IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


කැළි කසළින් කාබනික පොහොර නිපදවන නියාගම ප්‍රාදේශීය සභාව

 

  • කැළි කසළවලින් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවලට ඉතා හොඳ ඉල්ලු‍මක්
  • ව්‍යාපෘතිය නියමාකාරයෙන් කරගත්තොත් සභාව නඩත්තු කරන්න රජයෙන් මුදල් ඕනවෙන එකක් නැහැ

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ


පළාත් පාලන ආයතනයකට පැවරුණු ප්‍රධානම රාජකාරියක් වන්නේ කැළි කසළ බැහැර කිරීමය. මීට අමතර රාජකාරී නැත්තේද නොවේ. ප්‍රධානම රාජකාරී අතරින් සිය බල පදේශයේ කැළි කසළ බැහැර කිරීම සුවිශේෂීම රාජකාරියක් බව නොකියාම බැරිය. මන්දයත් නගරයේ කැළි කසළ නිසියාකාරව ඉවත් නොකිරීමෙන් පැන නගින ගැටලු‍ සහ ප්‍රශ්න ශක්‍රයාටවත් විසඳීමට නොහැකිය.
පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයන්ට හා නිලධාරීන්ට බැණුම් අහන්න වනුයේද සිය බල ප්‍රදේශයට එකතුවන කැළි කසළ විධිමත් ලෙස බැහැර නොකිරීම නිසාය. දිනපතාම ලංකාවේ ඕනෑම නගරයකට එකතුවන කැළි කසළ ටොන් ගණනනි. මේ ටොන් ගණනින් එකතුවන කැළි කසළ නගරයේ වරුවක් දෙකක් නොව පැයක් පැය භාගයක් තිබුණොත් එම නගරයට ජනතාවට එන්න වෙන්නේ නාසය කට වසාගෙනය.
මේ නිසාම පළාත් පාලන ආයතනයක කුණු වූ ප්‍රශ්නය නම් කුණුය. කුණු නිසා ඇතිවූ මේ ප්‍රශ්නයෙන් ලංකාවේ බොහෝ පළාත් පාලන ආයතන පීඩා විඳියි. පළාත් පාලන ආයතනවල බලධාරීන් දින ගණන්වරු ගණන් සාකච්ඡා කළ ද කුණු ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් තවමත් ලැබී ඇති සෙයක් නම් දක්නට නොලැබේ.
තමන්ගේ බල ප්‍රදේශයේ දිනකට ටොන් ගණනින් එකතුවන කැළි කසළවලට වටිනා කමක් දීමට සමත් පළාත් පාලන ආයතන ලංකාවේ ඇත්දැයි අපි නොදනිමු. එවන් ආයතනයක් ඇත්නම් එය ඒ පළාත් පාලන ආයතනය රටට ආශීර්වාදයකි. මේ ඒ සම්බන්ධයෙන් කෙරෙණ විවරණයකි.
ගාලු‍ දිසාවේ නියාගම ප්‍රාදේශීය සභාව මේ කැළි කසළ හමුවේ නොසැලී සිටින පළාත් පාලන ආයතනයක් බව කිවයුතුවම තිබේ. ඒ සිය නගරයේ එකතුවන කැළි කසළ එම සභාව විසින් ආදායම් මාර්ගයක් බවට පරිවර්තනය කිරීමත් සමගමය. නියාගම සභාවට අයත් නගරවලින්ද අනෙක් නගරවලින් මෙන් දිනකට ටොන් ගණන් කැළි කසළ කඳු ගසයි. එහෙත් එම ප්‍රාදේශීය සභාවට එයින් කිසිදු ප්‍රශ්නයක් නම් නැත. අනෙක් පළාත් පාලන ආයතන මෙන්ම නියාගම ප්‍රාදේශීය සභාවද නගරයේ කැළි කසළ එකතු කරනුයේ ට්‍රැක්ටරවලිනි. නියාගම ප්‍රාදේශීය සභාව කරනුයේ සිය ආයතනය මගින් නියාගම ගල්ලිඳ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර නිෂ්පාදනාගාරය වෙත රැගෙන යාමය.
