කුරුඳු සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයට ඒ කාලයේ රුපියල් දෙකෝටියකට ආසන්න ජාතික ධනයක් වියඳම් කළේය
කුරුඳු ගම්මානය විවෘත කිරීමට පමණක් ලක්ෂ ගණනක වියදමක්
එදා කුරුඳු ගොවීන්ට උපකරණ නොමිලේ දුන්නත් ඒ අයගෙන් බහුතරයක් කළේ කුරුඳු රස්සාව නෙමෙයි
මේ ව්‍යාපෘතිය යටතේ හිපන්කන්ද හා ඒ අවට කාන්තාවන්ට කුරුඳුවලින් හඳුන්කූරු නිෂ්පාදනය කිරීමට පුහුණුවත් දීලා
කුරුඳු හඳුන්කූරුවලට වෙළෙඳපොළක් නැහැ
කුරුඳු කුඩු කරන්න මැෂින් දුන්නට කුඩු කරන කුරුඳු ගන්න කෙනෙක් නැහැ
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
කරන්දෙණිය කුරුඳුවලට ප්‍රසිද්ධ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ කුරුඳු කරන්දෙණියම ආක්‍රමණය කර ඇති නිසාවෙනි. ඕනෑම කෙනකුට කරන්දෙණිය කියූ සැනින් කුරුඳුත් කුරුඳු කියූ සැණින් කරන්දෙණියත් මතක්වනුයේ ඒ නිසාය. කරන්දෙණියේ කුරුඳු වටින්නේ කරන්දෙණියට පමණක් නොව මුළු රටටමය. ඒ මෙරටට ඩොලර් ගෙන එන ප්‍රධාන මාධ්‍යවලින් එකක් කුරුඳු නිසාය.
කුරුඳු මිල ඉහළ යන්නේ නම් කරන්දෙණියේ කුරුඳු ගොවීන්ගේ මල්ල කරේය. රටේ ආදායමත් කරන්දෙණියේ කුරුඳුත් අතර බැඳීම එසේය. මේ නිසාම දෝ රට පාලනය කරන ඇත්තන්ගෙන් කරන්දෙණියට ලැබුණේ ලොකු ඇල්ම බැල්මකි. මේ නිසාදෝ එක එක පාලකයෝ කරන්දෙණියේ කුරුඳු සංවර්ධනයට යයි කියමින් එක එක ව්‍යාපෘති දියත් කළෝය. කරන්දෙණියට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ලැබුණේත් එහි ප්‍රතිඵලයක් ලෙසය. කුරුඳු සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානය කරන්දෙණියේ ආරම්භ කෙරුණේත් මෙය යථාර්ථයක් කරමිනි. එසේ ලැබුණු ව්‍යාපෘතිවලින් කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නම් කරන්දෙණියට පමණක් නොව ලංකාවේම කුරුඳුවලට වැඩක් කිරීමට වෙහෙස මහන්සි වන වගක් නම් පෙනේ. එය පැසසිය යුතු කාරණයකි. එහෙත් වර්තමාන රජය එම දෙපාර්තමේන්තුව වසා දැමීමට කටයුතු කරන බවද දැන ගන්නට ලැබේ. අපේ කතාව ඇත්තේ එතන නම් නොවේ. කරන්දෙණිය හිපන්කන්දේ ස්ථාපිත කරනු ලැබූ කුරුඳු සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානය පිළිබඳවය. මේ ඒ ගැනය.
කරන්දෙණියේ ස්ථාපිත කෙරුණු කුරුඳු සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයට අද උදාවී ඇත්තේ අභාග්‍ය සම්පන්න ඉරණමකි. එය දන්නේ කීදෙනෙක් දැයි අපි නොදනිමු. එයට හේතු කිහිපයක්ම තිබේ. මේ කුරුඳු සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයට වැය කළේ ජාතික ධනයයි. ඒ කාලයේ හැටියට රුපියල් දෙකෝටියකට ආසන්න ජාතික ධනයක් මේ සඳහා වියදම් කළේය. මේ ගම්මානය විවෘත කිරීමේ උත්සවයට පමණක් ලක්ෂ ගණනක රජයේ මුදල් ද වියදම් කළේය. මේ ගම්මානය එදා විවෘත කෙරුණේ රටටම ඇසෙන්න අඬ බෙර ගසාය. ඒ සඳහා නාම පුවරුව කරන්දෙණිය හිපන්කන්ද ක්‍රීඩාංගණය ඉදිරිපිටදී විවෘත කෙරුණේ ප්‍රදේශවාසීන්ගේ අත්පොලසන් මැද්දේය. එදා එසේ නිරාවරණයවූ නාම පුවරුව අද එහි අකුරු කියවා ගැනීමටත් නොහැකි ආකාරයට මැකී ගොස් ඇත්තේ මේ ගම්මානයද අදාළ බලධාරීන්ගේ සිත්වලින් මැකී ගොස් ඇති ආකාරයටමය.
