IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


ඖෂධ වෙළෙඳපොළට යාන්ත්‍රණයක්

අධි රුධිර පීඩනය බෝ නොවන රෝග හේතුකොටගෙන සිදුවන මරණවලින් සියයට හැත්තෑවකට වගකිව යුතු බව නොබෝදා අනාවරණය විය. 2021 වසරේ කරන කරන ලද පර්යේෂණයකට අනුව ජනගහනයෙන් සියයට 34.8 ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙති. මෙම පිරිස අතරින් සියයට හැට හතරක කොටසක් ඖෂධ පාවිච්චි කරන්නේ නැත. මෙම වාර්තාව අනුව නොමිලේ සපයන සෞඛ්‍ය සේවා සම්බන්ධ තවත් අභ්‍යන්තරයක් අනාවරණය වේ. මෙම කොටස වෛද්‍යවරුන් මුණ ගැසී ඖෂධ අඛණ්ඩව භාවිත කළහොත් ඇතිවිය හැකි සංකීර්ණ තත්වය සාකච්ඡා කළ යුතුවේ. මෙරට ඖෂධ අලෙවියෙහි නිරත පිරිසට මෙම පර්යේෂණ වාර්තාව ඉතා උපායශීලි වෙළෙදපොළ හැසිරවීමකට අවස්ථාව නිර්මාණය කරමින් සිටී.

සෑම නගරයකම ඖෂධ අලෙවි සැල් කිහිපයක් තිබේ. නියම කරන බෙහෙත් මිල දී ගැනීම සඳහා ස්ථාන දෙක තුනකින් මිල විමසුවහොත් ලැබෙන ප්‍රතිචාර එකිනෙකට වෙනස්ය. වෛද්‍යවරයා නියම කරන ඖෂධ නැත. විකල්ප තිබේ. එකම ඖෂධය සඳහා අලෙවි සැල්වල මිල ගණන් එකිනෙකට වෙනස්ය. අධි රුධිර පීඩනයට ප්‍රතිකාර නොගැනීම සම්බන්ධ අභ්‍යන්තරය වගකිව යුතු අංශ සලකා බලන්නේ නැත. ඕනෑම රෝගියකුට නියම කරන බෙහෙත් මිල දී ගැනීමේ දී සිදුවන බරපතළ තත්වය බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතුවේ.

ප්‍රතිකාර නියම කළ යුතු වෙළෙඳ නමින් නොවේ

ඖෂධ සම්බන්ධයෙන් පැති දෙකක් තිබේ. රෝගීන්ට නිකුත් කරන ප්‍රතිකාරවලදී වෙළෙඳ නාමය භාවිත කළ හැක. ඖෂධ සම්බන්ධ නම භාවිත කළ හැක. එකම ඖෂධය වෙනස් වාණිජ නම්වලින් විකිණීමට තිබේ. අඩුම මිල ක සිට ඉහළම මිල දක්වා පාරසයකට විහිදේ. කරුණු නොදන්නා පාරිභෝගිකයෝ ඔසු සැලෙක නිකුත් කරන වර්ගය මිල දී ගනිති. බෙහෙත් ලබාගැනීමෙන් පසු ඒවා නියම බෙහෙත ද යන්න පරීක්ෂා කරන ක්‍රමවේදයක් නැත. ලෝකයේ ඇතැම් රටවල ලබාගත් බෙහෙත් ප්‍රමාණය නැවත වෛද්‍යවරයාට පෙන්වා තහවුරු කරගත යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයා නැවත හමුවීම පහසු නැත. රජයේ රෝහලක කළ නොහැක. පෞද්ගලික සානයනයක පවා බෙහෙත් මිල දී ගෙන පැමිණි පසු වෛද්‍යවරයා චැනල් හමාර කොට පිටත්ව ගොස් තිබේ. වෛද්‍යවරයා නියම කරන දෙයට පරස්පර ප්‍රතිකාර අලෙවි සැලෙන් නිකුත්වන අවදානම බැහැර කළ නොහැක.

