IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොළඹ වරාය නගරයට වසර 11 යි උපායමාර්ගික ආයෝජන 27 යි

ජාත්‍යන්තර රෝහලක්, විශ්වවිද්‍යාලයක් සහ පාසලක් සඳහා ආයෝජකයන් ආකර්ෂණයටත් සැලසුම්
භානුක අමරසිංහ

කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි කලම්බු ව්‍යාපෘතිය මේ වසරේදී සිය 11 වැනි වසර සපුරන බව පවසයි. ඒ අනුව තවදුරටත් ඒ වෙත ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරමින් සිය දායකත්වය ලබාදීමට කටයුතු කරන බව එහි ඉදිකිරීම් සමාගම වන CHEC Port City Cololmbo (Pvt) Ltd. සඳහන් කරයි. 

විශේෂයෙන්ම අද වනවිට වාණිජ මෙහෙයුම් ආරම්භ කරමින් සහ ගොඩනැගිලි ඉදිකිරීම් ආරම්භ කිරීමත් සමගින්ම එම ව්‍යාපෘතිය නව යුගයකට පිවිස ඇතැයිද පවසයි. ඒ අනුව ගත වූ මෙම කාලසීමාවේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වෙත ආකර්ෂණය වී ඇති උපායමාර්ගික ආයෝජන ප්‍රමාණය 27ක් පමණ වන බවත් එම සමාගම පවසයි.

මෙලෙස හිමි වුණු ආයෝජන අතර 2024 සැප්තැම්බරයේදී ආරම්භ කෙරුණු තීරු බදු රහිත සාප්පු සංකීර්ණය කැපී පෙනෙයි. එසේම 2024 මාර්තු මාසයේදී ඉදිකිරීම් ආරම්භ කෙරුණු ඉහළ මට්ටමේ තොරතුරු තාක්ෂණික සහ ව්‍යාපාරික උද්‍යාන ඇතුළත් ව්‍යාපාරික මධ්‍යස්ථානයේ පළමු කාර්යාල අවකාශය භාරදීම 2025 මැයි මාසයේදී නිල වශයෙන් ආරම්භ විය. එසේම 2025 ඔක්තෝබර් මාසයේදී කොළඹ වරාය නගරයේ ජල, විදුලි සහ අපජල පද්ධතිය කොළඹ නගරය හා සම්බන්ධ කිරීමත් එහි සිදු වූ ප්‍රධානතම යටිතල පහසුකම් සන්ධිස්ථානයක් වී තිබේ. 

මීට අමතරව LOLC සමූහයේ උපායමාර්ගික ආයෝජන හස්තය වන Browns Investments මගින් සිදු කරන ඩොලර් මිලියන 120 ක ආයෝජනයක් ලෙස සිදු කෙරුණු සුඛෝපභෝගී මරීනා ව්‍යාපෘතියද මේ අතර පවතී. එහි ඉදිකිරීම් 2025 ජනවාරි 10 වැනිදා ආරම්භ වූ අතර, එහි කුඩා ප්‍රමාණයේ සුඛෝපභෝගී යාත්‍රා 200ක් නවතා තැබිය හැකිය. මෙය වසර 3ක් තුළ ඉදිකර අවසන් කිරීම සැලසුම වී තිබේ.

එසේම මේ දක්වා කාලය තුළදී කොළඹ වරාය නගරය ඩොලර් බිලියන 1කට අධික ගොඩබිම සංවර්ධන ආයෝජන අවස්ථා රැසක් ආකර්ෂණය කරගැනීමටද සමත්ව සිටින බව පවසයි. 

“2019 වසරේදී භූමිය නිරාකරණය කරගැනීමේ කටයුතු සම්පූර්ණවීමෙන් අනතුරුව, 2021 වසරේදී ක්‍රියාත්මක කෙරුණු කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත හරහා කොළඹ වරාය නගරය විශේෂිත ආර්ථික කලාපයක් ලෙස නම් කිරීමත් සමගින්ම ජාත්‍යන්තර ආයෝජනවලට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කිරීම පහසු කරවන නියාමන පරිසරය වැඩිදියුණු වීමක් සිදු වුණා.“ එම සමාගම පවසයි.

එසේම කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් වන ඉලක්කගත මුලපිරීම් ඉදිරියටත් සිදු කෙරෙන බවත්, ඒ යටතේ ජාත්‍යන්තර රෝහලක්, ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් සහ ජාත්‍යන්තර පාසලක් සඳහා වෙන් කර ඇති භූමි කොටස් වෙනුවෙන් ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සිදු කෙරෙන බවත් පවසයි.

 

 



අදහස් (0)

කොළඹ වරාය නගරයට වසර 11 යි උපායමාර්ගික ආයෝජන 27 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site