IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2025-2029 පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා අරඹයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග එක්ව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2025-2029 සකස් කිරීමට පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇත. මෙය රටේ අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇතිකිරීමට යොමු වූ උපායමාර්ගික මුලපිරීමකි.

මෙම ආරම්භක උපදේශන සැසිය ඊයේ (02) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි. රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන, කර්මාන්ත සංගම් සහ අනෙකුත් හවුල්කරුවන්ගේ නියෝජිතයෝ මේ සඳහා එක්ව සිටියහ.

රජයේ 2025 අයවැයෙහි ප්‍රමුඛතාවක් ලෙස ජාතික අපනයන සංවර්ධන සැලැස්ම හඳුනාගෙන ඇති අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයට බලය පවරා ඇත. මෙම සැලැස්ම 2025 නොවැම්බර් මාසය වනවිට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ආරම්භක උපදේශන සැසිය අමතමින් ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොළවල තරගකාරී ලෙස ස්ථානගත කිරීමේදී මෙම සැලැස්මේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පිළිගැනීමේ දේශනය පැවැත්වූ අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ අධ්‍යක්ෂ තකාෆුමි කඩෝනෝ මහතා මෙම මුලපිරීමේ සහයෝගීතාව පිළිබඳ අදහස් ඉදිරිපත් කළහ.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම, කලාපීය සහ ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධතා පුළුල් කිරීම සහ තිරසාර වෙළෙඳාම මත පදනම් වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීම යන මූලික අරමුණු තුන සාක්ෂාත් කර ගැනීම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මගින් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2025 ඔක්තෝබර් 2 වැනි දා සිට10 වැනිදා දක්වා පුළුල් උපදේශන වැඩසටහනක් මෙයට සමගාමීව සංවිධානය කර ඇති අතර කණ්ඩායම් සාකච්ඡා සහ තාක්ෂණික කමිටු රැස්වීමක් එයට ඇතුළත් වේ. කලාපීය උපදේශන වැඩමුළුවක් ද පවත්වනු ලබන අතර 2025 නොවැම්බර් මාසයේදී කොළඹ දී වැඩමුළු දෙකක් පැවැත්වීමට සැලසුම්කර ඇත.

පළමු දිනයේ උපදේශන සැසියේ දී වෙළෙඳ සැපයුම් හා වෙළෙඳ පහසුකම් යන තීරණාත්මක ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ අතර ගෝලීය වෙනස්කම් අනුව වෙළෙඳ පරිසර පද්ධතියේ බාධක හඳුනාගෙන විසඳුම් ගවේෂණය කිරීමට සැලසුම් කරන ලද සැසි පැවැත්වෙනු ඇත.

මෙම උපදේශන සැසි හරහා නැගී එන කලාපීය වෙළෙඳපොළවල් සමග වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අවස්ථා ගවේෂණය කිරීමට, වෙළෙඳ පරිසර පද්ධතියේ අභියෝග විසඳීමට සහ ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳ සම්මුතියකට එළඹීමට කටයුතු කරනු ඇත.

2025 නොවැම්බර් වන විට ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සම්පූර්ණ කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ උපාය මාර්ගයේ වැදගත් පියවරක් සනිටුහන් කරන අතර ඉදිරි වසරවල තිරසාර ආර්ථික වර්ධනයේ ප්‍රධාන බලවේගයක් ලෙස අපනයන ක්ෂේත්‍රය ක්‍රියාත්මක වනු ඇත.

මෙම අවස්ථාව සදහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍රරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක, වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදුනී මුදලිගේ යන මහත්ම මහත්මීන් ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරිහු ද සහභාගී වූහ.



අදහස් (0)

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2025-2029 පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site