
2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය රටේ ආර්ථික ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් විය. විදේශ විනිමය සංචිත අවසන් වීම, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට නොහැකි වීම, ඉන්ධන සහ විදුලි සැපයුම් අර්බුදය, ඉහළ උද්ධමනය සහ රාජ්‍ය ණය ගෙවීමේ නොහැකියාව යන සියල්ල එකවර මතු විය. එය හුදෙක් තාවකාලික ගෙවුම් ශේෂ අර්බුදයක් නොව, දශක ගණනාවක් පුරා පැවති රාජ්‍ය මූල්‍ය, බාහිර අංශ සහ ව්‍යුහාත්මක දුර්වලතා එකට එකතු වීමෙන් ඇති වූ අර්බුදයකි.
2022 මැද භාගයෙන් පසුව ක්‍රියාත්මක කළ ආර්ථික ගැළපුම් වැඩපිළිවෙළ හමුවේ යම් ප්‍රගතියක් අත්කරගෙන තිබේ. බදු ආදායම ඉහළ නැංවීම, බලශක්ති මිල ගණන් පිරිවැයට වඩාත් සමීප කිරීම, මහ බැංකුව හරහා රාජ්‍ය මූල්‍යකරණය සීමා කිරීම, විනිමය අනුපාතය වඩාත් නම්‍යශීලී කිරීම සහ රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඒ අතර ප්‍රධාන වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහාය මෙන්ම ප්‍රතිපත්තිමය රාමුවක් ද සපයන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටුණු අතර 2023 අග භාගයේ සිට ආර්ථික වර්ධනය නැවත ආරම්භ විය. සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වීම, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාම සහ විදේශ විනිමය සංචිත නැවත ගොඩනැගීම දක්නට ලැබුණි. 2025 වසරේදී ආර්ථික වර්ධනය සියයට 5ක පමණ මට්ටමකට ළඟා වූ අතර, අඛණ්ඩව තෙවැනි වසරටත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා විය. ජංගම ගිණුමේ ද අතිරික්තයක් වාර්තා විය. මෙම ප්‍රගතිය අවතක්සේරු කළ නොහැකිය.
එහෙත් මෙහිදී අප විමසිය යුතු ප්‍රධාන ප්රශ්නය වන්නේ ශ්‍රී ලංකාව අර්බුදයෙන් තාවකාලිකව ගොඩ ඒමට සමත් වී තිබේද යන්න පමණක් නොව, නැවත එවැනි අර්බුදයකට මුහුණ නොදෙන ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය පදනම සකස් කර තිබේද යන්නයි. ආර්ථික ස්ථායීකරණය අත්‍යවශ්‍ය වුවත් එය ආර්ථික පරිවර්තනයකට සමාන නොවේ. ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට ගිය, නිෂ්පාදන ධාරිතාව සහ අපනයන ආදායම් ඉහළ නංවන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකි.
අර්බුදයේ ස්වභාවය සහ පෙර අත්දැකීම්වල ඇති වෙනස
ශ්‍රී ලංකාව පසුගිය දශක කිහිපය තුළ කිහිප වතාවක්ම ගෙවුම් ශේෂ අර්බුදවලට මුහුණ දී තිබේ. සාමාන්‍යයෙන් එවැනි අර්බුද ඇති වූයේ ආනයන සඳහා අවශ්‍ය විදේශ විනිමය හිඟ වීම, විදේශ ණය ගෙවීමේ පීඩනය වැඩි වීම සහ ජාත්‍යන්තර සංචිත පහත වැටීම හේතුවෙනි. ඒ අවස්ථාවලදී IMF වැඩසටහන් මගින් විදේශ විනිමය ද්‍රවශීලතා සහාය ලබා දීමත්, ආනයන සහ දේශීය ඉල්ලුම පාලනය කිරීමත්, විනිමය අනුපාතය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ගැළපීමත් ප්‍රධාන වශයෙන් සිදු විය. එහෙත් 2022 අර්බුදය පෙර පැවති අර්බුදවලට වඩා ගැඹුරු විය. එය විදේශ විනිමය හිඟයක් හෝ කෙටි කාලීන ද්‍රවශීලතා ගැටලුවක් පමණක් නොවීය. රටේ විදේශ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ විශ්වාසය බිඳ වැටී තිබූ අතර, ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමේ හැකියාව ද අහිමි විය. අවසානයේදී විදේශ ණය ගෙවීම් අත්හිටුවීමටත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් සිදු විය. එබැවින් මෙවර අර්බුදය ද්‍රවශීලතා ගැටලුවක් පමණක් නොව, ණය තිරසරභාවය පිළිබඳ බරපතළ ගැටලුවක් ද විය.
