IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


කොටස්වල ආයෝජනයේදී කළ යුතු - නොකළ යුතු දෑ - 3

මෙය කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ආයෝජකයන් විසින් සිදු කළ යුතු සහ සිදු නොකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබූ ලිපියකි. 

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා කළ ඉහළම කොටස් මිල දර්ශක අගයන් වර්තා කරමින් තිබෙන පසුබිමක කොටස් වෙළෙඳපොළට අලු‍තින් එක්වන සහ දැනට ආයෝජනයෙහි නිරතවන්නන් යන දෙපිරිසටම කාලීන වශයෙන් ඉතා වැදගත් වන සහ ආයෝජකයන් වශයෙන් සිදු කළ යුතු සහ සිදු නොකළ යුතු කරුණු රාශියක් පිළිබඳව පසුගිය සති දෙක තුළ ලංකාදීප FT හි පළ කළ ලිපිවලින් ඔබ දැනුවත් කළෙමු. ඒවා අතර කොටස් වෙළෙඳපොළ ආයෝජනය දිගුකාලීන ආයෝජන මාර්ගයක් බව තේරුම් ගැනීම, කොටස් වෙළෙඳපොළ පිළිබඳව නිසි හැදෑරීමක් කර කොටස් ආයෝජනය වෙත ප්‍රවේශ වීම, කොටස් වෙළෙඳපොළ සූදුවක් ලෙස නොසැලකීම, අනෙකුත් ආයෝජකයන් පසුපස ගොස් කොටස් මිලදී නොගැනීම (අන් අය අනුකරණය නොකිරීම), කටකතා මත කොටස් මිලදී නොගැනීම, තමන් කොටස් මිලදී ගන්නා සමාගම් පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු කිරීම, කොටස් වෙළෙඳපොළ නොකඩවා ඉහළ යනු ඇතැයි සිතීම, අනවශ්‍ය ලෙස ණය වී කොටස් මිලදී නොගැනීම, තමන්ට අවශ්‍ය තොරතුරු තමන් විසින්ම අධ්‍යයනය කිරීම ආදී ආයෝජක ඔබ විසින් සිදු කළ සහ සිදු නොකළ යුතු කරුණු ඇතුළත් විය. අද ලිපියෙන්ද අප බලාපොරොත්තු වන්නේ තවත් එවැනි කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.  

කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීමේදී සෑම විටම සමීක්ෂණ සිදු කරන්න.

අප කලින් ලිපිවල සඳහන් කළ පරිදි කොටස් වෙළෙඳපොළෙන් ඔබ මිලදී ගෙන ඇති සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ හෝ පහළ යන්නේ වාසනාව මත නොව විවිධ ආර්ථික, දේශපාලනික, සමාජීය කරුණු හේතුවෙනි. ඔබ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන විට මෙම කරුණු තේරුම් ගැනීම ඉතා වැදගත්ය. විශේෂයෙන්ම කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී තමන් මිලදී ගත යුත්තේ කුමන ක්ෂේත්‍රයක කොටස්ද, කුමන සමාගම්වල කොටස්ද යන්න ඔබ හඳුනා ගත යුතුය. මේ සඳහා කළ හැකි හොඳම දෙය නම් සමීක්ෂණ සිදු කිරීමයි. එය ඔබට දෙයාකාරයකින් සිදු කළ හැක. 

පළමු දේ නම්, ඔබ විසින්ම ස්වයං අධ්‍යයනයක් සිදු කිරීමයි. එය එතරම් අපහසු කටයුත්තක් නොවන අතර වර්තමානය වන විට ඔබට අවශ්‍ය සියලු තොරතුරු කොළඹ කොටස් වෙළෙඳපොළ වෙබ් අඩවිය සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබා ගත හැක. එමෙන්ම කොටස් තැරව්කාර ආයතනද තම වෙබ් අඩවි පවත්වා ගෙන යන අතර ඒවා මගින්ද තොරතුරු ලබා ගත හැක. එනමුත් මෙසේ ලබා ගන්නා තොරතුරු පදනම් කරගෙන කොටස් මිලදී ගන්නේ කෙසේදැයි තීරණය කිරීමට නම් ඔබට යම්කිසි ආකාරයක දැනුමක් අවශ්‍යය. 

