IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආරක්ෂණ ක්‍රමවේද නොමැතිවීමෙන් ලංකාව ඇඟලු‍ම් අපද්‍රව්‍ය පිරි තැනක් වෙලා

  • චීනයෙන් සහ ඉන්දියාවෙන් එන ඇඟලු‍ම් නිසා දේශීය ඇඟලු‍ම් නිෂ්පාදනය සියයට 40කින් පහත වැටිලා

මෙරට වෙත ආනයනය කරන ඇඟලු‍ම් සහ පාවහන් සම්බන්ධයෙන් තීරු බදු නොවන බාධා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අද වනවිට ශ්‍රී ලංකාව පරිසරයට මෙන්ම ජාතික සෞඛ්‍යයටද අහිතකර ඇඟලු‍ම් සහ පාවහන් අපද්‍රව්‍ය ගොඩ ගැසෙන තැනක් බවට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා ඇඟලු‍ම් සන්නාම සංගමය (SLABA) පවසයි. 

විශේෂයෙන්ම අනෙකුත් කලාපීය රටවල් වන ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, වියට්නාමය මෙන්ම නේපාලයත් අද වනවිට සිය කර්මාන්ත, පාරිභෝගිකයන් සහ ජාතික ප්‍රමිති ආරක්ෂා කිරීමට කටයුතු යොදා තිබුණත්, ශ්‍රී ලංකාව තවමත් ඇගලු‍ම් සහ පාවහන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරු බදු නොවන ආරක්ෂණ සීමාවන් පැනවීමට කටයුතු යොදා නොමැති බව එම සංගමයේ ගුණාත්මක බව සහ ප්‍රමිතිය පිළිබඳ සභාපති එම්.ආර්. ජෙෆ්රි මහතා සඳහන් කරයි.

“මෙම නීති නොමැතිවීමෙන් ශ්‍රී ලංකාව අඩු ප්‍රමිතියෙන් යුත්, රසායනිකව අනාරක්ෂිත, නොමග යවන සුළු ලේබල් සහිතව සහ අඩු මුදලට එන ඇඟලු‍ම් නිෂ්පාදන ගොඩගැසෙන රටක් බවට පත්ව තිබෙනවා. 

මෙලෙස ප්‍රමිතියකින් තොර ඇගලු‍ම් නිෂ්පාදන රැගත් චීන සහ ඉන්දියානු බහාලු‍ම් කිසිදු පරීක්ෂාවකින් තොරව රටට ඇතුළු වෙනවා. මේ නිසා ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැටලු‍ රැසකට මුහුණ දීලා. ඒ වගේම පාරිභෝගිකයන් මින් අනතුරට ලක්ව තිබෙනවා වගේම නීත්‍යානුකූලව කටයුතු කරන කර්මාන්ත සිය ව්‍යාපාර රැක ගැනීමේ අර්බුදයටත් මුහුණ දීලා.“ යනුවෙන් එම සංගමය පවසයි.

විශේෂයෙන්ම මෙලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් පැමිණෙන අඩු මිල ඇඟලු‍ම් හේතුවෙන් 2023-25 කාලසීමාවේදී මෙරට දේශිය ඇඟලු‍ම් නිෂ්පාදනය සියයට 35ත් 40ත් අතර ප්‍රතිශතයකින් පහත වැටී තිබෙන බවත් එම සංගමය සඳහන් කරයි. මෙය ඇඟලු‍ම් මැසීම, රෙදිපිළි සැපයීම, අනෙකුත් උපකරණ සැපයීම සහ ඇසුරුම්කරණයේ නිරත ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 80,000 කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල කර ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි. 

 



අදහස් (0)

ආරක්ෂණ ක්‍රමවේද නොමැතිවීමෙන් ලංකාව ඇඟලු‍ම් අපද්‍රව්‍ය පිරි තැනක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site