IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කුමකටද?

ආචාර්ය, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතා මෙරට ආරම්භ කළ “නිදහස් අධ්‍යාපනය”‍ අද දක්වා විවිධ යුග පසු කර ඇතිබව නොරහසකි.

පැවති ආණ්ඩු කීපයක් ජාතික අධ්‍යාපන කොමිසම හා ජාතික අධ්‍යාපන ආයතනය එක්ව ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් වූවද 2020 ට ආසන්නව සිට මෑතක් දක්වා එහි මූලික කටයුතු සැකසුණ බව දක්නට ලැබුණි.

බොහෝ කලකට පෙර මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතාද පසුව ආචාර්ය ජී.බී. ගුණවර්ධන ද මහින්ද රාපපක්ෂ පාලන යුගයේ ද ඊටපසු දැනටද නව ප්‍රතිසංස්කරණ කථිකාවන් පවත්වමින් සිටී.

යහපාලන රාජ්‍ය සමයේ (2015 -2018) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් වුවද විවිධ බලපෑම් හේතුවෙන් ඒවා ක්‍රියාත්මක වූයේ නැත. 2019 න් පසු මේ සැලසුම් සඳහා සාර්ථක අන්දමින් සහභාගීත්ව මට්ටමේ සාකච්ජා වාර 400 ක් පමණ රටපුරා පවත්වා ඇත. ඉහත එක ප්‍රතිපත්ති යෝජනාවක් වත් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වූයේ නැත. 

මාදන්නා පරිදි අචාර්ය උපාලි සේදර මහතා විධිමත් යෝජනා වලියක්ද ඒ සඳහා වන වැඩපිළිවෙළක්ද සකසා තිබුණි. 

ඔහු ජාත්‍යන්තරව අධ්‍යාපන සැලසුම් ඉදිරිපත් කර ඒවා එම රටවල්වල ක්‍රියාත්මක කරවීමට ඵලදායී වැඩකටයුතු සැකසූ අත්දැකීම් බහුල විද්වතෙකි.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ ඹහු මේ නව ප්‍රතිසංස්කරණ ⁣⁣යෝජනා ඉදිරිපත්කළ අතර ඒවා පිළිගෙන ආයතනික මට්ටමෙන් අවශ්‍ය වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයක්ද පිහිටුවා මූල්‍ය සම්පත් හා බලතල සපයන ලදී. එයට ක්‍රියාකාරී සැලැස්මක් හා වැඩපිළිවෙළක් ද සකසන ලදි. එය මෙරට සාමාන්‍ය අධ්‍යාපනය හා වෘතීය අධ්‍යාපනය මෙන්ම විෂය මාලාව හා විභාග පැවැත්වීම සඳහාද යෝජනා ඇතුළත්ව තිබුණි..

ආචාර්ය උපාලි සේදර මහතා කලක් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාව සිටියදී මේ දැක්ම සහිතව වැඩසටහන් සකසා තිබිණි.

දැනට සාකච්ජා කිරීමට මුල්වූ ”‍මොඩුයුල බේස්”‍ ඉගැන්වීම හා ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් ”“GPA ”‍ ලබාදීම මෙන්ම, විභාග මූලික නොවූ පාසල්පාදක ඇගයීම හා එමගින් ලකුණු 40 ක් හා විභාගය ලකුණු 60 කට පමණක් සීමාකිරීමේ යෝජනා යෝජනාකළ මුල්ම ප්‍රතිසංස්කරණවාදියා ඔහුය.(කාලීනව විෂය මාලා වෙනස්වීම මෙයට වෙනස් අදහසකි). බොහෝ මවුපියන් මේ දෙක පටලවා තේරුම් ගෙන තිබුණුබව සම්මුඛ සාකචිජාවලදී හඳුනාගත් බව ආචාර්ය උපාලි සේදර මහතා වරක් පවසා තිබුණි. 

රේඛීය අධ්‍යාපන කලාප මට්ටමේ සේවයේ සිටින නිලධාරීන්ට නම් මේ ප්‍රතිසංස්කරණ යෝජනා මෙතෙක් කරළියට ආ වාර අනුව නිතර දකිනා කුකුළාගේ කරමලය සුදුවට පේනවා වගේ යයි කියන කියමනට සමානය. කොතෙක් මුදල් හා කාලය මේදක්වා වැයකර ඇත්දැයි ඔවුන් දන්නා නිසාය. 

ඉහත කී 2019 හා:2020

ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරියට ගෙන යාම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයට බාරකළ ආචාර්ය උපාලි සේදර මහතා 2020 ජූනි මසදී මේ සඳහා තීරණාත්මක වැඩසටහනක් දියත් කරවනලදී. එහිදී ඉදිරිපත් වූ කරුණු මත අද සාකච්ඡාවට බඳුන් වන “2025 අධ්‍යාපන ප්‍රතිපත්තිය”‍ නම් වූ පත්‍රිකාව සකස් කිරීම ඇරඹිණි.