අවශ්‍ය සමීක්ෂණ සිදු කිරීමට ඉතා පහසුම මඟ වන්නේ ඔබ සම්බන්ධ වී ඇති කොටස් තැරැව්කාර ආයතනයෙන් ලබා දෙන සමීක්ෂණ වාර්තා කියවීමයි. එම වාර්තා මගින් ඔබට වටිනා තොරතුරු රාශියක් ලබා ගත හැක. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ බොහෝ විට කොටස් තැරැව්කාර ආයතන විසින් සමීක්ෂණ වාර්තා ලබා දෙනු ලබන්නේ තමන් ළඟ මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුමක් (CDS) විවෘත කර ඇති ආයෝජකයන් සඳහා පමණක් වීමයි. එබැවින් ඔබ කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගැනීමේදී හොඳ සමීක්ෂණ අංශයක් ඇති කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගැනීම සිදු කළ යුතුය. 

විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් පවත්වාගෙන යාම

ඔබ කොටස් මිලදී ගැනීමේදී ආයෝජන විවිධාංගීකරණය ඉතා අත්‍යවශ්‍ය දෙයකි. එනම් එකම සමාගමක හෝ එකම ව්‍යාපාර ක්ෂේත්‍රයක කොටස් මිලදී නොගෙන ව්‍යාපාර ක්ෂේත්‍ර කිහිපයක් පුරා පැතිරුණු සමාගම් කිහිපයක කොටස් මිලදී ගැනීමයි. එවිට යම් ආකාරයකින් එක සමාගමක හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයක කොටස් මිල පහළ වැටුණහොත් ඔබ අනෙකුත් ව්‍යාපාර හෝ සමාගම්වල කොටස් මිලදී ගෙන ඇති බැවින් එම පහළ යාමෙන් ඔබට එතරම් බලපෑමක් නොවනු ඇත. මක් නිසාද යත්, සමහර විට ඔබ කොටස් මිලදී ගෙන ඇති අනෙකුත් ව්‍යාපාර ක්ෂේත්‍ර වල කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබීමට හැකියාවක් ඇති බැවිනි. එබැවින් එය කොටස් මිලදී ගැනීමේදී මෙම විවිධාංගීකරණය පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතුය. 

කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ඔබට ලැබෙන ඊ-මේල් හා අනෙකුත් තොරතුරු ළඟ තබා ගැනීම

කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු කිරීම යනු බොහෝ විට විශ්වාසය මත සිදු වන දෙයකි. ඔබට කොටස් මිලදී ගැනීම විකිණීම සිදු කළ හැක්කේ කොටස් තැරව්කාර ආයතනයක් හරහා වන අතර එබැවින් තම කොටස් තැරැව්කාර ආයතනය සමග යහපත් සබඳතා පවත්වාගෙන යාම ඔබට ඉතා වැදගත් වනු ඇත. විශේෂයෙන්ම ඔබ තෝරා ගනු ලබන ආයෝජන උපදේශක සමග නොකඩවා තොරතුරු හුවමාරු කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය වේ. මෙය ඔබට පමණක් සීමා නොවන අතර ආයෝජන උපදේශක ද ඒ ආකාරයෙන් ඔබ සමග නොකඩවා තොරතුරු හුවමාරු කර ගැනීම ඉතාම වැදගත්ය. එමෙන්ම ආයෝජන උපදේශක හට ඔබගේ අනුදැනුමකින් තොරව ඔබ වෙනුවෙන් කොටස් මිලදී ගැනීම හෝ විකිණීම සිදු කළ නොහැක. එමෙන්ම ආයෝජකයකු වශයෙන් ඔබද තනි තීරණ නොගෙන ආයෝජන උපදේශකගේ අදහස්ද විමසා බලා කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු සිදු කරන්නේ නම් එය ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. 

