මෙම ලිපිය ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ (CFA) සංගමය, කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විසින් පළකරනු ලබන සහයෝගීතා ලිපි මාලාවක කොටසකි.
මෙම ලිපිය මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට සහ දිගුකාලීන මූල්‍ය ආරක්ෂාව ගොඩනැගීමට අවශ්‍ය දැනුම සහ ක්‍රමවේද සමග පුද්ගලයන් සවිබල ගැන්වීම අරමුණු කරයි. වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයෙහි වසන්ත මාපටුන විසින් රචිත “ආයෝජනය පිළිබඳ හැඳින්වීමක්” යන අපගේ පළමු ලිපියෙන් අපි මෙම ලිපි මාලාව ආරම්භ කරන්නෙමු.
ආයෝජනය පිළිබඳ හැඳින්වීම: ආයෝජනය කුමක්ද සහ එය වැදගත් වන්නේ ඇයි?
සාමාන්‍ය වැටුප් සහිත රැකියා ඇති පුද්ගලයන්ට කලින් විශ්‍රාම යාමට අවශ්‍ය නම් හෝ තම දරුවන්ගේ පෞද්ගලික අධ්‍යාපනයට අරමුදල් සපයන්නේ කෙසේදැයි මිනිසුන් බොහෝ විට කල්පනා කරන දෙයක් වන අතර, තවත් අය නිරන්තරයෙන් මූල්‍ය ආතතියෙන් යුතුව අරගල කරති. ඒ සියල්ල රඳා පවතින්නේ කෙනකු තම මුදල් කළමනාකරණය කරන ආකාරය මතය. මෙවැනි අය හට වඩාත්ම ඵලදායී උපායමාර්ගයක් වන්නේ ආයෝජනය කිරීමයි.
ශ්‍රී ලංකාවේ, අපගෙන් බොහෝ දෙනකුට ස්ථාවර තැන්පතු හරහා ඉතිරි කිරීම, රත්තරන් මිලදී ගැනීම හෝ සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවක භාර අරමුදල් (ETF) සඳහා දායක වීම ගැන හුරුපුරුදුය. එහෙත් බොහෝ දෙනෙක් ඊළඟ පියවර වෙත යාමට උත්සාහ නොකරති. එනම් ආයෝජනය හරහා මුදල් වර්ධනය කිරීම වෙත අවධානය යොමු කිරීමයි. මේ නිසා ආයෝජනය යනු කුමක්ද, එය වැදගත් වන්නේ ඇයි සහ අදම ආයෝජනය ආරම්භ කළ හැක්කේ කෙසේද යන්න අපි සොයා බලමු.
මූල්‍ය සැලසුම්කරණය වැදගත් වන්නේ ඇයි?
අපි උදාහරණයකින් ආරම්භ කරමු. ඔබ මාර්ග චාරිකාවක් යනවා කියලා හිතන්න. එහෙත් ඔබට යා යුතු ස්ථානය ගැන කිසිම අදහසක් නැති නිසා ඔබ ඔබේ ගමනාන්තය සොයා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉලක්කයක් නොමැතිව රිය පැදවීමට පටන් ගන්නවා. එසේ කළහොත් ඔබ කාලය නාස්ති කරන අතර කොතැනකටවත් ළඟාවීමට උත්සාහයක් නොමැති නිසා ඉන්ධන අවසන් වනු ඇත. එය නිසි සැලැස්මක් නොමැතිව ඔබේ මුදල් කළමනාකරණය කිරීම හා සමානයි.
