IMG-LOGO

2026 ඔක්තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා


ගාල්ල වීරපාන කෘෂිතාක්ෂණ - සංචාරක උද්‍යානය විවෘත කෙරේ

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

ගාල්ල වීරපාන කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) ආරම්භ කෙරිණි.

දකුණු පළාත ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍ර දෙකම එකවර සංවර්ධනය කිරීම සඳහා විශාල විභවයක් සහිත ප්‍රදේශයකි. විවිධ වාණිජ බෝග සඳහා සුදුසු දේශගුණික හා භූගෝලීය පසුබිමක් පළාත සතු වන අතර, සුන්දර වෙරළ තිර, වනාන්තර, ගංගා, ජෛව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධති,ඓතිහාසික හා සංස්කෘතික ස්ථාන ඇතුළු සංචාරක ආකර්ෂණීය ස්ථාන රැසක් ද දකුණු පළාතේ පවතී. 

එබැවින් කෘෂිකර්මාන්තය හා සංචාරක කර්මාන්තය එකිනෙකට සම්බන්ධ කරමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව අවස්ථා හඳුනා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මේ පසුබිම තුළ දකුණු පළාතේ සංචාරක සංවර්ධනය සඳහා හඳුනාගෙන ඇති Southern Mist Triangle  සංචාරක ප්‍රවර්ධන සංකල්පය සමග වීරපාන කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය සම්බන්ධ කරමින් සංවර්ධනය කිරීම විශේෂ වැදගත්කමක් ඇති බව මේ අවස්ථාවට එක්වූ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කීය.

සංචාරකයන්ට සාම්ප්‍රදායික සංචාරක ස්ථාන නැරඹීමෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ජීවන රටාව, ග්‍රාමීය පරිසරය, නවීන කෘෂි තාක්ෂණය සහ ස්වාභාවික සමීපත් සමග සජීවී අත්දැකීමක් ලබා දීමට මෙය අවස්ථාවක් බවද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කීවේය.

ඒ අනුව ගාල්ල වීරපාන උද්‍යානය දකුණු පළාතේ සංචාරක ජාලයට සම්බන්ධ කළ හැකි වැදගත් කෘෂි සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට හැකි වෙනු ඇතැයි කීය.

මේ අවස්ථාවට ගාලු‍ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ අධීකෂණ මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතා ඇතුළු දකුණු පළාත් අමාත්‍යාංශ කිහිපයකම නිලධාරීහු සහභාගී වූහ.

ගාල්ල වීරපාන කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය නවීන කෘෂි තාක්ෂණය ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කරන, ගොවීන්ට හා තරුණ පරපුරට පුහුණුව ලබාදෙන, පර්යේෂණ ප්‍රතිඵල ගොවි ප්‍රජාව වෙතගෙන යන සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂිකාර්මික ක්‍රම හඳුන්වාදෙන මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිත බව ගාලු‍ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතා කීවේය.

 



අදහස් (0)

ගාල්ල වීරපාන කෘෂිතාක්ෂණ - සංචාරක උද්‍යානය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site