විමුක්ති එස් රුද්‍රිගු
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනය කරන තෙක් බදු නිදහස් කිරීම් ලබාදීමෙන් ශ්‍රී ලංකාව වැළකී සිටිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත එළැඹෙන අගෝස්තු මාසයේදීත්, වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත එළැඹෙන ඔක්තෝබර් මාසයේදීත් සංශෝධනය වනු ඇතැයි ඔහු පැවැසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන යටතේ බදු නිදහස් කිරීමේ නීති සංශෝධනය කිරීමටත්, බදු නිදහස් කිරීම් ලබාදෙන කාලය අඩු කිරීමටත් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ඔහු ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කර කාලයට උචිත අයුරින් බදු නිදහස් කිරීම් ලබාදීම සඳහා විනිවිද, නීතිරීති මත පදනම් වූ හොඳම භාවිතයන්ට අනුකූල නිර්ණායක ශ්‍රී ලංකාව හඳුන්වා දෙනු ඇතැයිද ඔහු පැවැසුවේය.
බදු නිදහස් කිරීමේ රාමුව ශක්තිමත් කිරීමෙන් මෙරටට පැමිණෙන ආයෝජකයන් දිරිමත් කිරීම සඳහා සාධාරණ දිරි ගැන්වීම් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවත් නමුත් පිළිගත හැකි සහ ස්ථාවර ආයෝජන පරිසරයක් ඇති කිරීම සඳහා ශ්‍රමය, නීතිමය, පාලනය, ඉඩම් සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ වෙනුවට එය ආදේශ කළ නොහැකි බවත් එවන් පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය.
පරීක්ෂාවකින් තොරව අධික ත්‍යාගශීලී බදු නිදහස් කිරීම් ලබාදීම අතීතයේදී ශ්‍රී ලංකාවට අහිතකර බලපෑම් එල්ල කර තිබෙන බවත් ඉන් රජයට ලැබීමට තිබූ අධික බදු ආදායමක් අහිමි කර ඇති බවත් ඔහු පැවැසුවේය. එය මෙරට ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයට එක් හේතුවක් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ සියයට 5 ක් වූ මෙරට ධනාත්මක ආර්ථික වර්ධන වේගය මෙම වසරේ සියයට 3.5 ක් වනු ඇති බවත් 2026 සහ 2027 වසරවලදී සියයට 3.1 වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත. එසේම මෙරට උද්ධමනය මෙම වසරේදී සියයට 3.3 දක්වා වර්ධනය වනු ඇති බවත් අනතුරුව ලබන වසරේදී සියයට 5.2 ක් දක්වා වර්ධනය වී 2027 වසරේදී ඉලක්ක ගත සියයට 5 මට්ටමට පැමිණෙනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි.
එසේම පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.7 ක්වූ රජයේ ආදායම සහ ප්‍රදානය මෙම වසරේදී සියයට 15 ක් දක්වාත්, ලබන වසරේදී සියයට 15.2ක් දක්වාත්, 2027 වසරේදී සියයට 15.3ක් දක්වාත් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත.
පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19.3 ක් වූ රජයේ වියදම, මෙම වසරේදී සියයට 20.5 දක්වා ඉහළ යනු ඇති බවත් පසුව ලබන වසරේදී සියයට 19.7 දක්වාත්, 2027 වසරේදී සියයට 19.2 දක්වාත් ක්‍රමානුකූලව පහළ යනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි.
එසේම ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 7.25 දක්වාත්, ලබන වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 9.27 දක්වාත්, 2027 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 12.97 දක්වාත් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කර ඇත.
ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර පනත් සංශෝධනය කරන තෙක් බදු නිදහස් කිරීමෙන් ශ්‍රී ලංකාව වැළකිය යුතුයි