ගම හා බැඳුනු වැව
දිය සිදුණු, රොන් මඩ පිරුණු ග්‍රාමීය වැවක්
රසින් රස පිරි නෙලුම් බට්ටන්
බුල්නෑව ප්‍රදීප් රණතුංග
ජපන් ජබර වලින් වැසී ඇති වැවක් |
|
පුරන්වු කුඹුරු යායක් |
නෙළාගත් නෙලුම් මල් |
![]() වැව් බැම්ම |
අප රට සතුව ඇති ප්‍රධානතම මාහැඟි ස්වාභාවික සම්පත ලෙස අභ්‍යන්තර ජල මුලාශ්‍ර පද්ධතිය සැලකිය හැකිය. වැව්, අමුණු, මහා පරිමාණ ජලාශ ආදියෙන් සමන්විත මෙම ජල සම්පත ලොව අන් කවර හෝ ජාතියක් සතු නොවන තරමේ ධන නිධානයකි. මේ බොහෝ වැව්, අමුණු පෙර රජ දවස පටන් පැවැත වර්තාමානයට දායාදව පවතී. එහෙත් අවාසනාව නම් මෙසේ මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පවතින වැව්, අමුණු රැකගැනීමට නිසි ඒකාබද්ධ වැඩපිළිවෙළක් නොමැති වීමය. වැව් සඳහා අයිතිවාසිකම් කීමට ආයතන ගණනාවක් පැවතියද ඒවායෙන් වර්තමානය වන විට සිදුවන අවංක මෙහෙවර අල්ප වී පවතී.
මෙරට වැඩිම වැව් ගණනක් වියළි කලාපය කේන්ද්‍රීයව පවති. ඒ වසර පුරාම මෙම කලාපයට වැසි නොවැටෙන හෙයිනි. වැසි වැටෙන කලට ඒකරාශි කොට තබා වසර පුරාම ජලය ප්‍රයෝජනයට ගැනීම එහි අරමුණ වී ඇත. සමහර ගමක වැව් කිහිපයකි.
කෘෂිකාර්මික කටයුතු, සත්ව පාලනය ආදිය සඳහා පමණක් නොව ස්නානය, පානීය ජලය සපයා ගැනීම ආදි කටයුතු සඳහා ද වැව් ජලය ප්‍රයෝජනවත් වී ඇත. රජරට කලාපයේ අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල ආදී ප්‍රදේශවල මෙරට වැව් පද්ධතියේ වැඩිම වපසරිය දැකගත හැකිය. උතුරු පළාතේ ද වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය ආදි ප්‍රදේශවල විශාල වැව්, අමුණු ප්‍රමාණයක් අදටත් ශේෂව පවතී.
වර්තමානය වන විට මේ බොහොමයක් වැව්, අමුණු උපද්‍රව ගණනාවකට මැදිව ඇත. සැබෑ ජනතා අවශ්‍යතාවට සරිලන සේ වැව් ප්‍රතිසංස්කරණය නොවීම මෙකල්හි පොදු ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. වර්තමානයේ බොහෝ විට සිදුවනුයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට බාරදීමය. එය මෙම ක්‍රියාවලිය අසාර්ථක වීමට පැහැදිලි පාර කැපීමකි.
මෙරට වැව් ප්‍රතිසංස්කරණ කාර්ය සඳහා ලෝක බැංකුව, ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ආදි මූල්‍ය ආයතන මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට වරින් වර ඉදිරිපත් වෙයි. එහෙත් බොහෝ විට මෙතෙක් සිදුව ඇත්තේ මෙම අරමුදල් නිසි ලෙස භාවිත නොවීමය.
යම් යම් අවස්ථාවලදී යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සහ තාක්ෂණික මගපෙන්වීමෙන් වැව් අලුත්වැඩියා කෙරුණු අවස්ථා කිහිපයක් ද මෑතකදී වාර්තා වී තිබේ. සාපේක්ෂව ගත් කල්හි එය ඉතා සාධනීය ප්‍රතිඵලදායක මැදිහත් වීමක් ලෙස දැකගත හැකි විය.
ඒ ඒ ආයතන අතර පවතින ව්‍යාජ කඹ ඇදීම ද මෙරට වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බාධකයකි. මහවැලිය සතු වැව් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මුල්වී අලුත්වැඩියා කළ නොහැකි වී තිබේ. එයට මහවැලි නිලධාරින්ම සිටිය යුතුය. සමහර තැනෙක ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු සකස් කළ ද අලුත්වැඩියාව අධීක්ෂණය කිරීමට මහවැලි හෝ වාරිමාර්ග නිලධාරීන් අවශ්‍ය වී තිබේ. මේ නිලධාරිවාදයෙන් ගොවීන්ට අත්වන යහපතක් නැත. මෙරට වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ඒකාබද්ධ ප්‍රවේශයක් අවැසි වන්නේ මෙවැනි පසුබිමකය.
මෙරට තුළ සැකසෙන සෑම ඉදිකිරීම් ඇස්තමේන්තුවකින්ම අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුට සියයට පහළොවක, විස්සක හෝ විසිපහක ලාබයක් සහිතව සැකසීම පිළිගත් සම්මත ක්‍රමය වී තිබේ. ඇස්තමේන්තුගත මුදලෙන් වැඩි පිරිවැයක් ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා සාධාරණ ලාබයක් උපයා ගැනීමට කොන්ත්‍රාත්කරුට එමගින් අවකාශ සලසා දී තිබේ.