මෙම වෙනස ඉතා වැදගත්ය. කෙටි කාලීන විදේශ විනිමය හිඟයක් ණය හෝ මූල්‍ය සහාය මගින් යම් දුරකට විසඳාගත හැකිය. එහෙත් රටකට දිගුකාලීනව විදේශ ණය ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව නොමැති නම්, තවත් ණය ලබා ගැනීමෙන් පමණක් ගැටලුව විසඳිය නොහැකිය. එබැවින් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අවධානය යොමු විය යුත්තේ විදේශ විනිමය උපයන නිෂ්පාදන හා සේවා ධාරිතාව පුළුල් කිරීම කෙරෙහිය.
ස්ථායීකරණයේ ප්‍රගතිය සහ එහි සීමා
2022න් පසු ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හේතුවෙන් ආර්ථිකයේ වැදගත් දර්ශක කිහිපයක් යහපත් වී තිබේ. උද්ධමනය අඩු වීම, විනිමය අනුපාතයේ සාපේක්ෂ ස්ථාවරත්වය, සංචාරක ආදායම් සහ විදේශ ප්‍රේෂණ ඉහළ යාම, සංචිත ගොඩනැගීම සහ ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම ඒ අතර වේ. 2025 වසරේදී භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6ක් පමණ වූ අතර ආනයන වියදම ඩොලර් බිලියන 21.5ක් පමණ විය. ඒ අනුව වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9කට ආසන්න විය. එහෙත් සේවා ආදායම් සහ විදේශ ප්‍රේෂණ ඇතුළු අනෙකුත් ලැබීම් හේතුවෙන් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට හැකි විය.
මෙම තත්වය ධනාත්මක වුවත්, එය විග්රහ කිරීමේදී සැලකිලිමත් විය යුතුය. ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති වීම පමණක් රටේ අපනයන තරගකාරීත්වය සහ නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් වී ඇති බවට සාක්ෂියක් නොවේ. ආර්ථික අර්බුදයෙන් පසු ආනයන සීමා වීම, පරිභෝජනය පහත වැටීම සහ ආයෝජන මන්දගාමී වීම ද ආනයන වියදම අඩු කිරීමට බලපා තිබේ. එබැවින් අපනයන ආදායම් වර්ධනයෙන් ඇති වන අතිරික්තයක් සහ ආනයන හැකිළීමෙන් ඇති වන අතිරික්තයක් අතර පැහැදිලි වෙනසක් තිබේ.
මෙම ගැටලුව ශ්‍රී ලංකාවට අලුත් එකක් නොවේ. 1965 වසරේදී ගෙවුම් ශේෂ තත්වය පිළිබඳව එවකට ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වූයේ, “In other words, in 1965 Ceylon achieved a satisfactory balance of payments position only at considerable sacrifice and social costs” යනුවෙනි (Central Bank of Ceylon, Annual Report 1965, p. 11).