විශේෂයෙන්ම ඔබ ගනුදෙනු කිරීමේදී දිනයක් තුළ කොටස් මිලදී ගෙන ඇත්නම් එම දිනය අවසානයේදී ඔබ හට, තමන් මිලදී ගත් සහ විකුණූ කොටස් සම්බන්ධයෙන් කෙටි පණිවිඩයක් (SMS) ලැබෙන අතර එය ලැබෙන්නේ CDS මගිනි. එමෙන්ම කොටස් තැරැව්කාර ආයතනයද එදිනම ඔබ මිලදී ගත් හෝ විකුණූ කොටස් පිළිබඳ විස්තරයක් ගැනුම් හෝ විකුණුම් කුවිතාන්සි සමග ඔබ වෙත ලැබීමට සලස්වයි. මෙම තොරතුරු හොඳින් කියවා බලා යම් ආකාරයකින් ඔබ ලබාදුන් ඇණවුම් සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව වහාම තම ආයෝජන උපදේශක සමග සාකච්ඡා කර එම ගැටලුව විසඳා ගත යුතුය. එබැවින් තමන්ට ඊ- මේල් මගින් ලැබෙන ගැනුම් සටහන් හෝ විකුණුම් සටහන්, කෙටි පනිවිඩ නිබඳව පරිහරණය කිරීම මෙන්ම ළඟ තබා ගැනීමද ඉතා අත්‍යවශ්‍ය වේ. වර්තමානයේදී කොළඹ කොටස් හුවමාරුව සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක්කර ඇති බැවින් ආයෝජකයාට තම ගනුදෙනු පිළිබඳ විස්තර විද්‍යුත් ක්‍රමයට ඉහත සඳහන් කළ ආකාරයට ලැබෙන බැවින් තම ආයෝජන උපදේශක විසින් තමන් විසින් සිදුකළ ගනුදෙනු පිළිබඳව ඔබ නොදැන සිටියා යැයි කිසිම අවස්ථාවක පැවසිය නොහැක. 

කොටස් මිලදී ගැනීමේදී ආයෝජන විවිධාංගීකරණය ඉතා අත්‍යවශ්‍ය දෙයකි. එනම් එකම සමාගමක හෝ එකම ව්‍යාපාර ක්ෂේත්‍රයක කොටස් මිලදී නොගෙන ව්‍යාපාර ක්ෂේත්‍ර කිහිපයක් පුරා පැතිරුණු සමාගම් කිහිපයක කොටස් මිලදී ගැනීමයි. එවිට යම් ආකාරයකින් එක සමාගමක හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයක කොටස් මිල පහළ වැටුණහොත් ඔබ අනෙකුත් ව්‍යාපාර හෝ සමාගම්වල කොටස් මිලදී ගෙන ඇති බැවින් එම පහළ යාමෙන් ඔබට එතරම් බලපෑමක් නොවනු ඇත. මක් නිසාද යත්, සමහර විට ඔබ කොටස් මිලදී ගෙන ඇති අනෙකුත් ව්‍යාපාර ක්ෂේත්‍ර වල කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබීමට හැකියාවක් ඇති බැවිනි.

අධික තණ්හාව ඔබගේ පරිහානියට හේතු වේ 

මෙම වැකිය කොටස් වෙළෙඳපොළට පමණක් නොව ඔබගේ සාමාන්‍ය ජීවිතයේදී ද ඉතා වැදගත්ය. නමුත් මෙහිදී අප සාකච්ඡා කරනු ලබන්නේ කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව බැවින් අප අද ඒ පිළිබඳව පමණක් සාකච්ඡා කරමු. කොටස් වෙළෙඳපොළ ආයෝජනය, ආයෝජකයන්ට ඉතා ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන ආයෝජන මාර්ගයකි. එබැවින් ආයෝජකයන්ට ලැබෙන ලාබය ඉතා අධිකය. එමෙන්ම සමහර අවස්ථාවලදී කොටස් වෙළෙඳපොළ පහළ ගොස් ආයෝජකයන්ට අලාභයක් ලැබීමටද සිදු විය හැකිය. මෙය ඕනෑම ආයෝජනයක පොදු ලක්ෂණයකි. 