මේ කාබනික පොහොර නිෂ්පාදනාගාරය ස්ථාපිත කොට ඇත්තේ 2022 වසරේදීය. ඒ නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රසාද් වීරක්කොඩි මහතාගේ නිල කාලයේදීය. එසේ ස්ථාපිත කෙරුණු මේ කාබනික පොහොර නිෂ්පාදනාගාරය අද නියාගම ප්‍රාදේශීය සභාවට ආදායම් උත්පාදනය කරනු ලබන මාර්ගයක් බවට පත්ව තිබෙනු අපි සියැසින්ම දුටුවෙමු. ඒ එහි නිරීක්ෂණයකට ගිය අවස්ථාවේය. නියාගම ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති සිදත් කුමාර සහ උප සභාපති සුමිත් වැන්දබෝනා යන මහත්වරුද අප සමග එක්වූහ. ඒ සිය කාබනික පොහොර නිෂ්පාදනාගාරයේ කාබනික පොහොර නිෂ්පාදනය කරන අයුරු අපට පෙන්වීමටය. රටවටින්ම විවිධාකාරයේ කුණු මේ අංගණයට ගොඩ බා තිබුණද කිසිදු දුගඳක් නොවීමය. එයට ප්‍රබල හේතුවක් තිබුණි.
ඒ සතර දිග්භාගයෙන් ගෙනෙන කැළි කසළ එම ස්ථානයේදීම වර්ගීකරණය කිරීමය. කාඩ්බෝඩ් වෙනමය. ප්ලාස්ටික් හා පොලිතීන් වෙනමය. මේ දෙවර්ගයම නියාගම ප්‍රාදේශීය සභාව මගින් අලෙවි කරනු ලබයි. මේ කැළි කසළ අතර බහුතරයක් තිබෙන දිරන කැළි කසළ වෙන වෙනම ගොඩවල් ගසා තිබේ. ඒ දින ගණන් අනුවය. මෙසේ ගොඩ ගසා වැඩි කාලයක් ගොස් තිබූ කැළි කසළ කන්ද පෙරළා වේළමින් කුඩා කුඩා කොටස්වලට වෙන් කර ගනු ලබයි. ඉන් අනතුරුව මේ කුඩා කොටස්වලට වෙන් කෙරුණු කැළි කසළ කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන යන්ත්‍රයට දමා කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබයි.
එසේ නිෂ්පාදනය කෙරුණු පොහොර බර අනුව පොලිතීන් භාවිත කරමින් අසුරනු ලබයි. එම පොහොර හඳුන්වනුයේ එන්.පී.එස් නාමය යටතේය. එයින් හඳුන්වනුයේ නියාගම ප්‍රාදේශීය සභාව යන්නය. මෙසේ නියාගම ප්‍රාදේශීය සභාව මගින් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවලට ඉතා ඉහළ ඉල්ලු‍මක් තිබෙන බව නියාගම ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති සිදත් කුමාර මහතා අප සමග කීවේය. අප එහි යනවිට නිෂ්පාදනය කෙරුණු කාබනික පොහොර තොගයක් අලෙවි කෙරුණු බවද සිදත් මහතා කීවේ මහත්වූ අභිමානයකිනි. ඒ අහක දාන හැමටම වදයක්වී තිබූ කැළි කසළ මුදල් කළ හැකි වස්තුවක් බවට පත් කිරීමට සිය ආයතනය ගන්නා අවංක උත්සාහය පිළිබඳව ඇතිවූ සතුටු සිතෙනි.
 මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ නියාගම ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති සිදත් කුමාර මහතා මෙසේ කීවේය.
