


බුල්නෑව ප්‍රදීප් රණතුංග
අනුරාධපුරයේ දෙහි කිලෝවක තොග මිල රුපියල් එකසිය පනහක් දක්වා පහළ වැටී ඇතැයි ගොවීහු පවසති. සමහර දිනවලදී දෙහි කිලෝවක් රුපියල් සියයකටවත් අලෙවි කර ගත නොහැකි තත්වයක් මතුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති. මීට මාස දෙකකට පමණ ඉහතදී රුපියල් එක්දහස් පන්සියයත්, දෙදහසත් දක්වා ඉහළ ගිය දෙහි මිල මෙසේ දැඩි ලෙස පහත වැටී ඇති බව ගොවීහු පවසති.
දෙහි ගොවියකු වන ශ්‍රාවස්තිපුර ඩබ්ලිව්. රත්නසිරි මහතා මෙසේ අදහස් දැක්වුවේය.
“පායන කාලේ රුපියල් දෙදහට විතර දෙහි කිලෝ එකක් ගියා. එවිට ගොවියෝ ළඟ දෙහි නෑ. ඒත් වැස්සෙන් පස්සේ දෙහි අස්වැන්න එනකොට දැන් මිලක් නෑ. මේක අපේ රටේ දෙහිවලට විතරක් නෙමෙයි අනිත් හැම වගාවකටම තියෙන ප්‍රශ්නයක්. දෙහි කියන්නේ කොයි අතින් බැලුවත් ප්‍රයෝජනවත් බෝගයක්. ඒත් වගා කරන ගොවියන්ට මිලක් නැතිවුණාම මිනිස්සු වගාවෙන් ඈත් වෙනවා. එතකොට වෙන්නේ දෙහි ටිකත් පිට රටින් ගේන්න වෙන එක.”
පැවැති වියළි කාලගුණික තත්වය හේතුවෙන් දෙහි අස්වැන්න හිඟවීමෙන් මෙසේ මිල ඉහළ ගොස් තිබිණි. මේ පසුබිම තුළ විවෘත වෙළෙදපොළේ දෙහි හිඟයක් මතුව තිබු අතර, දෙහි කිලෝවක මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියේය. එහිදී ඉතා අඩුවෙන් වෙළෙඳපොළ වෙත පැමිණි දෙගි අස්වැන්න කෙටි කාලයක් තුළ ඉහළ මිලකට අලෙවි විය. එහෙත් වැහි ඇදවැටී දෙහි ඵල දැරීමත් සමග අස්වැන්න සුලභ වී මෙසේ මිල පහත වැටී තිබේ. මේ හේතුවෙන් තමන් දැඩි අසරණභාවයට පත්ව සිටින බව දෙහි ගොවීහු සඳහන් කරති. මේ පසුබිම තුළ ඇතැම් දෙහි ගොවීන් ඔවුන් විසින්ම සිය අස්වැන්න මහ මගට ගෙනැවිත් අලෙවි කිරීමට පෙළැඹී තිබේ.
මෙසේ සිය දෙහි අස්වැන්න මහ මග තබා අලෙවියෙහි යෙදෙන තලාව සුගත් ගාමිණි මහතා මෙසේ පැවසුවේය.
“අපෙන් මේ දවස් වල වෙළෙන්දෝ දෙහි කිලෝ එකක් ඉල්ලන්නේ රුපියල් පනහට, හැටට. ඒ ගාණට දෙන්න මහන්සි වෙලා දෙහි කඩනවටත් පාඩුයි. ඒ හින්දා මං මේ විදිහට ගස්වලින් දෙහි ටිකක් කඩාගෙන ඇවිල්ලා පාරේ තියාගෙන විකුණනවා. රුපියල් දෙසීය ගානේ තමයි විකුණන්නේ. පුදුම වැඬේ කියන්නේ ඒත් ලොකු ඉල්ලුමක් නෑ. ගොවිතැන් කරන අපිට හැමදාම තියෙන්නේ මේ වගේ ප්‍රශ්න. වෙළෙන්දෝ හැම වෙලාවෙම බලන්නේ අපේ මහන්සිය තුට්ටු දෙකට ගන්න. අවසානේ ඒ අය අපේ මහන්සියෙන් ලොකුම ලාබ ගන්නවා. මාකට් එකට ගෙනිච්චත් සමහර වෙලාවට අතින් පාඩුයි. ප්‍රවාහන කුලී දෙන්න ඕන. එක වියමදමක් නෙමෙයි.”
රසකාරකයක් ලෙස භාවිත කරන දෙහි බොහෝ රෝග සුවකිරීමේ හැකියාවක් ඇති ඖෂධයක් ලෙස සඳහන්වේ. දෙහි, පැඟිරි කුලයේ ශාකයකි. එහි විද්‍යාත්මක නාමය රුටේෂි නම්වේ.
දෙහි ශාකයේ බිහිවීම උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය, හා දකුණු මධ්‍යම චීනයේ යුහාන් ප්‍රදේශය තුළ සිදුව ඇති බව සඳහන්වේ. පසුව මෙය ලෝකයේ නිවර්තන හා උප නිවර්තන ප්‍රදේශ කරා ව්‍යාප්ති වී තිබේ. ශ්‍රී ලංකාවේ ගෙවතු ආශ්‍රිතව දක්නට ලැබෙන දෙහි ශාකය මොණරාගල, රත්නපුරය, කුරුණෑගල, බදුල්ල, අනුරාධපුරය ආදි ප්‍රදේශ ආශ්‍රිතව වාණිජ වගාවක් ලෙසද සිදුකරයි.
