IMG-LOGO

2026 ජනවාරි මස 07 වන බදාදා


ආර්ථික වර්ධනය පළමු තැන තබන නව වසරක්

සාරා කන්දෙගොඩ


නව වසර සමග ජන ප්‍රජාව තුළ අලුත් බලාපොරොත්තු තවත් ඉහළ මටට්මකට පැමිණ ඇත. පසුගිය වසර ගණනාව තුළ තියුණු හා අභියෝගාත්මක සිදුවීම් ගණනාවකි. ඒවායේ බලපෑම සමහර තැනෙක මහත් පීඩා ඇති කළේය. අර්බුදය සමග අවස්ථා ඇති කෙරේ. අලුත් ආරම්භයක් සඳහා ගමන් කළ හැකිය. ආර්ථිකය නගා සිටුවන වගකිවයුතු කාර්යය ආණ්ඩුවට පැවරී තිබේ. රජයකට පමණක් වගකීම සීමා කළ යුතු නැත. පුද්ගලික අංශයට සැලකිය යුතු පියවර ගත හැකිය. ගත යුතුව ඇත. ජන කොටස් සිය අයිතිවාසිකම් පමණක් නොව වගකීම් ගැන ද අලුතින් සිතන යුගයකට ඇතුළු විය යුතුව තිබේ.
ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයම ඉකුත් දශකය තුළ අඩු වැඩි වශයෙන් විවිධ බලපෑම්වලට මුහුණ දුන් බව සඳහන් කළ යුතුය. ස්වාභාවික විපත්, කැරළි කෝලාහල, යුද ගැටුම් යනාදිය අවසානයේ දී ලෝකයේ ආර්ථිකය හැඩ තල ගණනාවකට තල්ලු කළේය. ඇතැම් රටවල් අවපාතයෙන් පසු නවෝත්පාදන යුගයකට ඇතුළුවීම සඳහා තීරණ ගෙන තිබේ. ප්‍රතිසංස්කරණ හඳුන්වා ඇත. ඒවා ක්‍රියාත්මක කිරීම ඕනෑම රටක දී පහසු නැත. මෙම වකවානුව තුළ කාර්යක්ෂමතාව, හා පලදායීතාව ගැන ඉහළින් කල්පනා කෙරේ. අඩුම පිරිවැය සඳහා වෙනස්කම් ඇතිවෙමින් පවතී. තාක්ෂණය ඒ අතර ඉහළින්ම ඇත. ආර්ථික වර්ධනය සඳහා උපායශීලී ලෙස ජවයක් ඇති කරගැනීම වැදගත්ය.