වාණිජ නම වෙනුවට ඖෂධයේ නම භාවිත කරන සේ නීති පනවා තිබේ. කෙසේ වෙතත් එය අනිවාර්ය නැත. නොපැහැදිලි අකුරකින් ලියා දෙන බෙහෙත් වට්ටෝරුව ඖෂධවේදියාට පවා කියවා ගත නොහැක. චැනල් ගාස්තුව සමග සසඳන පසු තමන් භාවිතකරන බෙහෙත ගැන දැනගැනීමට පවා රෝගියාට අයිතියක් නැත. ප්‍රතිකාර නියම කිරීම, බෙහෙත් මිල දී ගැනීම අතර කාලය තුළ සැලකිය යුතු පරස්පරතා ඇති වේ. 
එදිනෙදා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී පරීක්ෂාකර බලා තමන්ට කැමැති දෙයක් පරිහරණය කරන අයිතියක් ජනතාවට ඇත. මිල හෝ තත්වය ගැන ප්‍රශ්නයක් ඇති අවස්ථාවක සතියක් ඇතුළත භාණ්ඩය ප්‍රතික්ෂේප කළ හැක. පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර සාධාරණ තීන්දුවක් ලබාගත හැකිවේ. ඖෂධ අලෙවි කරන වෙළෙඳ සැල්වල ආපසු භාර ගන්නේ නැති බව අවධාරණයෙන් සඳහන් කොට ඇත. ඉතා පරීක්ෂාකාරී විය යුතු ක්ෂේත්‍රයක් බැවින් මෙම තීරණය යහපත්ය. එහෙත් රෝගියාගේ පැත්තෙන් අවධානය වැදගත්වේ. 

ජාවාරමකට ගොදුරුවන බව නොදන්නා රෝගීහු

ඖෂධ අලෙවි සැල නගරයක වැඩිපුරම ජනතාව ගැවසෙන තැන් අතරින් එකකි. ඖෂධවේදය හදාරන ලද පුද්ගලයකු බෙහෙත් නිකුත් කළ යුතුය. එම ස්ථාන වායු සමනය කර තිබිය යුතු අතර අනිවාර්යයෙන් ශිතකරණයක තැබිය යුතු බෙහෙත් වර්ග තිබේ. මිල පාලන පුවරුවක් ප්‍රදර්ශනය කළ යුතු හාල් පොල්වල පමණකි. අනෙක් අතට විවිධ සමාගම් නොයෙක් නම් වලින් එකම බෙහෙත් වර්ගය නිෂ්පාදනය කරයි. ඒවා යේ අලෙවි මිල හා ලාභ ප්‍රතිශත අනුව විකුණන දේ තීරණ කරන්නේ වෙළෙන්දා ය. 

වාර්තා දක්වන පරිදි ඖෂධ වෙළෙඳාම හොඳ ලාබ උපයා දෙන ව්‍යාපාරයකි. අන්තර් ජාතිකව හොඳ නමක් නැත. එය ජාවාරමක් බව ප්‍රකාශ කරන අවස්ථා තිබේ. නවතම ඖෂධ සොයා ගැනීම, ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීම, වෙළෙඳ අයිතිය සහ එම කාලය තුළ වෛද්‍යවරුන් ලවා එම බෙහෙත රෝගීන්ට නිකුත් කරන ප්‍රතිකාර තුන්ඩුවෙහි ලියවා ගැනීම සංවිධානාත්මකව සිදුවේ. 

මෙම වෙහෙසකර කාර්යය සඳහා අලෙවි ක්‍රම උපයෝගීකර ගත යුතුය. සියුම් අලෙවි ක්‍රම සහ අසරණ රෝගියෙගේ ප්‍රතිකාර අතර ඇති ගුණාංග එකිනෙක පෑහීමක් නොවේ. ඖෂධ නිෂ්පාදනය විශාල ආයෝජනයක් වන අතර, එම ආයෝජනය වෙනුවෙන් උපරිම ලාබ උපයා ගැනීමට ඖෂධ නිෂ්පාදකයෝ යුහුසුලු වෙති. අවසානයේ දී නොදන්නා ජනකොටසකට වන්දි ගෙවන්නට සිදුවී තිබේ.