අප බොහෝ විට දැක ඇත්තේ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන ආයෝජකයන් තමන් මිලදී ගත් කොටස්වල මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙන අවස්ථාවලදී ද කොටස් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි සිතා තමන්ට දැනට ඇති ලාබය ලබා නොගැනීමයි. උදාහරණයක් වශයෙන් තමන් රුපියල් 10කට මිලදී ගත් කොටසක් වර්තමානය වන විට රුපියල් 50කට ඉහළ ගොස් තිබුණහොත් එහිදී ඔබට එක් කොටසකින් රුපියල් 40ක ලාබයක් ඇත. මෙය එක් කොටසක් සඳහා පමණි. ඔබ කොටස් විශාල ප්‍රමාණයක් මිලදී ගෙන තිබුණහොත් ඔබගේ ලාබය අධිකය. මෙවැනි අවස්ථාවක ආයෝජකයන් සිදුකළ යුතු වන්නේ දැනට ලැබී ඇති ලාබයෙන් සෑහීමකට පත්ව එම කොටස් විකුණා තම ලාබය ලබා ගැනීමයි. එසේ නොමැතිව එම කොටස් මිල තව දුරටත් ඉහළ යතැයි සිතා කොටස් නොවිකුණා සිටීමෙන් සිදු වන්නේ තමන්ගේ ලාබය අඩුවීමයි. මක්නිසාදයත්, ඕනෑම සමාගමක කොටස් මිල ගණන් ඉහළ යාහැකි සීමාවක් තිබේ. එම සීමාවට ළඟාවීමෙන් පසුව සමහර අවස්ථාවල කොටස් මිල ගණන් පහළයාම දක්නට ලැබේ. 

මෙහිදී ආයෝජකයා සිතිය යුතු වන්නේ තමන්ට සාධාරණ ලාබයක් ඇතැයි සිතා කොටස් මිල ගණන් ඉහළ ගිය විට කොටස් විකිණීමයි. එසේ නොමැතිව කොටස් තවදුරටත් “අල්ලා ගෙන සිටීම”‍ නොවේ. පසුගිය කාලය පුරාවට අප මෙය අත්දැක ඇත්තෙමු. සමහර ආයෝජකයන් තමන්ට ඉහළ ප්‍රතිලාභයක් ඇතිවිටදීත් එම කොටස් නොවිකුණා තවදුරටත් කොටස් මිල ඉහළ යනු ඇතැයි සිතා තම ලාබය උපරිමය කර ගැනීමට උත්සාහ කරයි. ආයෝජකයකු සිදුකළ යුතු වන්නේ තමන්ට සාධාරණ ලාබයක් ලැබුණ විට එම කොටස් විකුණා තවත් අයකුට ඒ ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩකඩ සැලැස්වීමයි.

අප කලින් සඳහන් කළ උදාහරණයට අනුව කොටසක මිල රුපියල් 50ක් දක්වා ඉහළ ගිය විට ඔබ කොටස් විකුණා තිබුණත්, සමහර විට එම කොටසක මිල තවදුරටත් ඉහළ ගොස් රුපියල් 75ක් දක්වා වුවද ඉහළ යා හැක. එහිදී ඔබ “අපරාදේ, මට තව අල්ලගෙන ඉන්න තිබුණා”‍ යැයි ඒ පිළිබඳව පසුතැවිලි නොවිය යුතුය. ඔබට දැනටමත් කොටසකට රුපියල් 40ක ලාභයක් ලැබී ඇත. එම ලාබය පිළිබඳව ඔබ සතුටු විය යුතුය. බොහෝ ශ්‍රී ලාංකික ආයෝජකයන් එම වරද සිදු කරන අතර පසුව ඒ පිළිබඳව පසුතැවිලි වේ. තමන්ට පමණක් ලාබය උපරිම කර ගැනීමට උත්සාහ නොකර තමන්ට ඇති ලාබයෙන් සෑහීමකට පත්වීම සෑම ආයෝජකයකුම පුරුදු පුහුණු කළ යුතු නැණවත් ආයෝජකයකු සතු ගුණාංගයකි.  

මෙම ලිපියෙහි ඉතිරි කොටස ඊළඟ සතියේදී පළ කෙරේ. 



අදහස් (0)

කොටස්වල ආයෝජනයේදී කළ යුතු - නොකළ යුතු දෑ - 3

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site