කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ආයෝජකයන් විසින් සිදු කළ යුතු සහ සිදු නොකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබූ ලිපියකි මේ.
කොටස් වෙළෙඳපොළ මේ දිනවල ඉතිහාසයේ වාර්තා කළ ඉහළම කොටස් මිල දර්ශක අගය වර්තා කර ඇත. පසුගිය බ්‍රහස්පතින්දා වන විට කොටස් කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 17,434 ලෙස වාර්තා වෙමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කර ඇත. කොටස් වෙළෙඳපොළ මේ වසරේ මේ වන විට සියයට 10ක් ඉහළ ගොස් ඇති අතර පසුගිය වසර කිහිපයේම කොටස් වෙළෙඳපොළ විශාල ලෙස ඉහළ ගිය බැවින් නවක ආයෝජකයන් රාශියක් කොටස් වෙළෙඳපොළට පිවිස සිටී.
එමෙන්ම කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ආයෝජකයන් සංඛ්‍යාවද ඉතා ඉහළය. මේ කරුණු කාරණා පදනම් කරගෙන අප පසුගිය ලිපියෙන් කොටස් වෙළෙඳපොළට සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් සිටින සහ දැනට ආයෝජනයේ නිරතව සිටින ආයෝජකයන් කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී සිදු කළ යුතු හා සිදු නොකළ යුතු දෑ පිළිබඳව සඳහන් කරන ලදි. ඒවා අතර කොටස් වෙළෙඳපොළ ආයෝජනය දිගුකාලීන ආයෝජන මාර්ගයක් ලෙස සැලකීම, කොටස් වෙළෙඳපොළ පිළිබඳව නිසි හැදැරීමක් කර කොටස් ආයෝජනය වෙත ප්‍රවේශ වීම, කොටස් වෙළෙඳපොළ සූදුවක් ලෙස නොසැලකීම, අනෙකුත් ආයෝජකයන් පසුපස ගොස් කොටස් මිලදී නොගැනීම, කටකථා මත කොටස් මිලදී නොගැනීම වැනි කාරණා මැයි 25 වැනි දින ලංකාදීප FT තුළ පළ කරනු ලැබූ ලිපියෙන් පහදා දෙන ලදී. මෙම ලිපියෙන්ද අප බලාපොරොත්තු වන්නේ කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ආයෝජකයන් විසින් සිදු කළ යුතු සහ සිදු නොකළ යුතු තවත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබට පහදා දීමයි.
තමන් කොටස් මිලදී ගන්නා සමාගම් පිළිබඳව සොයා බැලීම
කොටස් වෙළෙඳපොළ විශාල ලෙස ඉහළ යන සෑම අවස්ථාවකම බොහෝ ආයෝජකයන් සිදුකරනු ලබන්නේ සැලකිය යුතු ලෙස කොටස් මිල ගණන් ඉහළ යන සමාගම්වල කොටස් මිලදී ගැනීමට පෙළඹීමයි. සමහර අවස්ථාවලදී ඔවුන් මිල ඉහළයාම පිළිබඳව පමණක් සොයා බලන අතර සමාගම පිළිබඳව සොයා බැලීමක් සිදු නොකරයි. එසේ සිදු නොකර ආයෝජකයන් විසින් තමන් කොටස් මිලදී ගන්නා සමාගම කුමන ආකාරයේ සමාගමක්ද, එම සමාගම අයත් ව්‍යාපාර ක්ෂේත්‍රය කුමක්ද, එහි ලාභදායීත්වය කොපමණද, එම සමාගමේ පසුගිය වසර කිහිපයේ ලාභදායීත්වය කෙසේ හැසිරී ඇත්ද, එම සමාගමේ වෙළෙඳපොළ කොටස (Market Share), සමාගමේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම් හා සැපයුම් තත්වය කෙසේද, සමාගමට ඇති අනෙකුත් තරඟකරුවන් කවුද, සමාගමේ කළමනාකාරීත්වය හොබවන්නේ කවුරුන්ද, සමාගමේ වාර්ෂික වාර්තා අනුව එම සමාගමේ ඉදිරි සැලසුම් මොනවාද යන කාරණා පිළිබඳව සොයා බැලිය යුතුය.
එසේ නොමැතිව සමාගමේ මිල ඉහළ යනු දැක කොටස් මිලදී ගැනීම සිදු නොකළ යුතුය. මෙම තොරතුරු බොහෝමයක් තම කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශක හරහා ලබාගත හැක. එමෙන්ම ස්වයං හැදෑරීමක් කිරීම, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙබ් අඩවිය වන www.cse.lk යන වෙබ් අඩවිය පරිහරණය කිරීමෙන් මෙම තොරතුරු ආයෝජකයන්ට පහසුවෙන් ලබාගත හැකිය.
කොටස් වෙළෙඳපොළ නොකඩවා ඉහළ යනු ඇතැයි සිතීම.
