IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කොමර්ෂල් බැංකුව ඩුබායි මූල්‍ය මධ්‍යස්ථානයේ කාර්යාලයක් පිහිටුවීමට යයි

 


භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව එක්සත් අරාබි එමීරයේ ඩුබායිහි පිහිටි ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයෙහි (DIFC - Dubai International Financial Centre)  සිය නියෝජිත කාර්යාලයක් පිහිටුවීම සඳහා සූදානමින් සිටින බව පවසයි. 

ඒ සඳහා වන ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙහි අනුමැතිය හිමි කරගැනීමට බැංකුව පසුගියදා සමත්ව  තිබේ. 

මෙම කාර්යාලය පිහිටුවීම බැංකුවෙහි පුළුල්කරණ සහ වර්ධන බලාපොරොත්තු වෙත සහයෝගය දක්වන අවස්ථාවක් බවත් බැංකුව සදහන් කරයි. එසේම එය බැංකුව සිය ගෝලීය පියසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා වන අවස්ථාවක් සනිටුහන් කරන බවත් බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි. 

මෙම ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය මැදපෙරදිග, අප්‍රිකා සහ දකුණු ආසියා (MEASA ) කලාපයේ ප්‍රමුඛතම ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සැලකෙයි. මෙම කලාපය තුළ වෙළෙඳ සහ ආයෝජන අවස්ථා වෙනුවෙන් 2004 සිට වසර 20කට අධික කාලයක් පුරා සාර්ථකව පහසුකම් සැලසීමට ඊට හැකියාව ලැබී තිබේ. 

මෙම MEASA  කලාපය තුළ රටවල් 77ක් පවතින අතර, ජනගහනය බිලියන 3.7ක් ලෙස ගණන් බලා තිබේ. එසේම එහි ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 10.5ක් පමණ වෙයි. එසේම එම මධ්‍යස්ථානය මගින් වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළ ආසියානු, යුරෝපා සහ  ඇමෙරිකානු ආර්ථිකය හා සම්බන්ධ කරයි. 

 



අදහස් (0)

කොමර්ෂල් බැංකුව ඩුබායි මූල්‍ය මධ්‍යස්ථානයේ කාර්යාලයක් පිහිටුවීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site