ඔබේ මාර්ග සිතියම ලෙස මූල්‍ය සැලසුම් කිරීම ගැන සිතන්න. ඔබ දැන් සිටින්නේ කොතැනද සහ ඔබ යන්නේ කොතැනටද පිළිබඳව තේරුම් ගැනීමට එය ඔබට උපකාරී වේ. එය නිවසක් තැනීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ මූල්‍ය නිදහස සමග විශ්‍රාම ගැනීම සහ ඒ අරමුණු ඉටුකර ගන්නේ කෙසේද යන්න මගපෙන්වීමක් කරනවා. ඔබ උපයන ප්‍රමාණයට වඩා වියදම් කිරීම, ක්‍රෙඩිට් කාඩ්පත් අධික ලෙස භාවිත කිරීම හෝ හදිසි අවස්ථා සඳහා සූදානම් වීමට අපොහොසත් වීම වැනි සැලැස්මක් නොමැතිව සිදුකරන කටයුතු නිසා මෙවැනි පොදු උගුල්වලට ඔබ පහසුවෙන් හසුවිය හැකිය. කෙසේ වෙතත් සරල සැලැස්මක් ක්‍රියාත්මක කිරීමෙන්, ඔබට ඔබේ මූල්‍ය පුරුදු වැඩිදියුණු කළ හැකිය. ඒ වගේම ඔබේ මූල්‍ය ආතතිය අඩු කරගත හැකි අතර දිගුකාලීන ඉලක්ක කරා ස්ථාවරව ගමන් කළ හැකිය.
ආයෝජනය යනු කුමක්ද - එය ඉතිරි කිරීමට වඩා වෙනස් වන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ අපි බොහෝ විට මූල්‍ය ආරක්ෂාව ගැන වැඩි වශයෙන් හිතන්නෙමු. ඒ නිසා බැංකු ගිණුමක හෝ ස්ථාවර තැන්පතුවක මුදල් තබාගැනීම වැනි ඉතිරිකිරීමේ පුරුදු සමග සම්බන්ධ වී කටයුතු කරමු. කෙටි කාලීන අවශ්‍යතා සහ හදිසි අවස්ථා සඳහා ඉතිරිකිරීම වැදගත් වන අතර, එසේ යොදවන ඔබේ මුදල් සාමාන්‍යයෙන් සෙමින් වර්ධනය වේ.
අනෙක් අතට, ආයෝජනය යනු ඔබේ මුදල් කොටස්, දේපළ ආයෝජන, බැඳුම්කර හෝ සාමූහික ආයෝජන යෝජනා ක්‍රම (ඒකක භාර) වැනි වත්කම්වලට යෙදවීමයි. එමගින් ඒවා වටිනාකම වර්ධනය කර ගැනීමට හෝ ආදායමක් උපයා ගැනීමට හැකිය. එවැනි ආයෝජනවල වැඩි අවදානමක් තිබුණත්, ඉහළ ප්‍රතිලාභ ලැබීමටද හැකියාව තිබේ. ඔබේ දරුවා විශ්වවිද්‍යාලයට යැවීම හෝ ඔබේ විශ්‍රාම ගැනීම සැලසුම් කිරීම වැනි දිගුකාලීන ඉලක්ක සඳහා මෙවැනි ආයෝජනය වඩාත් සුදුසුය.
ආයෝජනය කිරීම තවදුරටත් ධනවතුන්ට හෝ මූල්‍ය වෘත්තිකයන්ට පමණක් නොවේ. එය ඕනෑම ශ්‍රී ලාංකිකයකුට තම ධනය වර්ධනය කිරීමට උද්ධමනය පරාජය කිරීමට සහ වඩා හොඳ අනාගතයක් සුරක්ෂිත කිරීමට භාවිත කළ හැකි ප්‍රායෝගික මෙවලමකි. ආයෝජනය කිරීම යනු සූදුවක් නොවේ. එය ඔබේ අනාගතය සඳහා සැලසුම් කිරීමකි. එය ඔබේ මුදල් වර්ධනය කිරීම සඳහා කාලය, විනය සහ දැනුම භාවිත කිරීම පිළිබඳ දෙයක් වන අතර එමගින් ඔබට වැඩි මූල්‍ය නිදහසක් සහ නිදහස් මනසකින් යුතුව ජීවත් විය හැකි වාතාවරණයක් සපයයි.
