
එල් නිනෝ ආපදා අවදානමක් ගැන සංවාදයක් නිර්මාණය වී තිබේ. අනපේක්ෂිත නියඟයක් සහ තවත් අවස්ථාවක අනපේක්ෂිත අධික වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කෙරේ. මෙහි දී ජාත්‍යන්තර වශයෙන් උද්ගත විය හැකි ස්වභාවය ගැඹුරින් සලකා බැලිය යුතුව තිබේ. පසුගිය කාල වකවානුව තුළ එල් නීනෝ තත්වය දකුණු ආසියාවේ දුර්වල මෝසම් වැසි, අක්‍රමවත් වර්ෂාපතන රටා සහ නියඟ හා ගංවතුර අවදානම ඇති කර තිබිණි. ඉදිරි මාස කිහිපය තුළ දකුණු ආසියාවට සහ විශේෂයෙන් ඉන්දීය සාගර කලාපය තුළ පැතිරයන දේශගුණික කම්පන, ආර්ථික පීඩන සහ භූ දේශපාලනික අස්ථාවරතා ඇතිවිය හැකිය. මෙම සියලු විපාකවල භයානක සංයෝජනයක් ද උද්ගත විය හැකි බව දැක්වේ. අභියෝගයේ මැද අපේක්ෂිත එල් නීනෝ සිදුවීම උද්ගත විය හැකි බව ප්‍රකාශ වෙයි. එය මෝසම් රටාවට බාධා කරමින් කාලගුණික තත්ව තීව්‍ර කරනු ඇති අතර දැනටමත් ආහාර, ජලය සහ බලශක්ති ක්ෂේත්‍ර පවතින දුබලතා මත තවත් අමතර පීඩනයක් ඇති කරනු ඇත.
අපේක්ෂා කරන ආකාරයට එල් නීනෝ තත්වය හුදෙකලා ප්‍රවේශයක් සේ සැලකිය නොහැක. යුක්රේනයේ යුද්ධය සහ මැදපෙරදිග අස්ථාවරතාව වැනි තවදුරටත් පවතින ගෝලීය බාධා සමග අන්තර්ක්‍රියා කරනු ඇත. මෙම පැතිකඩ බලශක්ති වෙළෙඳපොළවල්, ආහාර සැපයුම්දාම සහ නාවික ප්‍රවාහන මාර්ග හරහා තවමත් බලපෑම් ඇති කරන අවසානයක් කරා ගමන් කරන්නට ඉඩ තිබේ. මෙම සියලු සාධක එකට එක්වීමෙන් ඇතිවන බලපෑම රේඛීය නොව සමුච්චිත එකක් වනු ඇත. මෙවැනි ව්‍යසනකාරී තත්වයක් හමුවේ තනි රටවල් වශයෙන් කටයුතු කිරීමට වඩා පූර්ව සූදානමක් සහිත වූ කලාපීය සම්බන්ධීකරණයක් අවශ්‍ය කෙරේ.
කලාපීය ප්‍රතිචාරයේ සම්බන්ධ ඉතිහාසයක්
මෙවැනි අර්බුදකාරී අවස්ථාවක දී සම්බන්ධීකරණයකට කලාපය තුළ කටයුතු කළ හැකි ආකාරය ගැන පැහැදිලි පූර්වාදර්ශයක් දැනටමත් පවතී.
කොවිඩ්-19 වසංගත අවස්ථාවේ දී, ඉන්දියාව තම අසල්වැසියාට පළමුවෙන් (Neighbourhood First) ප්‍රතිපත්තිය යටතේ එන්නත්, ඖෂධ සහ අත්‍යවශ්‍ය ප්‍රවාහන සහාය අසල්වැසි රටවලට සපයන අතර සිද්ධියක දී ප්‍රථමයෙන් ප්‍රතිචාර දක්වන ප්‍රධානියකු සේ ඉස්මතු විය. එය පද්ධතිමය අර්බුද කාලවලදී කලාපීය සහයෝගීතාව සඳහා ප්‍රායෝගික රාමුවක් ගොඩනැගීමට ඉතා මැනැවින් උපකාරී විය. ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය අතරතුර ද, ඉන්දියාව මූල්‍ය ආධාර, ඉන්ධන සහ අත්‍යවශ්‍ය සැපයුම් ලබාදෙමින් වැදගත් හා එයට සමාන පද්ධති කාර්යභාරයක් ඉටු කළේය. දිට්වා සුළි කුණාටුවෙන් ඇති කළ ව්‍යසන අවස්ථාවේ දී ඉක්මන් මානුෂීය ආධාර සපයන ලද ඉන්දියාව ප්‍රථම ප්‍රතිචාරකරුවන් අතර සිටියේය.
