IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ආදායම් ඉලක්ක දෙකක් සපුරා නොගැනීමෙන් ලංකාවට කෝටි 2133 ක ණය සහනය අවදානමක

  • ලබන වසර සඳහා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක සහ 2027 වසරේදී එය සියයට 15.4 ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතුයි 

විමුක්ති එස් රුද්‍රිගු


ආදායම් ඉලක්ක දෙකක් සපුරා නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2133 ක් පමණ) ණය සහනයක් අහිමි වී යාමේ අවදානමක් මතුව තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හරහා ලබන වසර සහ 2027 වසර සඳහා ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්කය සපුරාලන්නේ නම් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ණය සහනයක් ලබා ගැනීමට හැකියාව පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

එහිදී ලබන වසර සඳහා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක සහ 2027 වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.4 ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතු බවට ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හරහා මෙරටට ඉලක්කයක් ලබාදී තිබෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

එහෙත් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ දක්වා ඇති ආදායම් පුරෝකථන ඉහත ඉලක්කයට වඩා පහළ මට්ටමක තිබෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. එම ප්‍රකාශයට අනුව ලබන වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.2 ක ආදායම් ඉලක්කයක් ලබන වසර සඳහා රජයට ඇති අතර 2027 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක ආදායම් ඉලක්කයක් රජයට ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර ඉලක්කයට ගැළපෙන පරිදි අද (07) ඉදිරිපත් කෙරෙන අයවැය රජය ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් එම ණය සහනය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් තිබෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය තවමත් අවසන් වී නොමැති බවත් ආණ්ඩුකරණයට බැදුණු බැදුම්කර යනු ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් හැටියට නිකුත් කිරීමට යන බැදුම්කර වර්ගයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ආණ්ඩුකරණයට බැදුණු බැදුම්කර යටතේ රටේ ආණ්ඩුකරණ තත්වය යහපත් වෙන තරමට ණය ගෙවීමේදී සහන හිමිවන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. ඒ හේතුවෙන් එම සහනය ලබා ගැනීමට නම් මෙවර අයවැයෙන් රජයේ ආදායම් ඉලක්කය එයට ගැළපෙන පරිද්දෙන් වෙනස් කළ යුතු බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.



අදහස් (0)

ආදායම් ඉලක්ක දෙකක් සපුරා නොගැනීමෙන් ලංකාවට කෝටි 2133 ක ණය සහනය අවදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site