ආයෝජනය ඔබේ ධනය වර්ධනය කර ගැනීමට උපකාරී වන ආකාරය
ඔබ සියයට 6 ක වාර්ෂික පොලියකට රුපියල් 100,000 ක වසරක ස්ථාවර තැන්පතුවකට මුදල් තැන්පත් කරන බවත් එහි ආයෝජන ආදායම (ඔබ උපයන පොලිය) නැවත ආයෝජනය කරමින් වසර 10 ක් එම ස්ථාවර තැන්පතුව පවත්වාගෙන යන බවත් උපකල්පනය කරන්න. වසර 10 කට පසු ඔබට ඔබේ අවසාන ශේෂය ලෙස රුපියල් 179,000 ක් පමණ ලැබෙනු ඇත. දැන්, ඔබ එම රුපියල් 100,000 ම වාර්ෂිකව සියයට 10 ක සාමාන්‍ය ප්‍රතිලාභයක් උපයන විවිධාංගීකරණය වූ ඒකක භාරයක (සාමාන්‍යයෙන් වත්කම් කළමනාකරණ සමාගමක් හෝ ආදායම් කළමනාකරණ සමාගමක් විසින් පිරිනමනු ලැබේ) ආයෝජනය කරන බව සිතන්න. වසර 10 කින්, ඔබේ ආයෝජනය රු. 259,000 ඉක්මවිය හැකිය. මෙසේ ඔබගේ ආදායම වැඩිවූයේ ඔබට වාර්ෂිකව ලැබුණු පොලිය එකතු වූ නිසයි. ඔබ වේලාසනින් ආයෝජනය ආරම්භ කරන තරමට සහ නිතිපතා ආයෝජනය කරන තරමට, කාලයත් සමග ඔබේ මුදල් වර්ධනය වනු ඇත.
උද්ධමනය සහ මගහැරුණු අවස්ථා ගැන පරෙස්සම් වන්න
උද්ධමනය: උද්ධමනය යනු කාලයත් සමග භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාමයි, එමගින් ඔබේ ඉතුරුම් ප්‍රමාණවත් තරම් වේගයෙන් වර්ධනය නොවන්නේ නම් ඒවායේ වටිනාකම අඩු වේ. උදාහරණයක් ලෙස, ඔබ සියයට 6 පොලියක් උපයන ගිණුමක රු. 1,000 ක් ඉතිරි කළහොත්, වසරකට පසු ඔබට රු. 1,060 ක් ලැබෙනු ඇත. එහෙත් උද්ධමනය සියයට 8 ක් නම්, රු. 500 ක් වැය වූ දෙයක් මිලදී ගැනීමට, උදාහරණයක් ලෙස දිවා ආහාර පැකට්ටුවක් වැනි මිලදී ගැනීමකට දැන් රු. 540 ක් වනු ඇත. එබැවින්, ඔබේ මුදල් වර්ධනය වුවද, ඔබට පෙර මිලදී ගත හැකි වූ දිවා ආහාර පැකට් දෙක තවදුරටත් මිලදී ගත නොහැක. උද්ධමනය නිහඬව ඔබේ මිලදී ගැනීමේ බලය අඩු කරන ආකාරය මෙයින් පෙන්නුම් කෙරේ. ඔබේ මුදල් ආරක්ෂා කර ගැනීමට සහ ඉහළ යන මිල ගණන් සමග ඉදිරියට යාමට, උද්ධමනයට වඩා වේගයෙන් වර්ධනය වන ආකාරයේ ආයෝජන වෙත යොමුවීම වැදගත් වන බව ඔබට මෙයින් පැහැදිලි වේ.
අවස්ථික පිරිවැය: ඔබ වසර 10 ක් සඳහා සාමාන්‍ය ඉතුරුම් ගිණුමක රුපියල් මිලියන 1 ක් තබාගෙන ඇතැයි සිතමු. එම මුදල් සෙමින් වර්ධනය විය හැකිය. එහෙත් සාංගමික බැඳුම්කර, කොටස් හෝ දේපළ ආයෝජන වැනි ඉහළ ප්‍රතිලාභ සහිත ආයෝජන විකල්පවල ආයෝජනය කිරීමෙන් ඔබට උපයාගත හැකි ආදායම ඉහළ විය හැකි අතර එය ඉතුරුම් ගිණුම සමග සංසන්දනය කළ හැකිය. ඒ අනුව ඔබට අහිමිවීමට ඉඩ තිබූ ආදායම ඔබේ අවස්ථික පිරිවැයයි.
