IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ජී.එස්.පී ප්ලස් ප්‍රගතිය සමාලෝචනයට යුරෝපා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ලංකාවට

  • පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩො.බි. 3 ක අපනයන යුරෝපා සංගමයේ රටවලට කරලා
  • එකඟ වූ ජාත්‍යන්තර සම්මුති 27 ක් ක්‍රියාත්මක කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය සොයයි 

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමේදී ක්‍රියාත්මක කිරීමට එකඟ වූ ජාත්‍යන්තර සම්මුති 27 ක්, ක්‍රියාත්මක කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් 28 වැනිදා සිට 7 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය බවත් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක අපනයන යුරෝපා සංගමයේ රටවලට කර තිබූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

ශ්‍රී ලංකාව අත්සන් කර ඇති සම්මුති 27, මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව, දේශගුණික විපර්යාස සහ යහපාලනය යන ක්ෂේත්‍ර ආවරණය කරන බවත් එම සම්මුති ක්‍රියාත්මක කරන ආකාරය, මෙහෙයුම් සහ වාර්තා මගින් වරින් වර යුරෝපා සංගමය නිරීක්ෂණය කරන බවත්  විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමයේ නිලධාරීන්, රජයේ නිලධාරීන්, අදාළ ආයතන, දේශපාලනඥයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීකයන්, ව්‍යාපාරික සංගම්, වෘත්තීය සමිති හමුවනු ඇති බවත් ඔවුන් ක්ෂේත්‍ර චාරිකා ද සිදු කරනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී ප්ලස් සහනය පිළිබඳව අදහස් දක්වමින් යුරෝපා සංගමයේ මෙරට තානාපතිනි කාමන් මොරිනෝ මහත්මිය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව, ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමේදී ක්‍රියාත්මක කිරීමට එකඟ වූ සම්මුති සියයට සියයක ප්‍රතිශතයකින් ක්‍රියාත්මක කරනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු නොවන බවත් කළ යුත්තේ එම සම්මුතිවලට අනුකූල වීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව පැහැදිලිව යුරෝපා සංගමයට පෙන්වා දීම බවත්ය.



අදහස් (0)

ජී.එස්.පී ප්ලස් ප්‍රගතිය සමාලෝචනයට යුරෝපා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site