IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කොටස් වෙළෙඳපොළ අ​ායෝජනයෙන් EPF තවත් ලාබ ලබයි

  • 2025 ජ‌ූනි වන විට ආයෝජනයේ වෙළෙඳපොළ වටිනාකම රු. බි.159.85ක් 
  • ලැයිස්තුගත සමාගම් 64ක ආයෝජනයෙන් ලබා ගෙන ඇති ලාබය රු.බි. 73.97ක් 
 
භානුක අමරසිංහ 
 
සේවක අර්ථසාධක අරමුදල (EPF) මගින් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනයේ වෙළෙඳපොළ වටිනාකම මේ වසරේ ජූනි මාසය අවසන් වනවිට රුපියල් බිලියන 159.85ක් (159,852,305,000ක්) ලෙස සටහන්ව තිබේ. 
 
ඒ අනුව මෙය එම කොටස් මිලදී ගැනීම සඳහා එම අරමුදල වැය කළ රුපියල් බිලියන 85.88ක (85,881,356,000ක) මුදල හා සැසඳීමේදී රුපියල් බිලියන 73.97ක (73,970,949,000) ලාබයක් වාර්තා කිරීමකි. 
 
සේවක අර්ථසාධක අරමුදල අද වනවිට ලැයිස්තුගත සමාගම් 64ක ආයෝජනය කර තිබේ. 2024 අවසන් වන විට එය සමාගම් 65 ක් විය. 
 
මේ වසරේ ජූනි මාසය වනවිට එම අරමුදල කොටස් ප්‍රමාණය අනුව වැඩියෙන්ම මිලදී ගෙන ඇත්තේ ඩයලොග් ආසිආටා සමාගමේ කොටස්ය. එය කොටස් 237,424,082කි. එසේම අඩුම කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තුළයි. එය කොටස් 148,476 කි. 
 
මේ අතර සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කර ඇති කොටස් අතරින් වැඩිම වෙළෙඳපොළ වටිනාකමක් බවට පත්ව ඇත්තේ කොමර්ෂල් බැංකුවේ මිලදී ගෙන ඇති කොටස් 112,533,469 යි. එහිදී කොටසක් රුපියල් 159ක් බැගින් මිලදී ගෙන ඇති අතර, වෙළෙඳපොළ වටිනාකම රුපියල් 17,892,822,000 කි. 
 
එසේම සම්පත් බැංකුවේ කොටස් 116,948,697 ක් තුළ කොටසක් රුපියල් 126.50ක් බැගින් සිදු කර ඇති ආයෝජනයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 14,794,010,000 කි. මීට අමතරව කොටසක් 336.50 ක් බැගින් හැටන් නැෂනල් බැංකුවේ කොටස් 44,443,363ක සිදු කර ඇති ආයෝජනයේ වටිනාකම රුපියල් 14,955,192,000 කි. 2024 වසර අවසන් වනවිට මෙම සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම රුපියල් ට්‍රිලියන 4.4 ක් විය.



අදහස් (0)

කොටස් වෙළෙඳපොළ අ​ායෝජනයෙන් EPF තවත් ලාබ ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site