සෑම ආයෝජකයකුම දැනගත යුතු ප්‍රධාන මූලධර්ම හතරක් ඇත.
1. ආයෝජන කාලසීමාව (Time Horizon)
ආයෝජනය කිරීමෙන් ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි වුවද, අවදානම් ගැනීමට ඔබට ඇති හැකියාව සහ ආයෝජනයේ ස්වභාවය අනුව අපේක්ෂිත ප්‍රතිලාභය ලැබීමට ගතවන කාලය සමග සැසඳිය යුතුය. ඔබ වසරකින් විදේශ සංචාරයක් සඳහා වසර 5 කින් නිවසක් තැනීමට හෝ වසර 20 කින් ඔබේ විශ්‍රාම ගැනීම සඳහා සැලසුම් කිරීමට ආයෝජනය කරනවා විය හැකිය. ඔබේ කාලසීමාව දිගු වන තරමට, ඔබට ගත හැකි අවදානම වැඩි වේ. කෙටිකාලීන ඉලක්ක සඳහා භාණ්ඩාගාර බිල්පත් හෝ මුදල් වෙළෙඳපොළ අරමුදල් (ඒකක භාර) වැනි ආරක්ෂිත ආයෝජන වඩා හොඳය. දිගුකාලීන ඉලක්ක සඳහා ඔබට කොටස් (කොටස්) හෝ දේපළ ආයෝජන සලකා බැලිය හැකිය.
2. අවදානම සහ ප්‍රතිලාභ (Risk & Return)
ඉහළ ප්‍රතිලාභ ලැබීමක් යනු සාමාන්‍යයෙන් ඉහළ අවදානමක් ගැනීමක් ලෙස අදහස් කරයි. උදාහරණයක් ලෙස, ලැයිස්තුගත සමාගමක කොටස් මගින් ඉහළ ප්‍රතිලාභ ලබාදිය හැකි නමුත් එය උච්චාවචනය විය හැකිය. භාණ්ඩාගාර බැඳුම්කර ආරක්ෂිත නමුත් උපයාගත හැකි ප්‍රතිලාභය අඩුය. මේ නිසා ඔබේ අනාගත අරමුණු සහ ඔබට දරාගත හැකි අවදානමට ගැලපෙන ලෙස ආයෝජන තෝරාගත යුතුය.
3. අවදානම පිළිබඳව දැනුවත් වන්න
සෑම ආයෝජකයකුම දැන සිටිය යුතු අවදානම් කිහිපයක් තිබේ. එනම්:
■ වෙළෙඳපොළ අවදානම: උදාහරණයක් ලෙස, ව්‍යාපාර චක්‍ර, ආර්ථික සාධක හෝ දේශපාලනික වෙනස්වීම් මත පදනම්ව කොළඹ කොටස් හුවමාරුවේ කොටස් මිල ඉහළ හෝ පහළ යා හැකිය.
■ උද්ධමන අවදානම: උද්ධමනය ඉක්මවා නොයන ප්‍රතිලාභ ඔබේ මිලදී ගැනීමේ හැකියාව අඩු කරයි.
■ ණය අවදානම: ඔබ සාංගමික බැඳුම්කරයක් මිලදී ගෙන ඇති සමාගම ණය නැවත ගෙවීම පැහැර හැරියහොත්, ඔබට මුදල් අහිමිවිය හැකිය.
■ ද්‍රවශීලතා අවදානම: දේපළ වැනි සමහර වත්කම් හදිසි අවස්ථාවකදී එක රැයකින් විකිණිය නොහැක.
මෙම අවදානම් තේරුම් ගැනීම යන්නෙන් අදහස් කරන්නේ ඒවා වළක්වා ගැනීම නොවේ. එයින් අදහස් කරන්නේ ඒවා ඥානාන්විතව කළමනාකරණය කිරීමට ඔබ දැනුවත් විය යුතු බවයි.