කොටස් වෙළෙඳපොළට පිවිසෙන නවක ආයෝජකයන් බොහෝමයක් දැක ඇත්තේ කොටස් වෙළෙඳපොළේ ඉහළයාම පමණි. එනමුත් කොටස් වෙළෙඳපොළක් එක දිගට ඉහළ යාමක් හෝ එක දිගට පහළ වැටීමක් සිදු නොවේ. උච්චාවචන ලොව ඕනෑම කොටස් වෙළෙඳපොළකට පොදු ලක්ෂණයකි. කොටස් වෙළෙඳපොළක් ඉහළ හෝ පහල යාමට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ එම රටේ පවතින ආර්ථික තත්වය, දේශපාලන තත්වය, සමාගම්වල ලාබදායීත්වය, රටේ ආර්ථික ප්‍රතිපත්ති, විදේශ ආයෝජක හැසිරීම ආදී කරුණුය. මෙම කරුණු කාරණා එක ලෙසම නොපවතින අතර කලින් කලට ඒවා වෙනස් වේ. වර්තමානය වන විට රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථිකයේ ඇති වී ඇති පුනරුදය කොටස් වෙළෙඳපොළ ඉහළ යාමට විශාල ලෙස බලපා ඇත. මෙහිදී ආයෝජකයන් තේරුම්ගත යුතු වැදගත් කරුණක් වන්නේ කොටස් වෙළෙඳපොළ විශාල ලෙස ඉහළ ගිය විට මීට ප්‍රථම අඩු මිලට කොටස් මිලදී ගෙන ඇති ආයෝජකයන් ඉහළ මිලකට කොටස් විකුණා ලාබ ලබා ගැනීමට පෙළඹීමයි. එවිට කොටස්වලට ඇති සැපයුම වැඩී වී කොටස් මිල ගණන් පහළ ගොස් කොටස් වෙළෙඳපොළද සමස්තයක් ලෙස පහළ යා හැක. එවැනි අවස්ථාවල කොටස් වෙළෙඳපොළේ යම්කිසි ආකාරයක කෙටිකාලීන පහළ වැටීමක් දැකිය හැකිය.
එසේ කොටස් වෙළෙඳපොළ පහළ වැටුණු විට පහළ මිල ගණන් වලට නැවත වතාවක් කොටස් මිලදී ගැනිමට ආයෝජකයන් පෙළඹෙන අතර ඉල්ලුම වැඩි වී කොටස් මිල ගණන් ඉහළ ගොස් කොටස් වෙළෙඳපොළද ඉහළ යා හැක. මෙය බොහෝ අවස්ථාවල කොටස් වෙළෙඳපොළේ අත් දකින්නට ලැබෙන තත්වයකි. එවැනි උච්චාවචන ඕනෑම කොටස් වෙළෙඳපොළක ප්‍රධාන ලක්ෂණයකි. එහෙයින් මෙම කරුණු කාරණා සිහියෙහි තබාගෙන ආයෝජකයන් කොටස් වෙළෙඳපොළ එක දිගට ඉහළ යනු ඇතැයි සිතා කොටස් මිලදී නොගත යුතුය. එමෙන්ම අප ඉහත සඳහන් කළ කාරණා අනුව කොටස් වෙළෙඳපොළ කෙටිකාලීනව පහළ වැටුණහොත් අනවශ්‍ය කලබලයකට ආයෝජකයන් පත්ව විය යුතු නැත. මක් නිසාද යත්, කොටස් වෙළෙඳපොළ පහළ වැටුණු විට නැවත වතාවක් කොටස්වලට ඇති ඉල්ලුම ඉහළ ගොස් කොටස් වෙළෙඳපොළද ඉහළ යා හැකි බැවිනි.
අනවශ්‍ය ලෙස ණය වී කොටස් මිලදී නොගැනීම
කොටස් වෙළෙඳපොළ ඉහළ යන සෑම විටකදීම කොටස් වෙළෙඳපොළට පැමිණෙන ආයෝජකයන්ට ලැබෙන ප්‍රතිලාභ ද විශාල ලෙස ඉහළ යයි. මෙසේ කොටස් වෙළෙඳපොළ නොකඩවා ඉහළ යන විට සමහර ආයෝජකයන් සිදු කරන ප්‍රධානතම වරදක් වන්නේ තමන්ට දරාගත නොහැකි ආකාරයට කොටස් මිලදී ගැනීමට පෙළඹීමයි. සමහර ආයෝජකයන් තම අරමුදල් සියල්ලම කොටස් වෙළෙඳපොළේ පමණක් ආයෝජනය කරන අතර එය නැණවත් ක්‍රියාවක් නොවේ. ආයෝජන විවිධාංගීකරණය ආයෝජකයන්ට අත්‍යවශ්‍ය දෙයකි. ඉන් අදහස් වන්නේ එකම ආයෝජන මාර්ගයක ආයෝජනය නොකර ආයෝජන මාර්ග කිහිපයක ආයෝජනය කිරීමයි. තමන් වැඩි වශයෙන් තම අරමුදල් යොදවන්නේ කුමන ආයෝජන මාර්ගයකද යන්න ආයෝජකයා නැණවත්ව සිතා බැලිය යුතුය.