 ඇත්තටම ලංකාවේ හැම පළාත් පාලන ආයතනයකටම තමන්ගේ බල ප්‍රදේශවල එකතුවන කැළි කසළ වදයක්. ලෙහෙසි පහසු වදයක් නෙමෙයි. නගරයේ කැළි කසළ දිනපතාම එකතු කරන්න ඕන. නැත්නම් ජනතාව බනිනවා. එකතු කරපු කැළි කසළ කොහෙට හෝ බැහැර කරන්න ඕන. ඔය වගේ ලොකු ප්‍රශ්න ගොඩකට මේ කුණු නිසා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපිට කැළි කසළ ප්‍රශ්නය බොහෝ දුරට මගහරවා ගන්න පුළුවන් කැළි කසළවලින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමෙන්. අපේ ආයතනය කැළි කසළවලින් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවලට ඉතා හොඳ ඉල්ලු‍මක් තියෙනවා.මේ පොහොර ගැන දන්නා අපේ බල ප්‍රදේශයේ ජනතාව මෙතනට ඇවිල්ලා ගෙවතු වගාව සඳහා පොහොර මිලදී ගෙන යනවා.
තාම මේ කාබනික පොහොර ගැන දන්නේ පොඩි පිරිසකුයි. මුලින්ම නියාගම අවට නගරවලට අපේ කාබනික පොහොර ව්‍යාප්ත කරනවා. ඒ වගේම නියාගම නගරයේ අපේම තැනක අපේ පොහොර අලෙවි මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතිය නියමාකාරයෙන් කරගත්තොත් අපේ සභාව නඩත්තු කරන්න රජයෙන් මුදල් ඕනවෙන එකක් නැහැ. අපේ මුදල් අපිටම සොයා ගන්න පුළුවන්.ඒ විතරක්ම නෙමෙයි මේ ව්‍යාපෘතිය තව පුළුල් කළොත් විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කර ගන්නත් පුළුවන්. අපේ අල්ලපු නගරවල කැළි කසළ ප්‍රශ්නයටත් විසඳුමක් දෙන්නත් හැකි වෙනවා.
අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපිට කැළි කසළ වශයෙන් ලැබෙන ප්ලාස්ටික් කුඩු කරලා කොළඹට පටවන්න. ඒ සඳහා මැෂින් දෙකක් හම්බ වෙලයි තියෙන්නේ. ළඟදීම ඒකේ වැඩ පටන් ගන්නවා. මේ ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කළොත් කැළි කසළ නියාගම සභාවට කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. කැළි කසළ අපිට හොඳ ආදායමක් වේවි.
තැන තැන මේ කාබනික පොහොරවලින් වැඩුණු අන්නාසි වගාවය. කෙසෙල් වගාවත් තව තැනකය. තවත් පැත්තක වැල් දොඩම්ය. කාබනික පොහොර නිෂ්පාදනාගාර භූමියේ කාබනික පොහොර පමණක් යොදා ආදර්ශවත් කෙසෙල් වගාවක් ආරම්භ කිරීමට අදහස් කරන බවද නියාගම ප්‍රාදේශීය සභාපති සිදත් කුමාර මහතා අප සමග කීවේය.මේ භූමියේ කෙසෙල් වගාව හොඳට ව්‍යාප්ත කිරීමට අවැසි වටපිටාව ඇති බවත් ඒ තුළින්ද විශාල ආදායමක් ලබාගත හැකි බවත් ද සිදත් මහතා කිය.
කුණු විකුණා මිල මුදල් හරිහම්බ කරගෙන රජයට බරක් නොවී සිටීමට නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සිදත් කුමාර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සේවක, සේවිකාවන් අනෙක් ප්‍රාදේශීය සභාවලට ලබාදෙන අභියෝගය සුළුපටු නොවේ.

 



අදහස් (0)

කැළි කසළින් කාබනික පොහොර නිපදවන නියාගම ප්‍රාදේශීය සභාව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site