4. විවිධාංගීකරණය
ඔබගේ බිත්තර සියල්ල එක කූඩයකට නොදමන්න. විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් ඔබේ මුදල් විවිධ ආකාරයේ ආයෝජන හරහා ආයෝජනය කිරීමට ඉඩ සලසන අතර එමගින් එක් ක්ෂේත්‍රයක අඩු ක්‍රියාකාරිත්වය නිසා ඔබේ මුළු ආයෝජන සැලැස්මම අඩපණ නොකරයි. ඔබට කොටස්, බැඳුම්කර, දේපළ ආයෝජන, රන් සහ විදේශ මුදල් ඉතිරිකිරීම් වැනි මිශ්‍රණයක ආයෝජනය කළ හැකිය. විවිධාංගීකරණය හරහා ඔබේ සම්පූර්ණ ආයෝජන කළඹට බලපාන එක් සෘණාත්මක හේතුවක් නිසා සිදුවිය හැකි අවදානමෙන් ඔබව ආරක්ෂා කරයි. (අප ඉදිරියේදී පළ කරනු ලබන ලිපියකින් විවිධාංගීකරණය ගැන වඩාත් විස්තරාත්මකව සාකච්ඡා කරන්නෙමු).
ශ්‍රී ලංකාව තුළ ආයෝජකයන්ට ඇති පොදු ආයෝජන විකල්ප
දේශීයව ලබාගත හැකි ජනප්‍රිය වත්කම් පන්ති පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දක්වා ඇත:
කොටස් (කොටස්): විවිධ ප්‍රතිලාභයක් ලබාදෙන ලැයිස්තුගත සමාගම්වල හිමිකාරිත්වයෙන් කොටසක් කොටස් හුවමාරුව හරහා මිලදී ගනී. එමගින් ඉහළ ප්‍රතිලාභයක් ලැබීමට හැකියාව ඇති නමුත් ඉහළ අවදානමක් ද ඇත.
ස්ථාවර ආදායම් (භාණ්ඩාගාර සුරැකුම්පත් සහ සාංගමික බැඳුම්කර): ස්ථාවර තැන්පතුවලට සමාන ආයෝජනයන්ය. මහ බැංකුව විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර හෝ සාමාන්‍යයෙන් ස්ථාවර ප්‍රතිලාභයක් ලබා දෙන ලැයිස්තුගත සමාගම්වල සාංගමික බැඳුම්කර ඇතුළත් වේ. මෙම සුරැකුම්පත්වල අඩු අවදානමක් දැකගත හැකි අතර අවදානමක් ගැනීමට අකමැති ආයෝජකයන් සඳහා සුදුසු වේ.
ඒකක භාර: වෘත්තිකයන් විසින් කළමනාකරණය කරන ලද ඒකාබද්ධ ආයෝජනයකි. ආයෝජනයට මුලින්ම ප්‍රවිෂ්ඨ වන අය සඳහා හෝ මූල්‍යමය වශයෙන් දැනුම අඩු හෝ වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු මත ආයෝජනය කිරීමට කාලය නොමැති අයට වඩාත් සුදුසුය.
දේපළ ආයෝජන: ඉඩම්, වාණිජ දේපළ සහ නිවාස, වටිනාකමින් අගය කළ හැකි හෝ කුලී ආදායමක් ගෙන ඒමට හැකි ආයෝජන. ස්ථාවර ආදායම සහ කොටස්වලට වඩා අඩු ද්‍රවශීලතාවක් මෙවැනි ආයෝජනවල දැකිය හැකිය.
රත්‍රන් වැනි භාණ්ඩ: සාම්ප්‍රදායිකව ශ්‍රී ලාංකිකයන් විසින් විශ්වාස කරනු ලබන ආයෝජනයකි. විවිධාංගීකරණය වූ කළඹක කොටසක් ලෙස සහ උද්ධමනයට එරෙහිව ප්‍රයෝජනවත් ආරක්ෂාවක් ලෙස එමගින් සලසයි.
