භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ඊයේ (27) ගනුදෙනු අවසානයේදී රුපියල් බිලියන 18.7 ක සමස්ත පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව මෙය වසර හතරකට පසුව වාර්තා කළ ඉහළම දෛනික පිරිවැටුම ලෙසින්ද සැලකෙයි. දිනය තුළ ගනුදෙනු වූ කොටස් මිලියන 249.8 කදී මෙම පිරිවැටුම වාර්තා වී තිබේ.
2020 ජනවාරි 09 වැනිදා රුපියල් බිලියන 23.63 ක දෛනික පිරිවැටුමක් වාර්තා කිරීමට කොළඹ කොටස් හුවමාරුව සමත්ව තිබේ. එසේම 2021 පෙබරවාරි 01 වැනිදා ද රුපියල් බිලියන 23.75 ක වාර්තාගත දෛනික පිරිවැටුමක් වාර්තා වී ඇතැයි කොළඹ කොටස් හුවමාරු දත්ත වාර්තා පවසයි.
මේ අතර කොළඹ කොටස් හුවමාරුව තුළ එතෙක් මෙතෙක් සිදුව ඇති විශාලතම දෛනික පිරිවැටුම ලෙස වාර්තා වී ඇත්තේ රුපියල් බිලියන 32 ක පිරිවැටුමකි. 2008 අප්‍රේල් මාසයේදී එය වාර්තා වී ඇත.
ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,657.63 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 161.39 ක් එනම් සියයට 0.98 ක ඉහළ යාමකි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 4,909.07 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 70.13 ක එනම් සියයට 1.45 ක ඉහළ යාමකි.
කොටස් වෙළෙඳපොළේ රුපියල් බි. 18.7 ක වාර්තාගත පිරිවැටුමක්