානයේදී මෙරට කොටස් වෙළෙඳපොළ ඇතුළු ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත සම්බන්ධව සිටින්නේ ජනගහනයෙන් සියයට 1ට අඩු ප්‍රතිශතයක් බවත්, එය ඉදිරි වසර කිහිපයේදී සියයට 10ක ප්‍රතිශතයක් දක්වා වර්ධනය කරගැනීම අපේක්ෂාව බවත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පවසයි.

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළේ වර්තමානය සහ අනාගත සැලසුම් පිළිබඳව කරුණු අනාවරණය කිරීම සඳහා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය. එසේම දැනට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතව සිටින සමාගම් 286 ඉදිරි වසර කිහිපයේදී 500ක් දක්වා ඉහළ නංවා ගැනීමත් ඉන්පසුව එය සමාගම් 1,000ක් දක්වා වර්ධනය කරගැනීමත් අරමුණ බව ඒ මහතා පැවසුවේය. 

 “අද කොටස් ගනුදෙනු සඳහා ලියාපදිංචි CDS ගිණුම් අතරින් 60,000ක් පමණයි සක්‍රිය මට්ටමේ පවතින්නේ. එය මිලියන 20ක ජනගහනෙයන් සියයට 0.17 ක්. හැකි ඉක්මනින්ම මෙය සියයට 10ක ප්‍රතිශතයක් දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ ලක්ෂ දෙකකට අධික ව්‍යාපාර ප්‍රමාණයක් ලියාපදිංචිව තිබුණත්, ලැයිස්තුගත සමාගම් තියෙන්නේ 280 යි. මෙය ඉතාමත් දුර්වල තත්වයක්.

ඉදිරි වසර තුනේදී මෙය සමාගම් 500ක් කරගැනීම අරමුණයි.”

විශේෂයෙන්ම ආර්ථික වර්ධන වේගය සියයට 8ක මට්ටමකට පත් කරගැනීම සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළේ මෙම පුළුල්වීම අතිශය වැදගත් බව සභාපතිවරයා පවසා සිටියේය. එසේම කොටස් වෙළෙඳපොළට ඍජුවම සම්බන්ධවීමට නොහැකි පිරිසට ඒකක භාර (යුනිට් ට්‍රස්ට්) හරහාද ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ විය හැකි බවත් ඔහු පැවසුවේය.
තවමත් මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළේ සමස්ත ප්‍රාග්ධනීකරණය සියයට 15.6 ක අගයක් ගන්නා බවත්, එය සියයට 50ක මට්ටමකට පත් කරගැනීම අපේක්ෂාව බවත් සභාපතිවරයා සඳහන් කළේය. “2023 වනවිට හොංකොංහි එය සියයට 1040ක අගයක් ගන්නවා. සිංගප්පූරුවේ එය සියයට 121.3 ක්. මේ විදියට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඉහළ නංවා ගැනීමට නම් රජයේ ව්‍යවසාය සහ දැවැන්ත සමාගම් ප්‍රාග්ධන වෙළෙඳපොළට පිවිසිය යුතු වෙනවා.”

මේ යටතේ දැනටමත් රාජ්‍ය ව්‍යවසාය 5ක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීම සඳහා මූලික සූදානමින් පසුවන බවද සභාපතිවරයා මෙහිදී ලංකාදීප FT වෙත සඳහන් කළේය.

“අපි රජය වෙත දැනටමත් මේ රාජ්‍ය ව්‍යවසාය ලැයිස්තුගත කිරීමේ වැදගත්කම පෙන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුව ඇති හානියෙන් නැවත රට ගොඩගැනීම සඳහා වන දැවැන්ත පරිමාණ කටයුත්තේදී මේ කොටස් හුවමාරුව හරහා විශාල සහයෝගයක් ලබා ගන්න තිබුණා. මට දැනගන්න ලැබුණා ඉන් දුම්රිය මාර්ග පද්ධතියට සිදුව ඇති හානිය රුපියල් බිලියන 200කට ආසන්නයි කියලා. අපි කොටස් හුවමාරුව තුළ යටිතල පහසුකම් බැඳුම්කර නිකුත් කර තිබුණා නම්, එම අරමුදල් ඒ සඳහා යොදා ගන්න තිබුණා. ඒ නිසා දැනටමත් මේ යටිතල පහසුකම් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමගින් සාකච්ඡා කරමින් සිටිනවා.“ යනුවෙන්ද සභාපතිවරයා පැවසුවේය.

 



අදහස් (0)

ජනගහනයෙන් සියයට 10ක් ප්‍රාග්ධන වෙළෙඳපොළට ආකර්ෂණය අරමුණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site