මේ ගම්මානය ආරම්භ කිරීමත් සමගම තමන්ගේ කුරුඳු නිෂ්පාදනවලට සාධාරණ මිලක්, සිය නිෂ්පාදන මිලදී ගැනීමට රට වටෙන්ම වෙළෙන්ඳන් පැමිණේ යයි ඔවුහු සිතූහ. ඒ සතුට එදා දෝරේ ගැලුවේ ඔවුන්ගේ අත්පොලසනින් සහ ඔලවරසනිනි. එදා ලක්ෂ ගණනක් වටිනා කුරුඳු නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උපකරණ බෙදාදීමක්ද සිදු කෙරිණ. මේ කරන්දෙණියේ හිපන්කන්දේ ස්ථාපිත කරනු ලැබූ කුරුඳු සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයට අත්වී ඇති අභාග්‍ය සම්පන්න ඉරණම ගැනය.
සමස්ත ලංකා කුරුඳු සංගමයේ සභාපති සමන් ප්‍රියන්ත විජේවික්‍රම: මේ ගම්මානය ආරම්භ කළේ මගේම ගමේයි. අරමුණ තිබුණේ අපේ ප්‍රදේශයේ සිටින කුරුඳු ගොවීන්ගේ ජන ජීවිතය නගා සිටුවීමටයි. ඒ වාගේම අපේම කුරුඳුවලින් රටට ඩොලර් අද්දවා ගැනීමටයි. අද ඒ දෙකම වුණේ නැහැ. හේතුව අදාළ බලධාරීන්ගේ නොහැකියාවයි. ඔවුනට අවශ්‍ය කළේ මොනවා හරි ව්‍යාපෘතියක් දියත් කරලා සිය දෙපාර්තමේන්තුවේ, අමාත්‍යාංශයේ නම ලියවා ගැනීමටයි. අදාළ ඇමතිවරුන්ට වුවමනා කළෙත් ඒකමයි. ඒ අයට අවශ්‍ය වුණේ නැහැ. මේ ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන. ප්‍රතිලාභ ලැබෙන විදිහට මේ ව්‍යාපෘතිය දියත් කිරීමට අදාළ බලධාරීන් අසමත් වුණා. ඒ අය ෆෙල්වුණා. ඒ අය ෆෙල් වුණේ රටේ ජාතික ධනය කාබාසිනියා කරලයි. රුපියල් කෝටි ගණනක් මේ සඳහා වියදම් කළා. කුරුඳු ගම්මානය විවෘත කිරීමට පමණක් ලක්ෂ ගණනක් වියදම් කළා. ඒත් කමක් නැහැ මේ වැඩසටහන නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළා නම්. මේ වැඩසටහනත් එදා දේශපාලනීකරණය වුණා. ප්‍රතිලාභ ලැබුණේ පාක්ෂිකයන්ට. අදාළ බලධාරීන් මේ ව්‍යාපෘතිය පිළිබඳව පසු විපරමක් කළේ නැහැ. ඒ ගැන සොයා බැලුවේ නැහැ. රජයේ මුදල් ඇති වෙන්න වියදම් කළා. බඩු බෙදුවා.මේක තමයි ඇත්ත කතාව.
ටී. එච්. සුසිරිපාල: අපිත් දන්න කාලේ ඉඳලා කළේ කුරුඳු වැඩ. කුරුඳු කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය උපකරණ නැතිව බොහෝම අමාරුවෙනුයි. මේ රස්සාව කරගෙන යන්නේ. එදා කුරුඳු සෞභාග්‍යා ගම්මානය ආරම්භ කරන උත්සවයට අනාරාධනාවෙන් නමුත් අපිත් ආවා. එදා කුරුඳු ගොවීන් කියලා කුරුඳු නිෂ්පාදනය කිරීමේ උපකරණ නොමිලයේ ලබලා දුන්නා. එදා ඒ උපකරණ දුන්නු අයගෙන් බහුතරයක් කළේ කුරුඳු රස්සාව නෙමෙයි. වෙනත් රස්සාවල්. කුරුඳු රස්සාව කළ සැබෑ කුරුඳු කාර්මිකයන්ට මේ උපකරණ ලබා දුන්නේ නැහැ. ඉතිං කොහොමද කුරුඳු සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානය සාර්ථක වෙන්නේ. එහෙම වෙන්න නම් ඒ උපකරණ හම්මබ වෙන්න ඕන හිපන්කන්දේ නියම කුරුඳු ගොවියාටයි. ඒකයි මේ වගේ හොඳ ව්‍යාපෘතියක් අසාර්ථක වුණේ.