ඖෂධ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති දීර්ඝ කාලයක් තිස්සේ විවාදයට තුඩු දී ඇති මාතෘකාවකි. පනත් කෙටුම්පත සකස් කර තිබේ. රෝහල් සම්බන්ධ නියාමනයක් ඇත. වෛද්‍යවරු අනුගමනය කළ යුතු යහපත් ප්‍රතිපත්ති ගැන ප්‍රකාශ වේ. ආනයනික ඖෂධ ඇත. අන්තර් ජාතිකව මෙරට නිපදවන වර්ග ගැන ද කියැවේ. විවෘත ආර්ථික ක්‍රමය යටතේ ඖෂධ නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවියට විශාල තරඟයක් පවතී. මෙම තරගය හමුවේ ඇතිවන තත්වය ඉතා සංකීර්ණය. 

ලෝකයේ වෙළෙඳපොළ අතර ස්වභාවය

අන්තර් ජාතික අනාවරණ අනුව 2023 වසරේ දී ලෝකයේ ඖෂධ වෙළෙඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1,162.61 කි. 232 වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 2,151.63 ක් වියහැකි බව දැක්වේ. එය සියයට 7.1 ක වර්ධනයකි. කරුණු දක්වන පරිදි නිතිපතා වෛද්‍ය පර්යේෂණ සිදුවේ. අලුත් බෙහෙත් වර්ග සොයා ගැනේ. ඒවා යේ පර්යේෂණාගාරය දියුණු රටක වන අතර වාණිජ වශයෙන් නිපදවීම වෙනත් රටක සිදුකෙරේ. අලුත් බෙහෙත් වර්ගයක් සොයාගැනීමට වසරක සිට වසර දහයක් දක්වා ගතවිය හැකිය. මෙම පර්යේෂණ කරන සමාගම් ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් වැය කරන බව දැක්වේ. එම මුදල උපයාගැනීම සඳහා ඔවුන් අතර තරගයක් නිර්මාණය වේ. රෝගී වෙළෙඳපොළ හා වෙළෙඳපොළක් ඇති රටවල නීතිවල හිඩැස් අතරින් රිංගා අලුත් ඖෂධ විකිණීමට ප්‍රයත්න දැරේ. හුදෙක් ඒවා ඔසු සැල්වලට නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නැත. වෛද්‍යවරු ලවා ඒවා නියම කරන වැඩ පිළිවෙළක් අවශ්‍යය. මෙම අභ්‍යන්තරය ඉතා සාහසික ජාවාරමක් සේ දක්වති. 

වැඩිම බෙහෙත් වර්ග ප්‍රමාණයක් අවුරුද්දකට භාවිත කරන රට ඇමරිකාවයි. එරට අධිකාරියේ අනුමැතිය ඇති බෙහෙත් වර්ග ප්‍රචාරණයට අවසර දී තිබේ. එම අවසරයට අනුව පුවත්පත් සහ වෙනත් මාධ්‍ය ඔස්සේ නොයෙක් රෝග වෙනුවෙන් ඇති විවිධ බෙහෙත් පෙති සහ කරල්වල ඇති ගුණාගුණ සහ සංඝටක ගැන ජනතාව දැනුම්වත් කරන වැඩ පිළිවෙළ ඇත. ශ්‍රී ලංකාවේ දී ප්‍රචාරණය පාලනය වේ. එහෙත් දිනපතා මෙරට මාධ්‍ය ඔස්සේ ශක්ති වර්ධක, පැහැපත් කරන සහ නෙයෙක් රෝගවලින් වැළකෙන බව දක්වා සංවිධානාත්මකව ප්‍රචාරක කටයුතු සිදුවේ. වෛද්‍යවරු නියම නොකරන එහෙත් වෛද්‍ය උපදෙස් රහිතව භාවිතා කිරීම අනතුරුදායක විය හැකි පෙති හා කරල් නිවේදනය වේ. 

රොයිටර් පුවත් සේවාව වාර්තා කර ඇති තවත් තොරතුරකට අනුව සමාගම්වලින් රෝගවලට ප්‍රතිකාර පමණක් නොව ජනතාවගේ ආකල්ප හා ප්‍රවනතා අධ්‍යයනය කරන අතර එයට සරිලන නව ඖෂධ ආකාරයේ දේ බහුලව සපයති. අධික බර පාලනය කරන අතර වයස්ගත පිරිස් හෝ තරුණයන් ඉලක්ක කර පෝෂණ සත්කාරක දක්වති. පැහැපත්බව හා අධික තෙහෙට්ටුව වළක්වනබව කියන ද්‍රව්‍ය ද ඒ අතර ඇත. 

