IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


ගෘහ සේවකයෝ අත්‍යවශ්‍ය පිරිසක්ද?

සමාජීය යුක්තිය සහ අන්තර්කරණය තහවුරු කිරීම සඳහා වන සුනිසි රැකියා (Decent Work) ප්‍රවර්ධනය කිරීමේ පුළුල් න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස මෙම මූලාරම්භය දායක වේ. අංක 189 දරන ILO සම්මුතියේ මූලධර්මවලට අනුකූල වන අතර, ප්‍රබල පණිවිඩයක් ද ඉන් අවධාරණය කරයි. එනම්, ගෘහ සේවකයන් යනු අත්‍යවශ්‍ය සේවා සපයන්නන් වන අතර, නෛතික ආරක්ෂාව, ගරුත්වය හා සුනිසි රැකියා 
තත්වයක් ලැබීම ඔවුන්ටද ලැබිය යුතු බවයි.

ගෘහ සේවකයන්ට නීතිමය 
ආරක්ෂාව, ගරුත්වය 
සුනිසි රැකියා ලැබිය යුතුය.
ගෘහ සේවකයන්ගේ දිනය වන 16 වැනිදාට ගෘහ සේවකයන් පිළිබඳ අංක 189 දරන ILO සම්මුතිය අනුමත කිරීමේ දාහතර වැනි සංවත්සරය යෙදී තිබුණි. එය, වැටුප් ලබමින් පෞද්ගලික නිවාසවල වැඩ කටයුතු ඉටුකරන ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ අභිමානය සඳහා වූ ගෝලීය කැපවීම නියෝජනය කරන සංධිස්ථානයකි. ඉන් තහවුරු කරන ලද්දේ එක් මූලික සත්‍යයකි. එනම් වෙනත් ඕනෑම වෘත්තියක් මෙන්ම, ගෘහ සේවකයන් ද ශ්‍රමිකයන් බවත්, ඔවුන්ට ද ආරක්ෂණය, සාධාරණ වැටුප්, සහ ගරුත්වය උරුම විය යුතු බවත්ය.
කෙසේ වුවද, ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේද වසන බොහෝ ගෘහ සේවකයන්ට මෙවන් පිළිගැනීමක් ලබාගැනීම තවමත් දුරස්ථ සිහිනයකි. ආර්ථික අසීරුතා, දේශගුණික විපර්යාස, මහජන සෞඛ්‍ය සම්බන්ධ හදිසි අවස්ථා, සහ පුළුල් වන අසමානතාව වැනි අපේ යුගයේ විවිධ අර්බුද හේතුවෙන් ගෘහ සේවයේ අත්‍යවශ්‍යතාව යටපත් වී තිබේ. මෙම ශ්‍රම දායකත්වය, බොහෝ විට ඉස්මතු වී නොපෙනෙන සහ සුළු කොට තකන්නේ වුවද, එය පවුල්, ප්‍රජාව, සහ ආර්ථිකය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරවන පදනමක් වේ. ආපදා අවස්ථාවලදී, නිහඬව සහ සමහරවිට පෞද්ගලික අසීරුතා මධ්‍යයේ වුවද, සෑමවිටම පාහේ පිරිසුදු කිරීමේ කටයුතු, රැකවරණය සැලසීම, සහ එදිනෙදා ජීවිතය අඛණ්ඩව ගලා යන බවට තහවුරු කිරීම සඳහා පෙරමුණ ගන්නෝ ගෘහ සේවකයෝය.
COVID-19 ගෝලීය වසංගතය අතරතුර, සැලකිය යුතු අභියෝගවලට මුහුණදීමට ගෘහ සේවකයන්ට සිදුවිය. කලාපයේ වෙනත් බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද, සංචරණ සීමා පැනවීම හේතුවෙන් යළි නිවෙස් කරා යාමට නොහැකිවීම හෝ රැකියා අහිමිවීම වැනි අත්දැකීම්වලට මුහුණපෑමට බොහෝ ගෘහ සේවකයන්ට සිදුවිය. ඔවුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වුවද, ඔවුන් නීතියෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා නොකෙරුණු හෙයින්, නිල ප්‍රතිචාර කටයුතු හෝ විධිමත් කම්කරු ආරක්ෂණ යටතේ ඔවුන් බොහෝ විට ආවරණය නොවීය.
අද වන විට ද, රැක බලාගැනීමේ සේවා ඉතා වැදගත් හෝ අත්‍යවශ්‍ය බවට වැඩිමනත් පිළිගෙන තිබුණද, ශ්‍රී ලංකාවේ බොහෝ ගෘහ සේවකයන්ට තවමත් ලිඛිත සේවානියුක්ත ගිවිසුම්, වැඩ කරන නිශ්චිත පැය ගණන, හෝ අනිවාර්ය විවේක දින නොලැබේ. සුළුතරයක් සමාජ ආරක්ෂණ සැලසුම් මගින් ආවරණය වේ. ඔවුන්ගේ රැකියාවේ අවිධිමත් ස්වභාවය නිසාම, පිළිගැනීමක් හෝ පිළිසරණක් ද තොරව ශ්‍රම සූරාකෑමට ලක්වීමේ අවදානමට ද නිරාවරණ වේ.
 
