කොටස් වෙළෙඳපොළ ආයෝජනයට ඔබ නවක ආයෝජකයකු නම් ආයෝජනය කිරීමට ප්‍රථම තමන්ගේ වයස, තමන් සතු ඉතිරිකිරීම්, තම ආයෝජන අරමුණු, තම රැකියාව, වැනි දෑ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඔබ තරුණ වයසේ පසුවන්නකු නම් ඔබට වගකීම් අඩු නම් එමෙන්ම ස්ථිර රැකියාවකින් සැලකිය යුතු ආදායමක්ද ලැබෙන්නේ නම් ඔබට කොටස් වෙළෙඳපොළ තුළදී සැලකිය යුතු අවදානමක් ගත හැකිය.
මෙය කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ආයෝජකයන් විසින් සිදු කළ යුතු සහ නොකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබූ ලිපියකි.
අපි පසුගිය සති කිහිපයේදී පළ කළ ලිපිවලින් ඔබ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන විට සිදු කළ යුතු සහ සිදු නොකළ යුතු දෑ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළෙමු. ඒවා අතර, කොටස් වෙළෙඳපොළ යනු දිගුකාලීන ආයෝජන මාර්ගයක් බවට තේරුම් ගැනීම, කොටස් වෙළෙඳපොළ පිළිබඳව හදාරා එයට පිවිසිය යුතු බව, කොටස් වෙළෙඳපොළ ආයෝජනය සූදුවක් ලෙස නොසැලකිය යුතු බව, අනෙකුත් ආයෝජකයන් පසුපස යාම කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී සුදුසු ක්‍රියාවක් නොවන බව, කටකථා මත ආයෝජනය නොකොට තමා විසින් තහවුරු කරගත් තොරතුරු මත ආයෝජන තීරණ ගත යුතු බව, තමන් කොටස් මිලදී ගන්නා සමාගම් පිළිබඳව සොයා බැලීමේ වැදගත්කම, කොටස් වෙළෙඳපොළ නොකඩවා ඉහළ යනු ඇතැයි සිතීම සුදුසු දෙයක් නොවන බව, අනවශ්‍ය ලෙස ණය වී කොටස් මිලදී නොගැනීම, තමන්ට අවශ්‍ය තොරතුරු තමන්ම අධ්‍යයනය කිරීම, කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීමේදී සෑම විටම සමීක්ෂණ මත පිහිටා කටයුතු කළ යුතු බව, විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් පවත්වාගෙන යාමෙන් අවදානම අවම කර ගත හැකි බව, කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ඔබට ලැබෙන ඊ-මේල් හා අනෙකුත් තොරතුරු ළඟ තබා ගැනීමේ වැදගත්කම සහ අධික තණ්හාව ඔබගේ පරිහානියට හේතු වන බව ආදී වැදගත් කරුණු රැසක් ඇතුළත් විය.
අද දින ලිපියෙන්ද තවදුරටත් මේ පිළිබඳව අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.
කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ඉවසීම ඉතා වැදගත්
මේ පිළිබඳව දිය හැකි හොඳම උදාහරණය නම් පසුගිය සති කිහිපයේදී කොළඹ කොටස් වෙළෙඳපොළෙහි හැසිරීම දෙස අවධානය යොමු කිරීමයි. ඉරාන සහ ඊශ්‍රායල් යුද ගැටුම් ඉහළයාමත් සමඟම අප කොටස් වෙළෙඳපොළද විශාල ලෙස පහළ ගිය අතර එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ අපගේ ආයෝජකයන් ඉතා කලබලයට පත්ව තමන් සතු කොටස් විකිණිමට පෙළඹීමයි. කොටස් වෙළෙඳපොළ යනු දිගුකාලීන ආයෝජන මාර්ගයක් බවත් එය කෙටිකාලීන උච්ඡාවචනවලට ලක් විය හැකි බවත් සමහර ආයෝජකයන් තේරුම් ගත්තේ නැත. මෙම අනවශ්‍ය කලබලය හේතුවෙන් කොටස් වලට ඇති සැපයුම වැඩි වී කොටස් වෙළෙඳපොළ පහළට යනු දක්නට ලැබුණි.