දෙහි වල ඇති පැඟිරි මගින් පිළිකා සෛල වර්ධනය වීම අවම කළ හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. දෙහි යුෂ මගින් පියයුරු පිළිකා වළක්වා ගත හැකි බවට සොයාගෙන තිබේ. දෙහි පොතු තුළද පිළිකා සෛල විනාශකිරීමේ ගුණය ඇති බව සඳහන්වේ.
දෙහි පොත්තේ විටමින් හා රෝග නිවාරණ හැකියාව වැඩි බවට සොයාගෙන ඇත. දෙහි ගෙඩියේ කුමන කොටස භාවිත කළද එමගින් ශරීරයට කිසිදු අතුරු අබාධයක් ඇති නොවන හෙයින්ම පාරම්පරික වෛද්‍ය විද්‍යාවට නැතුවම බැරි ඖෂධයක් බවට ද පත්ව තිබේ.
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමගේ සභාපති එල්.එස්.කේ. ලියනගේ මහතා දෙහි මිල උච්ඡාවචනය වීම පිළිබදව මෙසේ අදහස් දැක්වුවේය.
“පහුගිය කාලේ මාකට් එකේ දෙහි කිලෝ එකක් රුපියල් දෙදහට ගියා. දැන් රුපියල් එකසිය පනහ, දෙසීය වගේ මිලක තමයි දෙහි මිල තියෙන්නේ. එකම දේ දැන් අස්වැන්න වැඩියෙන් එනවා. පහුගිය කාලේ පෑවිල්ලත් එක්ක සමහර තැන්වල ගස් මැරිලා ඵලදාව අඩුවුණා. වැස්සත් එක්ක අස්වැන්න වැඩියෙන් එනකොට නිකම්ම මිල අඩුවෙනවා. එක්කෝ මේ අස්වැන්න ගබඩා කරලා තියාගන්න වැඩපිළිවෙළක් හැදෙන්න ඕන. නැත්නම් රට පුරාම අස්වැන්න බෙදෙන විධිමත් වැඩපිළිවෙළක් හැදෙන්න ඕන. මේවාට ආණ්ඩුවේ මැදිහත් වීමක් අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න ඕන.”
විෂ සහිත සතෙකු දෂ්ට කළ විට පළමුව දෙහිකැබැල්ලකින් අතුල්ලා දෂ්ට කළ ස්‌ථානය පිරිසුදු කිරීම අතීතයේ සිටම මෙරට තුළ මුල්බැස පවතින සිරිත් සම්මතයකි. දෙහි යුෂ දැඩි ආම්ලික බවින් යුතු වේ. මේ නිසා අප ගන්නා ආහාර ඉක්මනින් ජීර්ණය වීමට උපකාරී වේ. එනිසාම ව්‍යංජන සැකසීමේදී දෙහි බිංදු කිහිපයක් එකතු කිරීම අපගේ ගෘහණියෝ පුරුද්දක් ගොටගෙන සිටිති. දෙහි යුෂ මීපැණි සමග මිශ්‍ර කර පානය කිරීම මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට දෙහි සාරය වඩාත් හිතකර වේ.
හෘදවාහිනී ආශ්‍රිත රෝගවලට ද දෙහි යුෂ පානය ඉතාමත් ගුණදායක බව පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ කියැවේ. ශරීර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට, පණුවන්ට, හා බැක්ටීරියාවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව දෙහිවලට ඇත. උදරාබාධ සමනය කිරීමෙහිලා දෙහි යුෂ වඩාත් ප්‍රයෝජනවත් වනුයේ එහෙයිනි. හිස්හොරි නිසා හිසේ ඇති වන විවධ අසාත්මිකතාවලට දෙහි ගුණදායක ඖෂධයකි. මෙමගින් හිසකෙස්වල ප්‍රාණවත් බව සුරැකේ. සමේ මැරුණු සෛල ප්‍රාණවත්ව සකස් කිරීමට දෙහිවල අඩංගු විටම්න් සී උපකාරී වේ. ආහාර රසකාරකයකට අමතරව සමේ ආලේපන සැකසීම සඳහා දෙහි යුෂ යෝග්‍ය වේ. විවිධ පාන වර්ග සැකසීම සඳහා ද දෙහි අත්‍යවශ්‍ය වේ. තවමත් ලුණු දෙහි දැමීම අප රටෙහි ග්‍රාමීය ජන සමාජය තුළ දැකගත හැකි ප්‍රවණතාවකි. සාම්ප්‍රදායික ගැමි ජන සමාජය තුළ යාතුකර්ම ආදිය සඳහා තවමත් දෙහි අත්‍යවශ්‍යයෙන්ම භාවිතයට ගැනෙයි.
මෙවැනි පසුබිමක තවමත් අප රට තුළ දෙහි ඵලදාවෙන් නිසි ප්‍රයෝජන ලැබීමේ වැඩපිළිවෙළක් සැකැසී නොමැති බව පැහැදිලිවේ. එහෙයින්ම දෙහි අස්වැන්නට නිසි මිලක් නොලැබීමත්, අස්වැන්න අපතේ යෑම ආදි පීඩා විදීමට අප රටෙහි දෙහි ගොවීන්ට සිදුව තිබේ.
කිලෝව දෙසීයට වැටී දෙහි ගොවියා කබලෙන් ළිපට