අලුත් යුගය තුළ ඇතිකරන අවකාශ
2025 වසර අවසන්වන අතර අත්පත් කරගෙන සිටින ස්ථාවරභාවය අවසාන මොහොතේ දී අභියෝගාත්මක තැනකට පත් කරන ලදී. ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කේන්ද්‍රකරගත් සැලැස්මකට ඇතුළු වූ අතර ඒ සඳහා ජගත් ප්‍රජාව, විවිධ රටවල් සැලකිය යුතු සහායක් ලබා දුන්නේය. ඒවා මතින් නැගී සිටිමින් ස්ථාවරත්වය කරා ළඟා වෙමින් තිබුණ අවස්ථාවක සුළි කුණාටුව ඇති කරන ලද බලපෑම ඉතා විශාල බව සඳහන් කළ හැකිය. මෙහි දී සිදු වූ ජීවිත හා දේපොල හානිය කිසිදු පූර්ව අවස්ථාවකට සම කළ නොහැකි බව අලුත් වාර්තා හෙළි කරයි. යටිතල පහසුකම්වලට ඇති වූ බලපෑම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ඇති වූ තත්වය හා අවසානයේ දී ශ්‍රම බලකාය මුහුණ පා සිටින ඉරණම සුළු කොට තැකිය නොහැක. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අවස්ථාවක් ඇත. ගොඩනැගෙන්නට අලුත් මාවතක් විවර වෙමින් තිබේ.
මෙතෙක් පැවැති ගතානුගතික ක්‍රම ඉවත් කිරීමට සුදුසුම පසුබිම නිර්මාණය වී ඇත. එම තීන්දු ගැනීම සඳහා මහජනතාව විවෘත අවකාශයක් ලබා දී තිබේ. මෙතෙක් අනුගමනය කරන ල ද ප්‍රතිපත්තිවල තිබුණ දුබලතා සහ බලයට පත් වූ ආණ්ඩු අනුගමනය කරන ලද ක්‍රමවේදවල පැවැති නොපැහැදිලි ස්ථාන ගැන ජනතාව හොඳාකාරව අවබෝධ කරගෙන ඇත. දැනට පවතින දියුණු මාධ්‍ය භාවිතාව ලෝකයේ සිදුවීම් අපට සමීප කර ඇති අතර එම රටවල් අනුගමනය කරන ක්‍රම හා ඒවායේ වාසි අවාසි ගැන පැහැදිලිව දැනෙන සමාජයක් එයින් ගොඩනැගී ඇති බව පෙනේ. මෙම අවබෝධය තීව්රු කරන අතර සාකච්ඡාවක් සහ සංවාදයක් තුළින් තීන්දු ගත හැකි පහසුභාවයක වත්මන් ආණ්ඩුව පසුවන බව දැක්විය හැකිය.
මෙහි දී මෙරට ආර්ථිකය ප්‍රසාරණය කරන තීරණ ගත යුතුය. ආර්ථිකය වර්ධනය කළහොත් ප්‍රතිලාභ ලබාගත හැකිවේ. ඉහළ මට්ටමක වර්ධන අනුපාතිකයක් අරමුණු කරගෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ. එතැනින් ලබන ජවය ජන සමාජයට ලිහිල් අවකාශයක් නිර්මාණය කරනු ඇත. ආර්ථික පිබිදීම අරමුණු කරගෙන ආණ්ඩුව ඉදිරිපත් කරන යෝජනා දෙස විශ්වාසයෙන් දකින වගකීම ඉතාම වැදගත් සාධකයකි.


සංශෝධන ක්‍රමවේද තුළ වර්ධනයේ අවස්ථා 
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අය කරන බදු අනුපාතය ඉහළටම පැමිණ තිබේ. එය සියයට 15.4 ක් වන අතර මෙම අවුරුද්ද අවසානයේ දී සියයට 16 වැය හැකි බව දැක්වේ. මෙය ඉහළ මැදි ආදායම් රටක ආදායමක් සේ සැලකිය යුතුය. බදු ගෙවන ජන කොටස වඩාත් ප්‍රසාරණය වී ඇති අතර සෘජු හා වක්‍ර බදු මගින් රජය උපයන ආදායම වාර්තා ගත තැනක බව ආයතනික දත්ත අනාවරණය කර තිබේ. 
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම හා වියදම අතර පරතරය සලකා බලන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා පියවර ගැනීම ඉදිරියේ එය වැදගත් බව දැක්වීය. විදේශ සම්පත් හිඟය තුළ ජාත්‍යන්තර විශ්වාසය නැවත අත්පත් කරගැනීම සඳහා ද එය වැදගත් සාධකයක් සේ හුවා දැක්වීය. අද වන විට එම ඉලක්ක කරා පැමිණ ඇත. ආණ්ඩුව ඇතැම් බදු යොජනා ප්‍රකාශයට පත් කරන අතර සැලකිය යුතු විවේචන මතු වූ අතර ඒවා අතරින් මෙතෙක් පැමිණි ගමන විශ්වාසනීයත්වයක් සහිතය. 
මෙරට ඉතිහාසය දෙස ආපසු හැරී බලන පසු ශ්‍රී ලංකාවට වඩා පිටුපසින් ගමන ආරම්භ රටවල් අද වන විට ඉදිරියෙන් පසුවේ. සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, තායිවානය වනි රටවල් එයට උදාහරණ වේ. ඉන්දියාව පවා පහළ ආර්ථිකයක සිටි අතර එය ප්‍රතිසංස්කරණ මාලාවක් ඔස්සේ ඉහළට නැගිණ. 
1950-60 දශකය තුළ ආර්ථික වර්ධනය සියයට 4.6 කි. 1960 සිට 1970 දක්වා වර්ධනයේ සාමාන්‍ය සියයට 3.9 ක් විය. 1970-74 දක්වා කාලය තුළ වර්ධනය සියයට 2.6 ක් ව තිබුණි. 1977 දී වර්ධනය සියයට 4.4 ක් වූ අතර 1950 සිට 1976 දක්වා පැවැති සාමාන්‍ය වර්ධනය වූ සියයට 3.5 ඉක්මවන අගයකි. විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු 1977-2020 දක්වා කාලය තුළ මෙම සාමාන්‍ය සියයට පහක මටට්මක් දක්වා පැමිණියේය. ආනයන හා අපනයන අංශයත් ආගමන හා විගමන ක්ෂේත්‍රයත් යම් ප්‍රමාණයකින් නිදහස් කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට බලපා ඇත.


