IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයෙන් කුළුබඩු ඇසුරුම් කිරීම පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  (EDB)  යටතේ ඇති ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළේ නිෂ්පාදන තරගකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 75කට වැඩි පිරිසකට කුළුබඩු ඇසුරුම් කිරීම පිළිබඳ දැනුවත්කිරීමේ වැඩමුළුවක් පසුගියදා කොළඹ දී පවත්වන ලදී.
අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේ පවත්වන ලද මෙම සැසිය ඇසුරුම් උපදේශක ඩබ්ලිව්. අභය සෙනවිරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද අතර දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රමිතිවලට අනුකූල කුළුබඩු ඇසුරුම් කිරීමේ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කරන ලදී.
ඇසුරුම්වල වැදගත්කම සහ කාර්යයන්, කුළුබඩුවල වටිනා ලක්ෂණ, ඇසුරුම් සංවර්ධනය, ද්‍රව්‍ය තෝරාගැනීම සහ තාක්ෂණික ක්‍රම, නියාමන අංශ සහ ඇසුරුම් ලේබල් කිරීමේ අවශ්‍යතා ඇතුළු කුළුබඩු ඇසුරුම්වල තීරණාත්මක අංශ මෙම වැඩමුළුවෙන් ආවරණය කරන ලදී.
සහභාගිවන්නන්ට නිෂ්පාදන තත්වය පවත්වා ගැනීම, අපද්‍රව්‍ය අවම කිරීම සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා සුදුසු ඇසුරුම් ක්‍රම සහ ද්‍රව්‍ය තෝරාගැනීම පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගත හැකි විය.
අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පිහිටුවන ලද ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ ඇසුරුම් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ජාතික වේදිකාවක් ලෙස කටයුතු  කරයි. මෙම මධ්‍යස්ථානය රජයේ ආයතන සහ කර්මාන්ත හවුල්කරුවන් සමඟ සහයෝගීතාවෙන් අපනයනකරුවන්, නිෂ්පාදකයන්, නිර්මාණකරුවන්, කුඩා සහ මධ්‍යම ව්‍යාපාර, කාන්තා ව්‍යවසායකයන්, සිසුන් සහ පර්යේෂණ ආයතන ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ට සහාය වේ.
ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය ඇසුරුම් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ කෘෂිකාර්මික අපනයනවල තිරසාර වර්ධනයට සහාය වීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.



අදහස් (0)

ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයෙන් කුළුබඩු ඇසුරුම් කිරීම පිළිබඳ වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site