කලම්බු ඩොක්යාර්ඩ් සහ නෝර්වේහි ‘Misje Eco Bulk’ අතර සාර්ථක සහයෝගීතාව උදාහරණයක්
2025 දී නෝර්වේ රාජ්‍යයට කළ අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 62ක්
ශ්‍රී ලංකාව වෙත විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති සහ විනිවිදභාවය ඉතා වැදගත් බව නෝර්වීජියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා අනීලා ෂා ඛාන් මහත්මිය පැවසුවාය.
පසුගියදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා - නෝර්ඩික් ව්‍යාපාරික කවුන්සිලයේ 25 වැනි සාංවත්සරිය මහා සභා රැස්වීමේදී ප්‍රධාන දේශනය සිදු කරමින් ඇය මෙම කරුණු සඳහන් කර තිබේ.
“ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය, නිපුණතා සංවර්ධනය සහ තිරසර ව්‍යාපාරික භාවිත ඇතුළු ක්ෂේත්‍ර සඳහා නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙනවා. ඒ අතරම ශ්‍රී ලංකාව වෙත විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමට නම් පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති සහ විනිවිදභාවය ඉතා වැදගත්.”
මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර සමුද්‍රීය සේවා, පුනර්ජනනීය බලශක්තිය සහ තාක්ෂණය වැනි ක්ෂේත්රවල වැඩි සහයෝගීතාවක් සඳහා ඇති අවස්ථා පවතින බව පෙන්වා දුන් ඇය, දෙරට අතර හවුල්කාරිත්වය සඳහා වන හැකියාවේ උදාහරණයක් ලෙස දෙමුහුන් (hybrid) නෞකා සම්බන්ධයෙන් කොළඹ නැව් තටාකාංගනය (කලම්බු ඩොක්යාර්ඩ්) සහ නෝර්වේ රාජ්‍යයේ ‘Misje Eco Bulk’ සමාගම අතර පවතින සහයෝගීතාව උපුටා දැක්වූවාය.
එසේම ශ්‍රී ලංකාවෙන් නෝර්වේ වෙත 2025 වසරේදී සිදු කළ අපනයනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 62කට ආසන්න අගයක් ගත් බවත්, එය 2024 වසරට සාපේක්ෂව සියයට 20ක වර්ධනයක් බවත් ඇය සඳහන් කළාය.
මෙම ශ්‍රී ලංකා - නෝර්ඩික් ව්‍යාපාරික කවුන්සිලයේ 25 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී 2026/27 වර්ෂය සඳහා නව සභාපතිනිය ලෙස ‘මෙරිඩියන් මැරිටයිම් සර්විසස් ලිමිටඩ්‘ හි මෙහෙයුම් අධ්‍යක්ෂිකා මලීනා ඕන් මහත්මිය තෝරා පත් කරගෙන තිබේ.
මෙම වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස නවදිල්ලියේ රාජකීය නෝර්වීජියානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ තානාපති ලේකම් ටෝමොඩ් නූලන්ඩ් (Tormod Nuland) මහතා සහභාගී වී ඇති අතර, නෝර්වේ රාජ්‍යයේ නිර්වේතනික කොන්සල් ජනරාල් මනෝ සේකරම් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.
ආයෝජන ආකර්ෂණයට පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති විනිවිදභාවය වැදගත් - නෝර්වීජියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා අනීලා ෂා ඛාන්