ශ්‍රී ලංකාව ගත යුතු මාර්ගය 
2026 වසර ලබන විට මෙරට අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.6 ක් වියහැකි බව අනතුරු අඟවා තිබේ. සියයට හතරක පමණ හිඟය තිබිය යුතු රටක් මෙපමණ පරතරයකට පැමිණීම තුළ පසුගිය කාලයේ ප්‍රශ්න බෙහෙවින් බලපා ඇත. අය වැය හිඟය පියැවීම සඳහා රට ඇතුළතින් ධනය ඉපැයීම සුදුසු තත්වයක් විය නොහැකිය. මහජනතාව සිය උපරිම බදු ප්‍රමාණය ගෙවමින් සිටී. ධනය උපයන අලුත් සැලසුම් අවශ්‍යය. කර්මාන්ත හා ව්‍යාපාර බහුල කරන තීරණගත යුතුවේ.
පසුගිය ආණ්ඩුව මෙරට ආයෝජන ව්‍යුහ වෙනස් කිරීම සඳහා ආයෝජන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් ඒකාබද්ධ කරනන නව පනතක් සකස් කර තිබුණි. එම පනත අහෝසි කරනවා ද නැද්ද යන්න තීරණයක් ගෙන නැත. මෙතෙක් පැවැති ආයෝජන උපමාන ඔස්සේ රට තුළට පැමිණි සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එක ඉක්මවා නැත. එය සියයට පහක් දක්වා වැඩිකරගැනීම අවශ්‍යතාවකි. ලෝකයේ ධනවත් සමාගම් රටට කැඳවා ගැනීම සඳහා සැලසුම් සකස් කරන තීරණ තුළින් ජනතාවගේ බදු බර අඩු කළ හැකිවේ. මෙම වසරේ සිට ඔබ්බට එවැනි අවකාශයක් තුළින් ලබාගත හැකි අවස්ථා ගැන අවධානයක් රටට අවශ්‍යය.
මේ අතර කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයක් අනුව කර්මාන්ත පරිවර්තනීය හා නවෝත්පාදන අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. කර්මාන්ත හා ව්‍යාපාරවල ස්වභාවය අලුත් පැතිකඩ සඳහා විහිදෙමින් පවතින අතර නූතන අවශ්‍යතා සලකා තීරණගත හැකි නව ක්ෂේත්‍ර විවර වන අධිකාරියක් පිහිටුවෙන බව මෙයින් ඇඟවේ. ශ්‍රී ලංකාව වැනි රටක් කලාපයේ අනෙක් තරගකාරී රටවලට වඩා ඉදිරියෙන් තීරණ ගත යුතුව ඇත. සම්ප්‍රදායික රාමුව ඉක්මවන අලුත් ව්‍යුහයක් තුළින් ආර්ථික හා සමාජ ස්වභාවය ඔසවා තැබීමට හැකි වේ. කර්මාන්ත ප්‍රතිපත්ති හා නවෝත්පාදන අවස්ථා සලකා බලමින් අයෝජන දිනාගැනීමට සුදුසු පරිසරයක් රට තුළ ඇති කළ යුතුය. 