එනම්, 1965 වසරේදී සතුටුදායක ගෙවුම් ශේෂ තත්වයක් අත්කර ගැනීමට හැකි වූයේ සැලකිය යුතු කැපකිරීම් සහ සමාජ පිරිවැයක් දැරීමෙන් පසුවය. දශක හයකට පෙර කළ මෙම නිරීක්ෂණය අදටත් අදාළ වේ. ගෙවුම් ශේෂය යහපත් කරගැනීම සඳහා ආනයන හා පරිභෝජනය සීමා කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එවැනි ක්‍රියාමාර්ගවල සමාජ පිරිවැය ද සැලකිල්ලට ගත යුතුය. දිගුකාලීන විසඳුම විය යුත්තේ අපනයන ආදායම් සහ විදේශ විනිමය උපයන ධාරිතාව ඉහළ නැංවීමයි. එසේම, ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම රාජ්‍ය ණය තිරසාරභාවය සඳහා වැදගත් වුවත්, එය අත්කර ගන්නා ආකාරය ද වැදගත්ය. අත්‍යවශ්‍ය රාජ්‍ය ආයෝජන කප්පාදු කිරීම, අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් සීමා කිරීම හෝ සමාජ ආරක්ෂණය දුර්වල කිරීමෙන් අයවැය ඉලක්ක සපුරා ගැනීම දිගුකාලීනව ආර්ථිකයට හානිදායක විය හැකිය. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය එකිනෙකට විරුද්ධ අරමුණු ලෙස නොව, එකිනෙක ශක්තිමත් කරන අරමුණු ලෙස සැලකිය යුතුය.
ආර්ථික ප්රකෘතියේ සමාජ පිරිවැය
ආර්ථික දර්ශක යහපත් වීමෙන් පමණක් ජනතාවගේ ජීවන තත්වය යථා තත්වයට පත්ව ඇති බව අදහස් නොවේ. 2022 අර්බුදය හේතුවෙන් ආදායම්, රැකියා, ඉතුරුම් සහ පරිභෝජන හැකියාවට සිදු වූ හානිය තවමත් බොහෝ පවුල්වලට දැනේ. උද්ධමනය පහත වැටුණ ද, පෙර පැවති මිල මට්ටමට භාණ්ඩ හා සේවා මිල නැවත පැමිණ නැත. එබැවින් මිල ඉහළ යාමේ වේගය අඩු වීම සහ ජීවන වියදම අඩු වීම එකම දෙයක් නොවේ. එසේම, අර්බුදය හමුවේ සැබෑ වැටුප් සහ පවුල්වල මිලදී ගැනීමේ හැකියාව පහත වැටුණි. ආදායම් වර්ධනය ජීවන වියදම ඉහළ යාමට සමගාමීව සිදු නොවූ නිසා බොහෝ පවුල්වලට තම පරිභෝජනය සීමා කිරීමට සිදු විය. දරිද්‍රතාව ද අර්බුදයට පෙර මට්ටමට වඩා ඉහළ ගොස් තිබේ. 2019 සිට 2025 දක්වා දරිද්‍රතා අනුපාතය සියයට 14.3 සිට සියයට 16ක් දක්වා ඉහළ ගොස් ඇති බවට පළ වූ ඇස්තමේන්තු පෙන්වා දෙන්නේ ආර්ථික ප්රකෘතියේ ප්රතිලාභ සෑම සමාජ කණ්ඩායමකටම එකසේ ලැබී නොමැති බවයි.
ආදායම් බෙදීයාමේ වෙනස්කම් ද සැලකිල්ලට ගත යුතුය. 2019 සිට 2025 දක්වා කාලය තුළ අඩුම ආදායම් ලබන පවුල් සියයට 20ට හිමි ගෘහස්ථ ආදායම් කොටස සියයට 4.6 සිට සියයට 3.8 දක්වා අඩු වී ඇති අතර, ඉහළම ආදායම් ලබන පවුල් සියයට 20ට හිමි කොටස සියයට 51.3 සිට සියයට 55.8 දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් පෙනී යන්නේ ආර්ථික අර්බුදයේ බර සහ ඉන් පසු ගැළපුම් ක්‍රියාවලියේ ප්‍රතිවිපාක සමාජයේ සියලු කණ්ඩායම් අතර සමානව බෙදී නොමැති බවයි. එබැවින් ඉදිරි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තුළ සමාජ ආරක්ෂණය සහ මානව ප්රාග්ධනයට ප්රමුඛත්වයක් ලබා දිය යුතුය. අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉලක්කගත සහාය ලබාදීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා සඳහා ප්‍රමාණවත් ආයෝජන පවත්වා ගැනීම සහ රැකියා අවස්ථා පුළුල් කිරීම අත්‍යවශ්‍ය වේ. ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය මැනිය යුත්තේ අයවැය හෝ උද්ධමන දර්ශකවලින් පමණක් නොව, ජනතාවගේ ජීවන තත්වය සහ ආදායම් අවස්ථා වැඩිදියුණු වීමෙන් ද ය.