කොටස් වෙළෙඳපොළේදී ආයෝජකයකු සිදුකළ යුතු ප්‍රධාන දෙයක් වන්නේ අනවශ්‍ය කලබලයට පත් නොවී තර්කානුකූලව සිතීමෙන් ආයෝජන තීරණ ගැනීමයි. ඉරාන -ඊශ්‍රායල් යුද ගැටුම් සමතයකට පත්වීම ආරම්භවීමත් සමඟම ලෝක වාතාවරණය වෙනස්වී අපගේ කොටස් වෙළෙඳපොළද නැවත වතාවක් ඉහළයාමට පටන් ගන්නා ලදි. ජුනි මස 27 දින වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා කළ ඉහළම අගය වාර්තා කරන ලදි. අනවශ්‍ය කලබලයට පත්ව තමන් සතු කොටස් විකුණනු නොලැබූ ආයෝජකයන් මෙම ඉහළයාමෙන් ඉහළ පල ප්‍රයෝජන ලබා ගන්නා ලදි. මෙයින් අපට ඉගෙන ගත හැකි පාඩම නම් කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී අනවශ්‍ය ලෙස කලබලයට පත්වීම සුදුසු නොවන බවයි. ආයෝජකයාට එය යම්කිසි ආකාරයක අපහසු ක්‍රියාවක් වුවත් ඉවසීම ප්‍රගුණ කිරීම ආයෝජකයාගේ ප්‍රගමනයට හේතු වනු ඇත.
ආයෝජනයට ඔබ සූදානම්ද යන්න තීරණය කිරීම
කොටස් වෙළෙඳපොළ ආයෝජනයට ඔබ නවක ආයෝජකයකු නම් ආයෝජනය කිරීමට ප්‍රථම තමන්ගේ වයස, තමන් සතු ඉතිරිකිරීම්, තම ආයෝජන අරමුණු, තම රැකියාව, වැනි දෑ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඔබ තරුණ වයසේ පසු වන්නකු නම් ඔබට වගකීම් අඩු නම් එමෙන්ම ස්ථිර රැකියාවකින් සැලකිය යුතු ආදායමක්ද ලැබෙන්නේ නම් ඔබට කොටස් වෙළෙඳපොළ තුළදී සැලකිය යුතු අවදානමක් ගත හැකිය. එමෙන්ම තමන් ආයෝජනය කරන මුළු මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට වෙන් කළ හැකිය. එමෙන්ම ඔබ විශ්‍රාමික වයසේ පසු වන්නකු නම් ඔබ සතු සියලුම ඉතුරුම් කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීම සුදුසු නැත. එමෙන්ම අනවශ්‍ය අවදානමක්ද ගැනීම සුදුසු නැත. එසේම ඕනෑම ආයෝජකයකු විසින් තමන් හදිසියකට ළඟ තබාගෙන ඇති මුදල් කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමද සිදු නොකළ යුතුය. අප කලින් සඳහන් කළ ආකාරයටම කොටස් වෙළෙඳපොළ යනු දිගුකාලීන ආයෝජන මාර්ගයකි. එබැවින් කෙටිකාලීන අරමුණු මත කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය නොකළ යුතුය.
වැඩිපුර ආයෝජකයකු වන්න අඩුවෙන් ගනුදෙනුකරුවකු වන්න
කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීම සහ ගනුදෙනු කිරීම කාරණා දෙකකි. කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය යන්නෙන් අදහස් වන්නේ දිගුකාලීන අරමුණු මත පිහිටා කොටස් වෙළෙඳපොළෙහි මුදල් යෙදවීමයි. එසේ සිදුකරන පුද්ගලයන් තමන් ආයෝජනය කරන මුදල අවම වශයෙන් වසර 5ක් වත් කොටස් වෙළෙඳපොළෙහි රඳවා තබා ගැනීමට බලාපොරොත්තුවෙන් ආයෝජනය කරයි. ඔවුන්ගේ අරමුණු දිගුකාලීනය. කෙටිකාලීන කොටස් වෙළෙඳපොළ හැසිරීම ඔවුන්ට අදාළ නොවේ. කෙටිකාලීනව කොටස් වෙළෙඳපොළ උච්ඡාවචනය වුවත් ඔවුන් ඒ පිළිබඳව එතරම් තැතිගැනීමකට ලක් නොවේ.