එමෙන්ම, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන විට සමහර ආයෝජකයන් අධික ලෙස ණය ලබාගෙන කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පෙළඹේ. එය කිසිසේත් නුවණැති ක්‍රියාවක් නොවේ. කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී තමන්ට දරාගත හැකි ආකාරයට ආයෝජනය කළ යුතුය. කොටස් තැරව්කාර ආයතන හෝ ආන්තික ණය ලබාදෙන ආයතනයකින් විශාල ලෙස ණය ලබාගෙන තමන්ට දරාගත නොහැකි ආකාරයෙන් ආයෝජනය නොකළ යුතුය. මෙසේ ණය ලබාගෙන කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළහොත් එම ණය නැවත පියවිය යුතු බවත්, එසේම එම ණය සඳහා පොලියක් ගෙවිය යුතු බවත් ආයෝජකයන් සිත් හී තබා ගත යුතුය. කොටස් වෙළෙඳපොළ නොකඩවා ඉහළ යන විට ණය ලබාගෙන කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම නැණවත් ක්‍රියාවක් සේ පෙනුණත්, යම් ආකාරයකින් කොටස් වෙළෙඳපොළ පහළ වැටුණහොත් තමන් ලබාගත් ණය නැවත පියවන්නේ කෙසේද යන්න පිළිබඳව ආයෝජකයාට නිසි සැලැස්මක් තිබිය යුතුය. මින් අදහස් වන්නේ ණය ලබාගෙන ආයෝජනය කිරීම නොකළ යුතු බව නොවේ. මෙයින් අප පහදා දීමට උත්සාහ කරන්නේ ආයෝජකයන් තමන්ට දරාගත හැකි ආකාරයට කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ යුතු බවයි.
තමන්ට අවශ්‍ය තොරතුරු තමන්ම අධ්‍යයනය කිරීම
කොටස් වෙළෙඳපොළ පිළිබඳව මේ දිනවල බොහෝ වශයෙන් සාකච්ඡාවට ගැනෙන අතර විශේෂයෙන්ම සමාජ මාධ්‍යය තුළ කොටස් වෙළෙඳපොළේ හැසිරීම ගැන විවිධ කතිකාවන් නිර්මාණය වී ඇත. එමෙන්ම විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය පිළිබඳව දේශන සහ සම්මන්ත්‍රණ පවත්වන අතර FB, Twitter (X), Telegram” YouTube වැනි සමාජ මාධ්‍යය හරහා සමහර අය ආයෝජන උපදෙස් ලබාදීමට පටන් ගෙන ඇත. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකා සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් ආයෝජන උපදේශකයකු ලෙස බලපත්‍රයක් ලබාගෙන ඇති පුද්ගලයකුට පමණක් (Registered Investment Advisor -RIA) ආයෝජන උපදෙස් ලබා දිය හැකි බවයි. එබැවින් ආයෝජකයන් සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැනීමේදී බොහෝ සෙයින් පරෙස්සම් විය යුතුය.
එමෙන්ම කොටස් වෙළෙඳපොළ පිළිබඳ විවිධ දේශන, වැඩමුළු, Online Classes සංවිධානය කරන පාර්ශව හා පුද්ගලයන් පිළිබඳව ආයෝජකයන් සොයා බැලිය යුතුය. එවැනි පාර්ශව එසේ උපදෙස් ලබාදිමට අවශ්‍ය නීතිමය තත්වය පිළිපැද ඇති බවටත්, ඔවුන් කොටස් වෙළෙඳපොළ යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වන නිල පුද්ගලයන් බවටත් හඳුනාගත යුතුය. එසේ තොරතුරු ලබාගත හැකි ප්‍රධානතම මාර්ගය වන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.sec.gov.lk වෙබ් අඩවියයි. එහි දැනට ලංකාවේ සිටින සහතික ලත් ආයෝජන උපදේශකයන්ගේ ලයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇත. මෙවැනි සහතික ලත් පුද්ගලයන්ගෙන් පමණක් තොරතුරු ලබා ගැනීමට ඔබ බොහෝ දුරට පරෙස්සම් විය යුතුය. එමෙන්ම කොටස් වෙළෙඳපොළ පිළිබඳව විවිධ දේශන, වැඩමුළු සහ Online Classes පවත්වන බහුතරයකගේ අරමුණ එමගින් මුදල් උපයාගැනීම බවත් එසේ නොමැතිව සමාජ සේවයක් ලෙස කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුම ඔබට ලබාදීම නොවන බවත් ඔබ සිහියෙහි තබා ගත යුතුය.
මෙම ලිපියෙහි ඉතිරි කොටස ඊළඟ සතියේදී පළ කෙරේ.
කොටස්වල ආයෝජනයේදී කලයුතු නොකළ යුතු දේ