විකල්ප ආයෝජන: මෙයට ලැයිස්තුගත නොකළ සමාගම් සහ ආරම්භක ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් සමන්විත පෞද්ගලික හිමිකාරීත්වය ඇතුළත් වේ. සාමාන්‍යයෙන් ඉහළ අවදානම් සඳහා කැමැත්තක් දක්වන වඩාත් පළපුරුදු ආයෝජකයන් සඳහා සුදුසුය.
විදේශ මුදල් ගිණුම්: එක්සත් ජනපද ඩොලර් හෝ යුරෝ ඉතිරිකිරීම්වලින් රුපියල අවප්‍රමාණයෙන් ආරක්ෂා විය හැකි නමුත් ප්‍රතිලාභ වෙනස් විය හැකිය. ශ්‍රී ලාංකික පදිංචිකරුවන්ට ආයෝජනය කිරීමට ඇති සුදුසුකම් සඳහා සීමා තිබිය හැකිය.
ආරම්භ කිරීමට ඔබට මිලියන ගණනක් අවශ්‍ය නොවේ.
අද වන විට ආයෝජන අවස්ථා වෙන කවරදාටත් වඩා පහසුවෙන් සොයාගත හැකිය. ඔබට රු. 1,000 ක් වැනි සුළු මුදලකින් ඒකක භාර සමග ඔබේ ආයෝජන ගමන ආරම්භ කළ හැකිය. නැතහොත් බලපත්‍රලාභී කොටස් තැරැව්කරුවකු හරහා CDS ගිණුමක් විවෘත කිරීමෙන් කොටස්වල ආයෝජනය කළ හැකිය. ඔබ ඒකක භාර සඳහා දායක වුවද, කොටස් මිලදී ගත්තද, නැතහොත් භාණ්ඩාගාර සුරැකුම්පත්වල ආයෝජනය කළද, මෙම සියලු ක්‍රියාවලි ඉතා පහසුවෙන් මාර්ගගත ක්‍රමය හරහා සිදුකළ හැකි ලෙස සරල කර ඇත.
සාරාංශය
ආයෝජනය කිරීම තවදුරටත් ධනවතුන්ට හෝ මූල්‍ය වෘත්තිකයන්ට පමණක් නොවේ. එය ඕනෑම ශ්‍රී ලාංකිකයකුට තම ධනය වර්ධනය කිරීමට උද්ධමනය පරාජය කිරීමට සහ වඩා හොඳ අනාගතයක් සුරක්ෂිත කිරීමට භාවිත කළ හැකි ප්‍රායෝගික මෙවලමකි. ආයෝජනය කිරීම යනු සූදුවක් නොවේ. එය ඔබේ අනාගතය සඳහා සැලසුම් කිරීමකි. එය ඔබේ මුදල් වර්ධනය කිරීම සඳහා කාලය, විනය සහ දැනුම භාවිත කිරීම පිළිබඳ දෙයක් වන අතර එමගින් ඔබට වැඩි මූල්‍ය නිදහසක් සහ නිදහස් මනසකින් යුතුව ජීවත් විය හැකි වාතාවරණයක් සපයයි.
ඔබේ වයස කුමක් වුවත්, ආයෝජනය ආරම්භ කිරීමට මේ හොඳම කාලයයි. ආයෝජනය හා සම්බන්ධ මූලික කරුණු ඉගෙන ගන්න. සුළු මුදලකින් ආරම්භ කරන්න. ස්ථාවරව සිටින්න. ඔබේ මූල්‍ය අනාගතය හැඩගැසීමට පටන්ගන්නා බව ඔබට දැකගත හැකි වනු ඇත. මූල්‍ය ස්වාධීනත්වය කරා යන ගමන ලොතරැයියකින් ආරම්භ නොවේ. එය ආරම්භ වන්නේ ඔබ විසින් ගනු ලබන එක් බුද්ධිමත් තීරණයකිනි.
ආයෝජනයක් කියන්නේ කුමක්ද?