එහෙත් තවමත් බලාපොරොත්තු තබාගැනීමට හේතු ඇත.
 
ගෘහ සේවකයන්ගේ දිනයේ දී, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින්, උපදේශනය සහ ක්‍රියාත්මක වීම සඳහා වූ මෙවලමක් වශයෙන් නිර්මාණය කළ ගෘහ සේවකයන් සඳහා වූ සම්මත සේවානියුක්ත ගිවිසුමක් (Standard Employment Contract for Domestic Workers) මූලාරම්භයක් වශයෙන් එළිදක්වනු ඇත. ගෘහ සේවකයන් සහ ඔවුන්ගේ සේවායෝජකයන් අතර සේවානියුක්ත සම්බන්ධතාව පැහැදිලි කිරීමට උදව් වීමත්, මූලික නියමයන් හා කොන්දේසි පැහැදිලි කිරීමත්, සහ එක් එක් පාර්ශ්වවල අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව දැනුම්වත්භාවය ඉහළ නැංවීමටත් මෙම සම්මත ගිවිසුමේ අභිප්‍රායයි.
සමාජීය යුක්තිය සහ අන්තර්කරණය තහවුරු කිරීම සඳහා වන සුනිසි රැකියා (Decent Work) ප්‍රවර්ධනය කිරීමේ පුළුල් න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස මෙම මූලාරම්භය දායක වේ. අංක 189 දරන ILO සම්මුතියේ මූලධර්මවලට අනුකූල වන අතර, ප්‍රබල පණිවිඩයක් ද ඉන් අවධාරණය කරයි. එනම්, ගෘහ සේවකයන් යනු අත්‍යවශ්‍ය සේවා සපයන්නන් වන අතර, නෛතික ආරක්ෂාව, ගරුත්වය හා සුනිසි රැකියා තත්වයක් ලැබීම ඔවුන්ටද ලැබිය යුතු බවයි.
අවසාන ලෙස, මෙයින් මහජනයාට ඉදිරිපත් කෙරෙන ඉල්ලීම වන්නේ, සම්මත සේවානියුක්ත ගිවිසුම හැකිතාක් භාවිතයට ගන්නා ලෙසත්, සෑම ගෘහ සේවකයකුගේම අභිමානය රැකෙන පරිද්දෙන් සහ ඔවුන් සඳහා යුක්තිය හා සුනිසි රැකියා තත්වයක් ලැබෙන බව තහවුරු කිරීම සඳහා කටයුතු කරන ලෙසයි.
(කතුවරිය ශ්‍රී ලංකාව හ මාලදිවයින සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නේවාසික අධ්‍යක්ෂවරියයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය යනු වැඩ ලෝකයේ ත්‍රෛපාර්ශ්වික සමාජ සංවාදය සහ කම්කරු ප්‍රමිති සැකසීමෙන්, සැමට සුනිසි රැකියා සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ එකම නියෝජිත ආයතනයයි.)

 



අදහස් (0)

ගෘහ සේවකයෝ අත්‍යවශ්‍ය පිරිසක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site