අපි පරම්පරාවෙන්ම කුරුඳු කාර්මිකයන්. කුරුඳු කර්මාන්තයේ යෙදෙන අපිටත් එදා කුරුඳු නිෂ්පාදන උපකරණ ලැබුණේ නැහැ. එදා ඒ උපකරණ ලබාදුන්නු බොහෝ දෙනා එම උපකරණ මේ වනවිට උකස් කරලා ඉතාම අඩු මිලකට. මොකද ඒ අය කුරුඳු කාර්මිකයන් නොවන නිසා. එදා කළේ මහා ජාතික අපරාධයක්. රජයේ සල්ලි නිකං වීසි කළා. රට බංකළොත් වුණේ මේ වගේ ව්‍යාපෘති නිසයි. අපි ඉල්ලනවා වහාම මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරලා එදා නුසුදුස්සන්ට දුන්නු උපකරණ ආයෙමත් අරගෙන සුදුසු අයට දෙන්න කියලා. ඒ වගේම මේ ව්‍යාපෘතිය මේ වගේ අසාර්ථක එකක් කළ නිලධාරීන්ට දඩුවම් දෙන්න කියලා.
ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් ගුණරත්න:
මේ ව්‍යාපෘතිය යටතේ හිපන්කන්ද හා ඒ අවට කාන්තාවන්ට කුරුඳු වලින් හඳුන්කූරු නිෂ්පාදනය කිරීමට පුහුණුවක් සහ ඒ සඳහා මැෂින් ලබාදුන්නා. ඔවුන්ට එම කාර්ය කරගෙන යාමට හිපන්කන්ද ප්‍රදේශයේ රජයේ ගොඩනැගිල්ලක කොටසකුත් දුන්නා. මේ ස්ථානයේ දැන් කුරුඳු හඳුන්කූරු නිෂ්පාදනය කරන්නේ යලට මහට. නිතරම පාහේ එම ස්ථානය වහලා දාලා. ඒ අය කියන්නේ තමන් නිෂ්පාදනය කරන කුරුඳු හඳුන්කූරු සඳහා වෙළෙඳපොළක් නැහැ කියලා. ඒ නිසා හඳුන්කූරු නිෂ්පාදනය කළාට වැඩක් නැහැ කියලා. තමන්ට වෙළෙඳපොළක් තිබේනම් ඕනෑතරම් කුරුඳු හඳුන්කූරු නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. මේවා අදාළ බලධාරීන් තේරුම් ගන්න ඕන.
කුරුඳු හඳුන්කූරු ප්‍රචලිත කරලා දැනට මේ පැත්තකට ඇදලා දාලා තියෙන කුරුඳු හඳුන්කූරු නිෂ්පාදනය කිරීමේ යන්ත්‍ර සූත්‍රවලින් වැඩක් ගත යුතුයි. මේ ව්‍යාපෘතිය සක්‍රීය කිරීමට දැන්වත් අදාළ බලධාරීන් පියවර ගත යුතුයි.
කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති මහීල් රංගජීව මුණසිංහ: මේ ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා කුරුඳු කුඩු කිරීමේ මැෂින් රැසක්ම ජනතාවට ලබාදීලා. ඒවායෙන් වැඩකරන්නේ කිහිපයක් පමණයි. අනෙක් ඒවා ගෙවල්වල මුලුවල. කුරුඳු කුඩු කරන්න මැෂින් දුන්නට කුඩු කරන කුරුඳු ගන්න කෙනෙක් නැහැ. ඒ සඳහා වෙළෙඳපොළක් හඳුන්වලාදීලා නැහැ. ඒ නිසා මේ දීපු කුරුඳු කුඩු කිරීමේ මැෂින් ටික වැඩක් නැතිව ඔහේ තියෙනවා. මේ වගේ අසාර්ථක ව්‍යාපෘති කිහිපයක්ම කරන්දෙණියේ තියෙනවා.
මේ පිළිබඳව කරන්දෙණිය සම්බන්ධීකරණ කමිටු සභාපති සහ ගාලු දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාගෙන් විමසූවිට මෙසේ කීවේය.
ඇත්තටම මේ වගේ අසාර්ථක ව්‍යාපෘති පිළිබඳව අපව දැනුම්වත් කිරීම වටිනවා. එය කාලෝචිත ක්‍රියාවක්. මේ කරන්දෙණිය හිපන්කන්ද ප්‍රදේශයේ පහු ගිය රජයකින් ආරම්භ කරන ලද කුරුඳු සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයට අත්වී ඇති අභාග්‍ය සම්පන්න ඉරණම ගැන මම පෞද්ගලිකවම සොයා බලනවා. අපි සොයා බලන්නේ මේ වැඩපිළිවෙළ කඩා කප්පල් කරන්න නෙමෙයි. නැවත වතාවක් මේ ව්‍යාපෘතිය පණ ගන්වලා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නයි. දූෂණයක්,වංචාවක් වෙලා තියෙනවානම් ඒ ගැනත් සොයා බලනවා.
කරන්දෙණියේ ඈලීයාවට ගිය කුරුඳු සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානය