IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


කොමර්ෂල් බැංකුවේ ඩො. බිලියනයක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක්

  • මෙම කඩඉම පසු කළ පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් 
  • මීට පෙර CTC, JKH සහ LOLC යන සමාගම් මෙම කඩඉම පසු කිරීමට සමත් වෙලා

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මෙරට ප්‍රමුඛතම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය එක්සත් ජනපද ඩොලර් බිලියනයක සීමාව පසු කිරීමට සමත් වූ බව පවසයි.

2024 දෙසැම්බර් 31 වැනිදා කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අවසානයේදී රුපියල් 144.75ක් ලෙස සටහන් වූ බැංකුවේ කොටසක අගය, 2025 අගෝස්තු 19 දිනය වන විට රුපියල් 196.75ක් දක්වා ඉහළ යාමත් සමගින්ම බැංකුවෙහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මෙලෙස ඩො. බිලියනයක සීමාව පසු කිරීමට සමත් වී තිබේ.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ඊයේ (28) කොළඹ කොටස් හුවමාරුවේ වි​ෙශ්ෂ ආරම්භක සීනුව නාද කිරීමේ අවස්ථාවක්ද සංවිධානය කෙරිණි. මේ සඳහා කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන්, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්ද, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුතු අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, පත් කළ ප්‍රධාන විධායක නිලධාරිනී වින්ද්‍යා ජයසේකර ඇතුළු මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.

මෙහිදී අදහස් දක්වා සිටි කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුතු අබේසේකර මහතා, “කොමර්ෂල් බැංකුව මෙම කඩඉම පසුකිරීම මගින් එම බැංකුවේ ශක්තිමත් බව පමණක් නොව, අපගේ ප්‍රාග්ධන වෙළෙඳපොළ කෙරෙහි පවතින විශ්වාසය පිළිබදවත්, අපගේ කොටස් වෙළෙඳපොළේ සාර්ථකත්වය පිළිබඳත් හොඳ පණිවුඩයක් ගෙන එනවා.“ යනුවෙන් පවසා සිටියේය. 

මීට පෙර LOLC හෝල්ඩිංග්ස් සමූහය, සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් එජ.ඩො.බිලියනයක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ කඩඉම පසු කිරීමට සමත්ව තිබේ. 

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා අදහස් දක්වමින්, “මෙම සාර්ථකත්වය මගින් පෙන්නුම් කරන්නේ අප කෙරෙහි ඇති විශ්වාසයයි. මේ හරහා වෙළෙඳපොළ පිළිගැනීම වැඩි කිරීමට අමතරව, ප්‍රාග්ධනය සහ ණය වෙළෙඳපොළ වෙත අපගේ ප්‍රවේශයද වැඩි දියුණු කරනවා. ඒ ඔස්සේ නව අවස්ථා හඹා යාමට, නවෝත්පාදනයන් සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව උදා කරනවා.“ යනුවෙන් පැවසීය.

මේ අතර 2025 පළමු මාස හය තුළ සමූහ මට්ටමින් රු.බි. 255ක සහ බැංකු මට්ටමින් රු.බි. 242ක වර්ධනයක් සමගින් 2025 දෙවන කාර්තුවේදී වත්කම් රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික බැංකුව බවටද පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්විය. 

 

 



අදහස් (0)

කොමර්ෂල් බැංකුවේ ඩො. බිලියනයක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site