නැවත වරක් විනිමය ප්‍රශ්න පැන නැගෙන බව
2026 වසර තුළ සියයට හතක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව අය වැය යෝජනා සමග කියැවිණ. කෙසේ නමුත් මෙම වසර තුළ නැවතත් සියයට දෙකක පමණ වර්ධනයක් දක්වා ආර්ථිකය පසුබසින්නට ඉඩ ඇති බව පර්යේෂණ වාර්තා දක්වයි. මෙම පසුබෑම තුළ නැවත වරක් විනිමය අඩු, ජනතාවට බරක් දැනෙන තැනකට පත්වීමේ අවදානමක් තිබේ. මහජනතාව ඉල්ලා සිටින සංවර්ධනය සඳහා ඉක්මන් තීරණ අවශ්‍යය. සියයට දෙක තුනක වර්ධනයකින් සතුටු කළ නොහැක. එහෙත් ගිලීමක් රහිතව පාවී පවතින්නට ප්‍රමාණවත්ය. දැනෙන සංවර්ධනයක් සඳහා ප්‍රසාරණයක් සිදුවිය යුතුව ඇත. ධනය යෙදවීම හැර අනෙක් ක්‍රමයක් නැත. අලුත් කර්මාන්ත හා ව්‍යාපාර ඇති කරන ක්‍රමවලට ඉඩ දිය යුතුවේ. ඉදිරි මාස කිහිපය තුළ ආණ්ඩුව සිය සැලසුම් අලුතින් සකස් කරන්නට සිදුවේ.
සහන බෙදන්නට නම් ධනය උපයන්නට සිදුවේ. කර්මාන්ත හා ව්‍යාපාර සඳහා ද සුළු ව්‍යවසාය සඳහා ද සහන දෙන අතර ජනතාවට ද යහමින් බෙදන ආකෘතියක් සඳහා ආණ්ඩුව සූදානම්ය. මෙම සහන තුළින් ආර්ථිකයක් හැදෙන්නේ නැත. එය අවසානයේ දී මිල දී ගැනීමේ හැකියාව වර්ධනය කරන පියවරක් පමණකි. 
කර්මාන්ත හා ව්‍යාපාර සඳහා ඉඩ දෙන ව්‍යවසායකත්ව රැල්ලක් නිර්මාණය විය යුතුය. නිපදවන දේ අපනයනය කළ යුතු අතර එය දැනට මෙරටට විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග වශයෙන් සැලකෙන සංචාරක හා විදේශගත ශ්‍රමික ප්‍රේෂණ ඉක්මවන ආකෘතියකට යටත් කළ යුතුවේ. සංචාරකයන් ගේ පැමිණීම ඉහළ ගොස් ඇත. මැද පෙරදිග ඇතුළු රටවල රැකියා අවස්ථා ද සීමා විය හැක. ඉදිරියේ දී භාවිත කෙරෙන තාක්ෂණික ක්‍රම හේතුකරගෙන ශ්‍රම වෙළෙඳපොළ බෙහෙවින් වෙනස්වන අවදානමක් තිබේ. මේවා මඟහැරීම සඳහා නිෂ්පාදන අංශවලට නැඹුරු විය යුතුය. 
ආර්ථිකයේ පෙළ ගොඩනැගෙන ආකාරය ගැන සටහන් කළ හැකි නමුත් ප්‍රායෝගික තීන්දු ගැනීම ආණ්ඩුවේ වගකීමකි. මහජනතාව එකතුකරගෙන අලුත් අදහස් අනුව ඉදිරියට යා යුතුය. මහජන අවශ්‍යතා සඳහා ආනයනය ඉහළ ගියහොත් නැවත වරක් විනිමය ප්‍රශ්න ඇති විය හැකිය. රටට ලැබෙන ණය හා ආධාර තවත් ඉහළ යන අතර ඒවා ආපසු ගෙවන පීඩනය ද එකතු වේ. නිෂ්පාදනය වැඩි කරන සේවා අවස්ථාවලින් වැඩිපුර උපයන රටක් සඳහා පෙළ ගැසෙන්නට අවශ්‍යය. අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතු අතර ප්‍රශ්න මග නොහැරිය හැකි තැනක පවතින රටක් පරිවර්තනය කර ගොඩනැගීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කරගැනීමට සූදානම හැම විටකම වැදගත්ය. 

 



අදහස් (0)

ආර්ථික වර්ධනය පළමු තැන තබන නව වසරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site