ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරනු ලබන 2026 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අගෝස්තු 10 වැනි දින සිට 12 වැනි දින දක්වා කොළඹ සිනමන් ලයිෆ්හිදී පැවැත්වීමට නියමිතය. ‘අවදානම් පරිසරයක් තුළ ආර්ථික විශ්වාසය ඉහළ නැංවීම වෙනුවෙන් රක්ෂණයේ සහයෝගය ලබා ගැනීම’ යන්න තේමා කර ගනිමින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව සඳහා දේශීය හා ජාත්‍යන්තර රක්ෂණ නායකයන්, නීති සම්පාදකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා රක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසක් එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකි මෙම සමුළුවෙන් ජාත්‍යන්තර රක්ෂණ සංවාද, වෘත්තීය වර්ධනය හා ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීමට අරමුණු කර ගෙන ඇත.
දින තුනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන අගෝස්තු 10 වනදා නිල සමාරම්භක උත්සවයකින් සහ සුහද හමුවකින් ආරම්භ වන අතර ඒ තුළින් සහභාගී වන්නන්ට අදහස් හුවමාරු කර ගැනීමට, වෘත්තීය සබඳතා ගොඩනගා ගැනීමට සහ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත. මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක, ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහභාගී වීමට නියමිතය. එමෙන්ම විශේෂ ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති, ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා සහ එහි අධ්‍යක්ෂ ජනරාල්, දමයන්ති ප්‍රනාන්දු මහත්මිය සහභාගී වනු ඇත.
අගෝස්තු 11 සහ 12 යන දිනවල පැවැත්වෙන වැඩසටහන් මගින් රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතයට බලපාන ප්‍රධාන ප්‍රවණතා සහ අභියෝග පිළිබඳව විශේෂ දේශන සහ කණ්ඩායම් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට මෙහිදී කටයුතු යොදා ඇත.
ගෝලීය - දේශීය රක්ෂණ නායකයන්ගේ සහභාගීවන 2026 SLIIS සමුළුව ලංකාවේදී