මේ ක්‍රියාවලිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව රජයට ඩොලර් මිලියන 400 ක මුදලක් ලබාදී තිබුණි. 

එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් මෙකී 2020 යෝජනාවලට අදාළව 2022 ඇරඹුනු ප්‍රතිසංස්කරණ සඳහාද මෙතෙක් ප්‍රතිපත්තිමය විරෝධයක් දක්වා නොමැත. යම් ප්‍රායෝගික ක්‍රියකාරකම් සම්බන්ධයෙන් පමණක් තවත් සාකච්ජා ඇති විය හැකිය. 

නූතන අවශ්‍යතාවලට ගැලපෙන ලෙස අධ්‍යාපනයට සියයට 6 ක් නැතත් සියයට 4 - 5ක් වත් ලබාදිය යුතුව ඇත. 
පෙර කී සාධක හා තත්වද ජනතාවගේද ප්‍රාර්ථනා මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය සකසා ඉදිරිපත්කර එය ක්‍රියාත්මක කිරීමට සැකසෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමද අත්‍යාවශ්‍යයි.

මෙහි ආ මග හා ඉදිරියට යාහැකි මග පිළිබඳ සාධාරණ තක්සේරුවක් මත වැයකර ඇති මානව සම්පතෙහි කාලය, ශ්‍රමය හා දේශීය හා විදේශීය අරමුදල්ද සැලකිල්ලට ගෙන දැනට මේ රජයටද “නව අධ්‍යාපන ධවල පත්‍රිකාවක්”‍ සකසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් ක්‍රියාත්මක කිරීමට ඒ පෙර ප්‍රතිපත්ති සැලසුම් ජාතික අධ්‍යාපන ආයතනය සතුව පවතී. 

ඒවා සුමට ලෙස ගළපා ගැනීමට ඉහත පරිදි හුරුවක් ලබා ඇති නිලධාරී මඬුල්ලක්ද පද්ධතියතුළ සිටින හෙයින් රෝඩ් මැප්එක සැකසී ඇතැයි සලකා, දැන් කළයුතු වන්නේ මීට විරුද්ධ මතධාරීන් බහුල නොවූ පරිසරයක කඩිනම්ව ආරම්භක වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට පසුබට නොවීමයි. 

එමෙන්ම විශේෂ වැදගත්කමක් වූ සාමාන්‍ය හා උසස් අධ්‍යාපනය මෙන්ම “වෘතීය අධ්‍යාපන කවීකරණය”‍ ද , ඒ සඳහා පාසලින් ගිලිහෙන දරුවන්ව තව තවත් වෘතීය අධ්‍යාපන නිපුනතා ගොඩනැංවිය හැකි පුහුණු වැඩසටහන් කරා යොමුකරවීමද කළ යුතුය.

යහපත් ආකල්ප මත බිහිවෙන්නා වූ සංවේදී චින්තනය සහිතවීමට පෙළඹවීම් ඇතිකිරීමද අතිශය කාලීන වැදගත් කමකින් යුක්ත වන්නේය.

දැනුම හා කුසලතා ලබාදීමෙන් පමණක් එය කළ නොහැකිය. එය කළ හැක්කේ ආකල්ප වර්ධනයෙනි. එහි වැඩි කාර්යභාරයක් ඉටුකරනු ලබන පාසලේ ප්‍රධාන විෂයයන් ලෙස වන හර විෂයන් තෝරා බේරා ගැනීම හා ඒවා යාවත්කාලීනව ඉගෙනුම් ක්‍රියාවලි පවත්වා ගෙනයාමද අත්‍යාවශ්‍යම වෙයි.

මෙරට හා විදේශීය රැකියා වෙළෙඳපොළ සඳහා ප්‍රවිශ්ඨ වීමට සුදුසු හා ඊට ගැළපෙන ප්‍රවණතාද අධ්‍යාපන පද්ධතිය තුළ තවදුරටත් ඇති කළයුතුය.

රටක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු බලයට පත්වෙන රජයේ අරමුණුම නොව ජාතික අරමුණු මත සැකසෙන ප්‍රතිපත්තියක් විය යුතුමය. 

එම ජාතික ප්‍රතිපත්තිය සකසන සිතුවිල්ල සක්‍රීයව සැකසිය යුතුවන්නේ නිදහස් මෙන්ම නවීකරණ අදහස් හා සංකල්ප ඇති දේශීය මෙන්ම ජාත්‍යන්තර අධ්‍යාපන පද්ධතිවල ක්‍රියාකාරකම් පිළිබද සුහුරු අත්දැකීම් සහිත වූ ප්‍රවීණතාව ඇත්තන් ද සමගින් වියයුතුයි.

 



අදහස් (0)

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කුමකටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site