ගනුදෙනුකරුවන් යනු කෙටිකාලීන අරමුණු මත කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන පුද්ගලයන්ය. ඔවුන්ගේ අරමුණු කෙටිකාලීනය. උදාහරණයක් වශයෙන් අද කොටස් මිලදී ගෙන හෙට දිනයේදී ඉහළ මිලකට කොටස් විකිණීමට ඔවුන් උත්සාහ කරයි. ඔවුන්ගේ බලාපොරොත්තුව කෙටිකාලීන උච්ඡාවචන වලින් කොටස් වෙළෙඳපොළ හරහා මුදල් උපයා ගැනීමයි.
කොටස් වෙළෙඳපොළකට දිගුකාලීන ආයෝජකයන් මෙන්ම කෙටිකාලීන ගනුදෙනුකරුවන්ද අවශ්‍යය. කොටස් වෙළෙඳපොළක් පවත්වා ගැනීමට මේ දෙපිරිසම අවශ්‍යය. එහෙත් ආයෝජකයකු වශයෙන් ඔබ සිදුකළ යුතු වන්නේ දිගුකාලීන ආයෝජකයකුවීමට උත්සාහ කිරීමයි. ඔබ කොටස් වෙළෙඳපොළෙහි යොදවන මුදලින් අවම වශයෙන් සියයට 75ක් දිගුකාලීන අරමුණු මත පිහිටා ආයෝජනය කිරීමට ඔබ උත්සාහ කළ යුතුය. ඉතුරු සියයට 25 කෙටිකාලීන අරමුණු මත ආයෝජනය කළ හැකිය. එහෙත් මෙම ප්‍රතිශතය ආයෝජකයාගෙන් ආයෝජකයාට වෙනස් විය හැකිය.
ආයෝජනයේදී අවසාන තීරණය තමන් විසින්ම ගැනීම
කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී අවසාන තීරණය ආයෝජකයා විසින්ම ගත යුතුය. ඔබ හට ආයෝජන උපදෙස් ලබාදීමට කොටස් තැරව්කාර ආයතන විසින් ආයෝජන උපදේශකවරයකු ලබා දෙන අතර ඔහු විසින් සිදුකරනු ලබන්නේ ඔබට අවශ්‍ය මඟපෙන්වීම සිදුකිරීමයි. ඔබ විසින් මිලදී ගත යුතු කොටස් මොනවාද, විකිණිය යුතු කොටස් මොනවාද, රඳවා තබා ගත යුතු කොටස් මොනවාද, කොටස් මිලදී ගත යුත්තේ හෝ විකිණිය යුත්තේ කුමන මිලකටද යන්න ආයෝජන උපදේශකවරයා විසින් ආයෝජකයාට උපදෙස් ලබා දෙයි.
ආයෝජන උපදේශක එසේ ආයෝජන උපදෙස් ලබා දිය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ කොටස් තැරැව්කාර ආයතනය සිදුකරනු ලබන සමීක්ෂණ මත පිහිටාය. එසේ සමීක්ෂණ මත පිහිටා ආයෝජන උපදෙස් ලබා දුන්නත් එම උපදෙස් පිළිගන්නවාද, නොපිළිගන්නවාද යන්න තීරණය කළ යුත්තේ ආයෝජකයාය. මෙහිදී සිදුකළ යුතු හොඳම දෙය වන්නේ තම ආයෝජන උපදේශකවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹිමයි. කෙසේ වෙතත් අවසාන තීරණය ගත යුත්තේ ආයෝජක ඔබ විසින්මය
.
අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් (Discretionary Account) පවත්වාගෙනයාම
අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් ද යම් ආයෝජකයකුට කොටස් තැරැව්කාර සමාගමක් හරහා ආරම්භ කළ හැකිය. එය ආයෝජකයා සහ කොටස් තැරව්කාර ආයතනය අතර අත්සන් කරනු ලබන ගිවිසුමකි. අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිවිසුමක් මගින් ආයෝජන උපදේශකවරයාට තම අභිමතය පරිදි ගනුදෙනු කිරීමට යම් අධිකාරිමය බලයක් ලබා දේ. නිදසුනක් වශයෙන්, පූර්ණ අභිමතය පරිදි ආයෝජන උපදේශකවරයකුට සුරැකුම්පත් ගනුදෙනු කිරීමට හැකියාව ලබා දෙන අතර කාර්යබහුල පුද්ගලයන්ට මෙවැනි ගිවිසුමක් පවත්වාගෙන යාම වැදගත්විය හැකිය.
එසේම රැකියාවකට හෝ වෙනත් කර්තවයක් සඳහා විදේශ ගතවන ආයෝජකයකුට මෙවැනි ගිවිසුමකට එළඹීම හරහා තම ආයෝජන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ද හැකියාව ලැබේ. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ ආයෝජකයාට නොදන්වා, ආයෝජකයා වෙනුවෙන් ඔහුගේ ආයෝජන උපදේශකවරයාට කොටස් මිලදී ගැනීම් හා විකිණීම් සිදු කිරීමට ඉන් හැකියාව ලැබෙන බවයි.
එසේ ආයෝජකයාට නොදන්වා කොටස් ගනුදෙනු සිදුකළත් දිනය අවසානයේ එසේ සිදුකළ කොටස් ගනුදෙනු සම්බන්ධ ඊ-මේල් ආදී විස්තර ආයෝජකයාට ලැබෙනු ඇත. එහෙත් ඔබ නවක ආයෝජකයකු නම් වඩාත් සුදුසු වන්නේ මෙවැනි විශේෂ ගිවිසුම්වලට එළඹීමෙන් තොරව ඔබගේ ආයෝජන උපදේශකවරයා සමඟ සාකච්ඡා කොට ආයෝජන තීරණ ගනිමින් ආයෝජන කටයුතුවල නිරත වීමයි.
සහතික ලත් ආයෝජන උපදේශකවරයකු සමග කටයුතු කිරීම
කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී යම් කිසි ආයෝජකයකු ශ්‍රී ලංකා සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබා ඇති කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගත යුතු අතර ඉන් අනතුරුව එම තැරැව්කාර ආයතනයෙන් ආයෝජන උපදේශකවරයෙකු ආයෝජකයා හට ලබා දේ.
ආයෝජන උපදේශක වෘත්තීයෙහි නියැලෙන පුද්ගලයන් බොහෝ ඇත. එහෙත්, කොටස් හා ණයකර මිලදී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර ලබා දී ඇති ආයෝජන උපදේශකයන් පිළිබඳ නම් ලැයිස්තුවක් එහි වෙබ් අඩවිය වන www.sec.gov.lk පළකර ඇත.
එසේම එම ආයෝජන උපදේශකයන් අයත් කොටස් තැරැව්කාර ආයතනය, ඔහුගේ වෘත්තීය සුදුසුකම්, අධ්‍යාපන සුදුසුකම් සහ දුරකථන අංක ඇතුළු විස්තරද එම වෙබ් අඩවිය මගින්ම සොයා ගත හැකිය. මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ ඔබගේ ආයෝජන උපදේශකවරයා සහතිකලත් ආයෝජන උපදේශකවරයෙක්ද යන්න තහවුරු කර ගැනීමයි.
දැනට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව යටතේ බලපත්‍ර ලබා දී ඇති කොටස් තැරැව්කාර ආයතන 27ක් ඇති අතර ආයෝජකයන්ට තම කැමැත්ත අනුව කොටස් තැරැව්කාර ආයතන එකක් හෝ කිහිපයක් සමඟ කටයුතු කිරීමටද අවස්ථාව ඇත.
කොටස් වෙළදපොල ආයෝජනයේදී කළ යුතු නොකළ යුතු දෑ