මේවා හුදෙක් තනි සිදුවීම් නොවේ. පුළුල් භූගෝලීය කලාපය තුළ ස්ථාවරත්වය ගොඩනැගීමේ බලවේගයක් ලෙස ඉන්දියාව ක්‍රමයෙන් ක්‍රියා කරන රටාවක් සහිත තැනකට පත්වීම පිළිබිඹු කරයි. මෙම ගමන් මග ඉන්දියාවේ කලාපීය රාමු තුළ ද දක්නට ලැබේ. අසල්වැසියා පළමුව සිට සාගර් දක්වාත් දැන් මහා සාගර් දැක්ම (Neighbourhood First -SAGAR -MAHASAGAR) දක්වාත්, එය විශාල වශයෙන් සමුද්‍රීය හා කලාපීය සම්බන්ධතා ව්‍යුහයක් ගැන ඉඟි පළ කරයි.
මෙවර එල් නීනෝ වෙනස් වන්නේ ඇයි?
පසුගිය කාල වකවානුව තුළ එල් නීනෝ සිදුවීම් දකුණු ආසියාවේ දුර්වල මෝසම්, අක්‍රමවත් වර්ෂාපතනය සහ නියඟ හා ගංවතුර අවදානම් සමග සම්බන්ධ වී තිබිණි. කෘෂිකර්මාන්තය වැඩි වශයෙන් නිරත එහෙයින්ම, දේශගුණික තත්වයට ඉතා සංවේදී වන මෙම කලාපයේ, සුළු වෙනස්කම් පවා නිෂ්පාදනය හා වෙළෙඳපොළ සැපයුම සීමා කෙරෙනු ඇති අතර අවසානයේ දී උද්ධමනය, ග්‍රාමීය ආර්ථික පීඩනය සහ රාජ්‍ය මූල්‍ය අවපාතයකට හේතු විය හැකිය. කෙසේ වෙතත්, මෙවර අවදානම් තවත් වැඩි වී ඇත. එයට හේතුව වශයෙන් පහත දැක්වෙන ගෝලීය දුර්වලතා ගැන සඳහන් කළ හැකිය.
● ආහාර සහ පොහොර මිලවල සම්බන්ධ දිගුකාලීන අස්ථාවරතාව බිඳ වැටීම
● භූ දේශපාලනික ආතතීන් සමග සම්බන්ධ බලශක්තිය සඳහා අධික පිරිවැය
● ප්‍රධාන භාණ්ඩ සැපයුම් දාම ඇති කරන බාධා
● අසල්වැසි රටවල් ගණනාවක ආර්ථික තත්ව මුහුණ පා ඇති අධික ණය බර
මෙම සාධක සියල්ලම එම රටවල අභ්‍යන්තර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව අඩු කරන අතර දේශසීමා හරහා බලපෑම් පැතිර යාමේ අවදානම තවදුරටත් ඉහළ නංවයි. දකුණු ආසියානු කලාපයේ දුර්වල ආර්ථිකයක් සහිත ඇතැම් රටවල සමාජ අස්ථාවරතාව ද සැලකිල්ලට ගත යුතුය. දේශගුණික කම්පන සහ ආර්ථික පීඩන එකිනෙක එකතුවීමෙන් මානුෂීය පැවැත්ම හා එයට සමාන්තරව දරුණු දේශපාලනික ප්‍රතිවිපාක ඇති කළ හැකිය.
