IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්

  • සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට City Branding  එයි 

භානුක අමරසිංහ


මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි. 
වසරේ සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට නොපැමිණෙන කාලසීමාවේදී සංචාරකයන් ආකර්ෂණය කරගනිමින් වසර පුරාම මෙරට වෙත සංචාරකයන් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම එහි අරමුණ බව ඒ මහතා අවධාරණය කරයි.
“අපේ රට වෙත සංචාරකයන් අඩුවෙන් පැමිණෙන, නමුත් යම් විභයක් සහිත වෙළෙඳපොළ වෙත පිවිසීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණයි. ඒ හරහා සෑම මාසයකම සංචාරකයන් 250,000ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක් පවතිනවා.” සභාපතිවරයා පැවසීය. මේ අතර, මෙරට ප්‍රධාන නගර සංචාරකයන් සඳහා වඩාත් ආකර්ෂණීය ස්ථාන බවට පත් කිරීම සඳහා City Branding ව්‍යාපෘතිය මැයි මාසයේදී ආරම්භ කරන බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව එහි පළමු අවස්ථාව ලෙස කොළඹ නගරයේ මැරීන් ඩ්‍රයිව් ආශ්‍රිතව රාත්‍රී ක්‍රියාකාරකම් සහිත Night Market සංකල්පයක් ආරම්භ කරන බව ඒ මහතා පැවසීය.  “මේ වසරේදී මෙරටට සංචාරකයන් මිලියන 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමේ අරමුණක් අපේ තිබෙනවා. ඒ වගේම සංචාරකයකු දිනකට වියදම් කරන මුදල් ප්‍රමාණයේ සාමාන්‍ය ඩොලර් 171 ක් පමණ වෙනවා. එය ඩොලර් 200කට විතර වැඩි කරගන්නේ කොහොමද කියන දේ අපි කල්පනා කරනවා.”
මෙම City Branding සංකල්පයත් සමගින් සිදු කරන හඳුන්වාදීම් හරහා සංචාරකයන්ට මෙරට තුළ කළ හැකි කටයුතු වැඩි කරන්න පුළුවන් තත්වයක් ඇති කිරීම අපේක්ෂාව බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site