IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ඇහැළියගොඩ වෑවිල 5 (MW) ව්‍යාපෘතිය සමගින් සුමති හෝල්ඩින්ග්ස් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට පිවිසෙයි

සුමති හෝල්ඩින්ග්ස් හි සභාපති ජගත් සුමතිපාල මහතාගේ නායකත්ව දැක්ම යටතේ ඇහැළියගොඩල වෑවිල ප්‍රදේශයේ මෙගාවොට් 5 (MW)  සූර්ය බලාගාරය ආරම්භ කිරීමත් සමඟ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා සුමති සමූහයේ කැපවීම පිළිබිඹු වේ.
 සුජල ශක්ති ජල විදුලි බලාගාරයේ සාර්ථකත්වයෙන් පසුව සුමති හෝල්ඩින්ග්ස් සමාගම සූර්ය බලශක්ති ක්ෂේත්‍රය වෙත උපාය මාර්ගිකව ප්‍රවිශ්ට වන අයුරු මෙම ව්‍යාපෘතිය ඔස්සේ මනාව පෙන්නුම් කරන අතර ශ්‍රී ලංකාව පිරිසුදු හා වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් වෙත පියමං කෙරෙන දිගුකාලීන දැක්ම සඳහා පුළුල් දායකත්වයක් ද සපයනු ඇත. 
පසුගිය වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට 2025 වසරේ නිම කරන ලද මෙම ව්‍යාපෘතිය, සුමති හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත සමාගමක් වන සුමති එනර්ජි (පුද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක කරන ලදීග උසස් තත්වයේ වෝල්ටීයතා පැනල් (සූර්ය කෝෂ භාවිතයෙන් හිරු එළිය සෘජුවම විදුලිය බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය) සහSCADA  අධීක්ෂණ පද්ධතියකින් සමන්විත වෑවිල සූර්ය බලාගාරය, වෙනස් වන කාලගුණික තත්වය යටතේ වුවද ස්ථාවර සහ කාර්යක්ෂම බලශක්තියක් උත්පාදනය කිරීමට සමත් වේ. මෙම සූර්ය බලාගාරයෙන් වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන 7ක පමණ පිරිසුදු විදුලියක් ජනනය කිරීමට පුරෝකථනය කර ඇති අතර, ආසන්න වශයෙන් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 3,000 කින් පමණ අඩු කර මෙරට නිවාස 2500 සිට 3000 දක්වා වාර්ෂික විදුලි අවශ්‍යතාව සපුරාලීමට ද අපේක්ෂා කෙරේ. 
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපති ජගත් සුමතිපාල මහතා මෙසේ පැවසීය. ‘මෙම ව්‍යාපෘතිය, කාබන් විමෝචනය අඩු කිරීමෙන් සහ ශ්‍රී ලංකාව පුරා තිබෙන ස්වාභාවික සම්පත් සංරක්ෂණයට සහාය වීමෙන් තිරසාර සංවර්ධනයෙන් යුතු අනාගතයකට මංපෙත් විවර කරනු ලබනවා. මෙය හුදෙක්ම බලශක්ති උත්පාදනය සඳහා පමණක් නොව, අනාගත පරම්පරාවන්ගේ දීර්ඝකාලීන යහපැවැත්ම උදෙසා වන පැහැදිලි ආයෝජනයක් ද වෙනවා’’ 
මීට පෙර ක්‍රියාත්මක කළ ජල විදුලි බලාගාරයේ සාර්ථකත්වයෙන් අනතුරුව සුමති එනර්ජි සමාගම විසින් ආරම්භ කළ වෑවිල සූර්ය බලාගාර ව්‍යාපෘතිය ඔස්සේ සිය සමූහය සතු පුනර්ජනනීය බලශක්ති කළඹෙහි පුළුල් වර්ධනයක් සනිටුහන් කරනු ලබයි. මෙකී පියවරත් සමගින් ශ්‍රී ලංකාව පිරිසුදු හා වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් කරා රැගෙන යන පුරෝගාමියකු වශයෙන් සුමති හෝල්ඩින්ග්ස් හි භූමිකාව තවදුරටත් ශක්තිමත් වනු නිසැකය.



අදහස් (0)

ඇහැළියගොඩ වෑවිල 5 (MW) ව්‍යාපෘතිය සමගින් සුමති හෝල්ඩින්ග්ස් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site