දිල්ලිය මූලික කරගත් කලාපීය වැඩපිළිවෙළක්
මෙවැනි තීරණාත්මක පසුබිමක් තුළ, අසල්වැසි රටවල්, ප්‍රධාන සංවර්ධන හවුල්කරුවන් සහ බහුපාර්ශ්වික ආයතන එක්කරන සැලැස්මක් සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් නව දිල්ලියට ඇරඹිය හැකිය. කලාපීය වශයෙන් අවදානමක් ගැන සඳහන් කරන එල් නීනෝ තත්වයට සූදානම්කරණ සංවාදයක් කැඳවීමට ද ඉන්දියාවට හැකියාවක් ඇත. ඉන්දියාව සතු ශක්තිමත් සාධක සලකා බලා මෙම පැති ගැන තීරණ ගත යුතුව තිබේ.
අර්බුදකාරී තත්වයකට සූදානම් කිරීමේ දී එය හුදෙක් දකුණු ආසියාවට පමණක් සීමා විය යුතු නැත. එල් නීනෝ බලපෑම් එතැනින් ඔබ්බට විහිදුණ පුළුල් ඉන්දු-පැසිෆික් සහ ඉන්දීය සාගර කලාපය පුරා පැතිර යයි. එයට පූර්ව සූදානම සමග දකුණු හා අග්නිදිග ආසියාවේ අසල්වැසි රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධාන පද්ධතිය, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව, ජපානය ඇතුළු කලාපීය ඔරොත්තු දීමේ හැකියාව සඳහා ක්‍රියාකාරී ද්විපාර්ශ්වික හවුල්කරුවන් එකතු කරගත යුතුව තිබේ. භූගෝලීය පිහිටීම, ආයතනික හැකියාව සහ ප්‍රථම ප්‍රතිචාරකරුවකු ලෙස ඇති අත්දැකීම් සැලකිල්ලට ගත් විට, මෙවැනි වැඩසටහනකට නායකත්වය දීම සඳහා ඉන්දියාවට හැකියාවක් ඇති හා එය පැවැරීම ඉතා සුදුසු දෙයකි.
අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර
අවදානමක් හා එහි භයානක පැති ගැන ප්‍රකාශ නිකුත් කිරීම නොව, ප්‍රායෝගික සම්බන්ධීකරණය මෙහි අරමුණ විය යුතුය. මෙහි දී සලකා බැලිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ඇත. හවුල් පුරෝකථන සහ පූර්ව අනතුරු ඇඟවීමේ පොදු පද්ධති සකස් කර ගැනීම, දේශගුණික දත්ත, මෝසම් පුරෝකථන සහ කෘෂිකර්මාන්තය, ජලය හා ධීවර කර්මාන්තය සම්බන්ධ අවදානම් සිතියම්ගත කිරීම සහ තොරතුරු අවශ්‍ය පරිදි ඉක්මනින් හුවමාරු කිරීමට වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සහ විපතක දී අත්‍යවශ්‍ය සැපයුම් සඳහා හදිසි සැලසුම් සූදානම් කිරීම මෙම අංශ වේ. එල් නීනෝ දේශගුණික බාධා ඇතිවන අවස්ථාවක දී ප්‍රයෝජනයට ගත හැකි පරිදි ආහාර සංචිත, පොහොර තොග සූදානම් කරගැනීම සහ බලශක්ති සැපයුම් ආරක්ෂා කිරීම සඳහා කලාපීය ප්‍රවේශ සම්බන්ධීකරණය කිරීම කෙරෙහි මෙහි දී අවධානය වැඩිපුර යොමු කළ යුතුය.
ව්‍යසන ප්‍රතිචාර සහ මූල්‍ය සම්බන්ධීකරණය
ව්‍යසන කළමනාකරණ පද්ධති අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සහ දේශගුණික කම්පන සඳහා ප්‍රයෝජනයට ගත හැකි පරිදි බහුපාර්ශ්වික සංවර්ධන බැංකු හරහා ඉක්මන් මූල්‍ය ප්‍රතිචාර යාන්ත්‍රණ ගවේෂණය කිරීම මෙහි දී වැදගත්ය.
අසල්වැසියාගේ සිට මහා සාගර් කලාපය දක්වා
ඉන්දියාවේ කලාපීය ප්‍රතිපත්තිය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. අසල්වැසි රටවල් සමග පවත්වන සම්බන්ධතාව සාගරය හා මහා සාගර කලාපය දක්වාත් පැතිර තිබේ. එය ඉන්දීය සාගර කලාපය සම්බන්ධයෙන් පවතින පුළුල් වගකීම පිළිබඳ දැක්මක් නිරූපණය කරයි. සෑම අදියරක්ම සම්බන්ධීකරණයේ විෂය පථය පුළුල් කර ඇත. අසල්වැසි සහාය සිට සමුද්‍රීය සහයෝගීතාව හා වර්ධනය දක්වාත්, ඉන්පසුව කලාපීය අන්තර් සම්බන්ධතාව පිළිබඳ පුළුල් දැක්මක් දක්වාත් වේ.
එල් නීනෝ සූදානම්කරණ වැඩසටහනක් සංවිධානාත්මකව පවත්වා ගැනීම දැනට දියුණුවන මෙම ගමන් මගෙහි ස්වාභාවික අඛණ්ඩතාවක් වනු ඇති අතර, කලාපීය උපායමාර්ගික ව්‍යුහය තුළ අනාගතයේ දී පවා දේශගුණික විපත් ඉදිරියේ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කරනු ඇත.
දේශගුණය සහ කලාපීය ආරක්ෂාව
දේශගුණික සිදුවීම් සහ ආරක්ෂක ප්‍රතිඵල අතර වෙනස දිනෙන් දින අඩුවෙමින් පවතී. එක් රටක මෝසම් කාලගුණය බලපෑමෙන් පසු උද්ගත වන නිෂ්පාදන අඩාලතාව තවත් රටක ආහාර සම්බන්ධයෙන් මිල උද්ධමනයක් ඇති කළ හැකිය. සුළි කුණාටුව හේතු කොටගෙන වෙළෙඳ මාර්ගවලට බාධා කළ හැකිය. නියඟ සංචාරක පැමිණීම අඩු කරන හා ඒ ඔස්සේ රාජ්‍ය මූල්‍ය අස්ථාවරතාව තවත් තියුණු කළ හැකිය. එබැවින් එල් නීනෝ යනු හුදෙක් කාලගුණ විද්‍යාත්මක සංසිද්ධියක් ලෙස නොව, කලාපීය ඔරොත්තු දීමේ හැකියාව පරීක්ෂා කරන පද්ධතිමය අභියෝගයක් ලෙස සැලකිය යුතුය.
ක්‍රියාශීලී පෙර සූදානමකට
පසුගිය කාලය තුළ උද්ගත වූ අර්බුදකාරී අවස්ථාවල දී ප්‍රථමයෙන් ප්‍රතිචාර දැක්වූවකු ලෙස ඉන්දියාව දැනටමත් කලාපය තුළ පුළුල් වශයෙන් පිළිගැනීමකට පත්ව තිබේ. කොවිඩ්-19 වසංගතය, ශ්‍රී ලංකාවේ ආර්ථික හදිසි තත්වය සහ දේශගුණික ව්‍යසනවල අත්දැකීම් මෙම කාර්යභාරය තුළ ප්‍රායෝගිකව කරුණු තහවුරු කර ඇත. ඉක්මන් ප්‍රතික්‍රියාශීලී ප්‍රවේශයක සිට පෙර සූදානම් වූ සම්බන්ධීකරණයකට මාරුවීම අනතුරුව මුහුණ දිය යුතු පියවර වශයෙන් දැක්විය හැකිය.
ඉන්දියාව විසින් නායකත්වය දෙනු ලබන සහ බහුපාර්ශ්වික ආයතන හා ප්‍රධාන ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගේ සහාය ලබන නවදිල්ලියේ කලාපීය එල් නීනෝ සූදානම්කරණ හමුවක් වහාම කැඳවීම මෙම අවස්ථාවේ ඉතා කාලෝචිත හා ප්‍රායෝගික පියවරක් සේ දැක්විය හැකිය. ගෝලීය අවදානම් යුගයක, කලාපීය සහයෝගීතාව තවදුරටත් විකල්පයක් නොව අත්‍යවශ්‍යතාවකි. එකට එකතු වී අභියෝගවලට මුහුණ දිය යුතුය.
(පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ වන මිලින්ද මොරගොඩ මහතා සමග [email protected] ලිපිනයෙන් සම්බන්ධ විය හැකිය. මෙම ලිපිය ඉන්දියාවේ වියොන්නිවුස් හි පළවූ අතර එහි පරිවර්තනයකි)
එල් නිනෝ කලාපීය සංවාදයක අවශ්‍යතාව