එහෙත් වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී මෙම පිළිවෙත බොහෝ විට කඩතොළු වීම බරපතළ ගැටලුසහගත තත්වයකි. වැසි කාලයක් ආසන්නයේ වැවක රොන්මඩ හෑරීම වැනි රැවටීම් මගින් සිදුවනුයේ ඒ සඳහා නිදසුන් සැපයීමකි. ජපන් ජබර, සැල්වීනියා, පන් ආදි විවිධ අහිතකර ජලජ ශාක වැවි තුළ අප්‍රමාණව වර්ධනය වී තිබීම, වැවක අත්‍යවශ්‍ය අංග සේ පිළිගැනෙන වාන, සොරොව්ව, රළපනාව, වැව් බැම්ම ආදිය අබලන් වීම, තට්ටු ගණනාවක් රොන්මඩ ඒකරාශි වීම, වැව් රක්ෂිත අනවසරයෙන් අල්ලා ගැනීම ආදි පොදු ගැටලු ගණනාවකින් මෙරට වැව් පද්ධතිය පීඩාවට පත්ව ඇත. ගම්මැද්දක ඇති සමහර වැවකින් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ප්‍රයෝජනයට නොගත්ත ද පාරිසරික සමතුලිතතාව සඳහා එමගින් සැලසෙන පිටිවහල අතිමහත්ය. අනුරාධපුරයේ ප්‍රධානතම වාරි ජලාශය සේ සැලකෙන කලාවැව කේන්ද්‍රීයව මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන විට එච් කලාපය තුළ ග්‍රාමීයව පැවැති වැව්, අමුණු නොසලකා හැරීම නිරායාසයෙන්ම සිදුවුවකි. එසේ නොසලකා හැරුණු වැව් 125 ක් පමණ මේ වන විට විවිධ උපද්‍රවවලට ලක්වී විනාශ වීමේ අවදානමට ලක්ව ඇත. ඉපැරණි ගැමියෝ වැව කේන්ද්‍ර කරගෙන සිය දිවි පෙවෙත සරි කර ගත්හ. ඔවුහු යල, මහ දෙකන්නයෙහි වැවේ ඒකරාශි වන ජලයෙන් කෙත් වතු වපුරා, අටු කොටු සපුරා ගත්තෝය. එවක හැම ගැමි නිවසකම පාහේ ගව ගාලක් දැක ගත හැකි විය. ඒ බිම අස්වද්දන්නට මෙන්ම කොළ මැඩීමට ද ගවයන් අවැසි වූ බැවිනි.
මත්ස්‍ය වගාවද වැව් ආශ්‍රිතව සිදුකෙරෙන කර්මාන්තයකි. ඒහා සමගාමීව කරවල ව්‍යාපාරයද පවතී. මේවා බොහෝ පිරිසකගේ ජීවනෝපාය වී තිබේ. සමහරෙක් වැව් දිය පීරා ඕලු, නෙලුම් ආදි මල් කඩා විත් බුදු පුදට ගෙන ගියහ. තවත් අයෙක් වන්දනාකරුවන්ට මල් අලෙවි කොට කීයක් හෝ උපයා ගත්හ.
වියළි කලාපයට කලට වැටෙන වැහිදිය රැස්කර නොගත හොත් යල, මහ දෙකන්නයේ වී ගොවිතැනේ නිරත විය නොහැකිය. එබැවින් ගම්මැද්දේ දිවි ගෙවීම හෙවත් ගැමි කාෂිකාර්මික ජනාවාස බිහිකර ගැනීමේ දී අත්‍යවශ්‍ය පාරිසරික සාධකයක් වූයේ වැව ය. එහෙත් අද සියල්ල කණපිට පෙරළී ඇත්තේ වැව් විනාශ වන විට වැව් සංස්කෘතියට ද කණකොකා හඩා ඇති බැවිනි.
කවුරු කෙසේ කීවද ඉන් අපගේ ආර්ථික සමෘද්ධිය අසීරු වෑයමකි. මොහොතින් මොහොත විවිධ විපර්යාසයන්ට ලක්වෙමින් ඇති මෙරට පාරිසරික, දේශගුණික සහ ආර්ථික තත්වය ද සැලකිල්ලට ගත් කල්හි එය වඩාත් දැඩිව දැනෙමින් තිබේ. සමහර දේශපාලඥයන්ගේ, නිලධාරින්ගේ, කොන්ත්‍රාත්කරුවන්ගේ ඉල්ලමක් වී තිබු මෙරට වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔවුනගෙන් මුදාගැනීමේ නිර්ව්‍යාජ මෙහෙයුමක් අද අවශ්‍ය වී තිබේ. එසේ නොවන තාක් වැව් හැදීමට යොදන අරමුදල්වලින් රටේ ණයබර වැඩිවීම විනා අත්වන යහපත අල්ප වීම වැළැක්විය නොහැකි වී තිබේ. වත්මන් පාලනය හමුවේ ඇති අභියෝගය වනුයේ නොපමාව එය වැළකීමය.
කෘෂි ආර්ථිකයට පණ දෙන වැව් හදන වැඩපිළිවෙළක් නැතිද?