රෝගියා ගේ ඉරණම

ෆෝබ්ස් වාර්තා දක්වන පරිදි ලෝකයේ ව්‍යාපාර අතර වැඩිම ලාභ උපයන අංශ ගණනාවකින් වාණිජ බැංකු සියයට විසි නවයක උපරිම ලාබයක් ලබන පසු ඖෂධ වෙළෙඳාම සියයට හතළිස් දෙකක ලාබයක් ලබන ක්ෂේත්‍රයකි. රථ වාහන නිෂ්පාදනය සියයට දහයක, තෙල් හා ගෑස් වෙළෙඳාම සියයට විසි හතරක හා මාධ්‍ය ජාලා සියයට දහ අටක වශයෙන් ලාබ උපයන බව පසුගිය කාලය තිස්සේ කරන ලද දත්ත එකතුකිරීම් හෙළි කොට ඇත. 

ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධ අතරින් ප්‍රමාණයක් ගෙන්වන්නේ ඉන්දියාවෙන්ය. ඒවා මිල අඩුය. ඉන්දියාවේ දී අඩු මිලට නිපදවන අතර ඇමරිකාවේ හෝ සිංගප්පූරුවේ අලෙවිකෙරෙන ඖෂධ බ්‍රිතාන්‍යයේ හෝ වෙනත් රටක නිපදවන ලද එම වර්ගයේම මිල වැඩි ඖෂධයකි. එහි රසායනික සංයෝගය ප්‍රමිති සම්බන්ධයෙන් වෙනස් කිරීමක ප්‍රතිඵලයකි. ඥාතියකු එංගලන්තයෙන් එවූ බෙහෙත ඉතාම ගුණදායක බව මෙරට රෝගීන්ගේ මතය සම්බන්ධ පසුබිම බව දැක්විය හැකිය.

එකම බෙහෙත් වර්ගය නොයෙක් සමාගම් වලින් නිෂ්පාදනය කර ඖෂධ වෙළෙඳ සැල්වලට බෙදා හැර තිබේ. වට්ටෝරුවේ නියම කරන ඖෂධය අතරින් වෙළෙඳ සැලේ ඖෂධවේදියාට විකිණීමට ඇති දේ අතුරින් වැඩිම ලාබය සහිත ඖෂධය පාරිභෝගිකයා අතට පත් කරන්නට බැරිකමක් නැත. මෙවැනි පැති සලකා බලන පසු ශ්‍රී ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තිය හා වෙළෙඳාම ඉතාම සංකීර්ණ බව දැක්වීම ඉතාම වැදගත්ය. 

ප්‍රතිකාර පතා එන රෝගියකු විශ්වාසය සම්බන්ධයෙන් පමණක් නොව වියදම් කළ හැකි ප්‍රමාණය අතින් ද අසරණය. රක්ෂණ ක්‍රමවේද සහිත නමුත් ජනගහනයෙන් වැඩි කොටසක් ආවරණය නොවේ. නියම කරන ප්‍රතිකාර ගැන විකල්පයක් ගැන සොයන පිළිවෙළක් නැත. සෞඛ්‍ය අමාත්‍යංශයේම දත්තවලට අනුව අවුරුද්දකට හයවතාවක් සෑම පුරුවසියකුම ප්‍රතිකාර ලබා ගෙන තිබේ. මාස දෙකකට වරක් බෙහෙත් ගන්නට තරම් ජනතාව රෝගීවන අතරම මෙයින් ද මෙරට සුව සේවාවේ අභ්‍යන්තරය මෙයින් වටහා ගත හැකිවේ. රෝග වළක්වා ගැනීම සහ රෝගී තත්ව ගැන අවශ්‍ය දැනුම මුලික දැනුම රටවැසියන්ට සැපයීම වැදගත්ය. ඖෂධ මිල දී ගැනීම හා භාවිතය ගැන ද කියා දිය යුතුව තිබේ. මූලික ඖෂධ වර්ග සම්බන්ධ මිල හා තත්ව ගැන පරීක්ෂා කරන නියාමනයක් රටට අවශ්‍යය. 



අදහස් (0)

ඖෂධ වෙළෙඳපොළට යාන්ත්‍රණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site