
එදා සමාජයේ කම්මල් කර්මාන්තයට ඉහළ පිළිගැනීමක් තිබුණා
වැඩ නැතිවුණාම කම්මල් ඉබේම වැසී යන්න පටන් ගත්තා
දැන් කම්මල් කර්මාන්තයෙන් ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ
පිට රටින් පිහි ආදි දේවල් එන්න පටන් ගැනීමත් සමගම මේ කර්මාන්තයත් කඩාගෙන වැටුණා
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
ගාලු දිසාවට ආවේනිකවූ පාරම්පරික කර්මාන්ත රැසක්ම තිබිණ. ලණු කොහු කර්මාන්තය, අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය, රේන්ද හා බීරලු කර්මාන්තය, ගල් වංගෙඩි කර්මාන්තය,ඒ අතරය.මේ කර්මාන්ත ගාලු දිසාවේ එක එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ආවේනිකව තිබීම විශේෂත්වයකි.
ගාලු දිසාවේ පණ අදින කර්මාන්ත ගොන්නට තවත් කර්මාන්තයක් එක් වෙමින් තිබේ. ඒ කම්මල් කර්මාන්තයයි. ගාලු දිසාවේ බොහෝ ආවේනික පාරම්පරික කර්මාන්ත ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ආවේනිකවුවත් කම්මල් කර්මාන්තයට එසේ නිශ්චිත වපසරියක් නොතිබිණ. මුළු ගාලු දිසාවේම කම්මල් කර්මාන්තය ව්‍යාප්තව තිබුණේය. එයට හේතු ගණනාවකි. ගාලු දිසාවේ සෑම ගමකම පාහේ කම්මල් තිබුණේය. ඉල්ලුමේ තරමට සැපයුම දීමට නොහැකි ගම්මානවල එක කම්මලක් නොව කම්මල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබුණේය.
විශේෂයෙන්ම, වී, කුරුඳු, රබර් වගා වැඩියෙන් තිබූ ගම්මානවලට කම්මලක් තිබීම අනිවාර්ය විය. මේ වගාවලට අවශ්‍ය පිහිය, කැත්ත, දෑකැත්ත නිෂ්පාදනය කෙරුණේ ගමේ කම්මලෙන් වීම එයට ආසන්නතම හේතුවය. ඒ නිසාම ගමට කම්මලක් නැතිවම බැරිවිය.
දිගු ඉතිහාසයක් ඇති ගාලු දිසාවේ කම්මල් කර්මාන්තය අද ඇත්තේ වැට උඩය. එයටද හේතු ගණනාවකි. ඒ කෙසේ වෙතත් තවමත් ගාලු දිසාවේ කම්මල් කර්මාන්තය යන්නන්වාලේ යමින් තිබේ. මේ ගාලු දිසාවේ යන්නන් වාලේ යන කම්මල්කරුවන්ගේ කතාවය.
එම්. රාජා මහතා: මම කම්මල් කර්මාන්තයට ආවේ හය හතර තේරුණු කාලයේ සිටයි. අපේ තාත්තට කම්මලක් තිබුණා. මම දවසින් වැඩි කාලයක් ගත කළේ කම්මලෙයි. කුඩා කාලයේදීම දෑත හොඳටම හුරුවුණේ කම්මල් කර්මාන්තයටයි. ඒකට ලොකු හේතුවක් තිබ්බා. එදා සමාජයේ කම්මල් කර්මාන්තයට ඉහළ පිළිගැනීමක් තිබුණා. ඒ පිළිගැනීමත් එක්ක අපි ආශාවෙන් කම්මල් කර්මාන්තය කරගෙන ගියා.
අපි හදපු පිහි තමයි ගමේ පාවිච්චි කළේ. කාලයක් ගිහිල්ලා පිහිය මොට්ට වුණාමත් ගමේ අය එන්නේ අපි ළඟට. අපි ඒකත් හොඳටම කරලා දෙනවා. පිහිය විතරක් නෙමෙයි කැත්ත, උදැල්ල, දෑකැත්ත මේ ආදි කියූ නොකියූ ගමට අවශ්‍ය බඩු සැදුණේ අපේ දෙඅත්වලින්. වැඩ ගොඩගැහිලා කර ගන්න බැරි තරම්. ආදායමත් හොදයි. කම්මල නිසා අපේ පවුල් කාටවත් අත නොපා ජීවත් වෙන්න උදව්වුණා.
දැන්නම් කියන්න කණගාටුයි. දැන් වැඩ නැහැ. වැඩ නැතිවුණාම කම්මල් ඉබේම වැසී යන්න පටන් ගත්තා. මේ වන විට ගාලු දිසාවේ කම්මල් කොච්චර නම් වැහිලා ඇද්ද? දැන් කම්මල් කර්මාන්තයෙන් ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කර්මාන්තය කරන්නේ බොහෝම කලකිරීමෙනුයි. කවුරුත් මේ කර්මාන්තය දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. මේ යන විදිහට ගියොත් ගාලු දිසාවේ කම්මල් කර්මාන්තයට වැඩි දුරක් යන්න බැහැ.
ජී. ඒ. ශාන්ත මහතා: මමත් ඉතාම කුඩා කාලයේදීම කම්මල් කර්මාන්තයට සම්බන්ධවූ කෙනෙක්. ඕනෑම කම්මල් වැඩක් කරන්න පුළුවන්. කුඩා කාලයේදීම ඒ වැඩවලට අත් හුරුවුණා. කම්මල් කර්මාන්තය කියන්නේ අපිටම උරුමවූ කර්මාන්තයක්. පරම්පරාවෙන් පරම්පරාවට ආපු කර්මාන්තයක්. එහෙත් තව කොච්චර පරම්පරාවකට මේ කර්මාන්තය යාවිද කියන එක ගැන ඇත්තේ ලොකු සැකයක්.
පිට රටින් පිහි ආදි දේවල් එන්න පටන් ගැනීමත් සමගම මේ කර්මාන්තයත් කඩාගෙන වැටුණා. පිටරටින් එන සුදු යකඩ පිහි කැඩුණොත් කැඩුණම තමයි. ආයේ අලුත්වැඩියාවක් නැහැ. ඒ වගේම ඒවායින් ලොකු දේවල් කරන්නත් බැහැ. කම්මල් නිෂ්පාදනවල ආයු කාලය වැඩියි. මොට්ට වෙන්න මොට්ට වෙන්න පන්නරය තියන්න පුළුවන්. මේ ගැන දන්න අය තාමත් අපි ළඟට එනවා. වැඩිහරියක් පාවිච්චි කරන්නේ පිට රටින් එන දේයි. අපරාදේ අපේ මුදල් පිටරටට යනවා. ඒ එක්කම කම්මල් කර්මාන්තයත් වළපල්ලට යනවා.
කඩා ඉහිරෙමින් තියෙන මේ කර්මාන්තයට අලුත් පරපුර එකතු වෙන්නේ නැහැ. ඒකත් මේ කර්මාන්තය වළපල්ලට යාමට එක හේතුවක්. ගමේ තිබු කම්මලක් ඉදිරි පරපුරට බලා ගන්න වෙන්නේ ඡායාරූපයකින්. මේ කර්මාන්තය රටට එපා නම් අපි මොනවා කරන්නද?
ගාලු දිසාවේ කම්මල් කර්මාන්තයේ අර්බුදය