තවත් IMF වැඩසටහනක අවශ්‍යතාව
මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාවට තවත් IMF වැඩසටහනක් අවශ්‍ය වන්නේ ඇයි? එයට පිළිතුර තවත් ණය මුදලක් ලබා ගැනීමේ අවශ්‍යතාවට පමණක් සීමා නොවේ. IMF වැඩසටහනක් මගින් රටේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා අඛණ්ඩතාවක්, විශ්වසනීයත්වයක් සහ බාහිර විස්වාසයක් පවත්වා ගැනීමට උපකාරී වේ. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු කාලය තුළ ණය තිරසරභාවය පවත්වා ගැනීම, විදේශ සංචිත ගොඩනැගීම සහ රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීම ඉතා වැදගත්ය. ශ්‍රී ලංකාව තවමත් විශාල විදේශ ණය බරකට මුහුණ දී සිටී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් කෙටි හා මධ්‍ය කාලීන ණය ගෙවීමේ පීඩනය අඩු කළ හැකි වුවත්, එමගින් රටේ ණය බර ස්වයංක්‍රීයව අතුරුදන් නොවේ. අනාගතයේදී විදේශ ණය සේවාකරණය සඳහා අවශ්‍ය විදේශ විනිමය උපයාගත යුතුය. ඒ සඳහා අපනයන ආදායම්, සංචාරක ආදායම්, විදේශ ප්‍රේෂණ සහ අනෙකුත් සේවා ආදායම් වර්ධනය විය යුතුය. එසේ නොමැති නම්, වර්තමාන ස්ථාවරත්වය නැවතත් විදේශ විනිමය පීඩනයකට ලක් විය හැකිය.
IMF වැඩසටහනක තවත් වැදගත් කාර්යයක් වන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා කාලසටහනක් සහ වගවීමේ රාමුවක් සැපයීමයි. ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒවා ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය මැනීම සහ ප්‍රතිඵල පිළිබඳව ජනතාවට වගකීමෙන් කරුණු දැක්වීම ද අවශ්‍ය වේ. එබැවින් අනාගත IMF වැඩසටහනක් හුදෙක් ණය ලබා ගැනීමේ යාන්ත්‍රණයක් ලෙස නොව, ශ්‍රී ලංකාවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා උපකාරී වන ප්‍රතිපත්ති රාමුවක් ලෙස සැලකිය යුතුය. එහෙත් IMF වැඩසටහනක් තිබූ පමණින් ආර්ථික පරිවර්තනයක් සිදු නොවේ. ප්‍රතිසංස්කරණවල හිමිකාරිත්වය රජය සහ දේශීය ආයතන සතු විය යුතුය. රටේ දිගුකාලීන අවශ්‍යතා අනුව ප්‍රතිසංස්කරණ සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට පැවරේ. IMF වැඩසටහන එම ක්‍රියාවලියට සහාය විය හැකි නමුත්, එය වෙනුවට ක්‍රියා කළ නොහැකිය.
අපනයන වර්ධනය සහ විදේශ විනිමය උපයන ආර්ථිකයක්
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය රඳා පවතින්නේ විදේශ විනිමය උපයන හැකියාව මතය. මේ සඳහා භාණ්ඩ අපනයන වර්ධනය ප්රමුඛ කාර්යයකි. ඇඟලුම්, තේ සහ රබර් වැනි සාම්ප්‍රදායික අපනයනවලට අමතරව, තොරතුරු තාක්ෂණ සේවා, වෘත්තීය සේවා, සැකසුම් කර්මාන්ත, කෘෂි-සැකසුම් සහ ඉහළ අගය එකතු කළ නිෂ්පාදන සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුය. අපනයන වර්ධනය සඳහා වෙළෙඳපොළ විවිධාංගීකරණය ද වැදගත්ය. වෙළෙඳ ගිවිසුම්, කලාපීය ආර්ථික සම්බන්ධතා සහ ජාත්‍යන්තර සැපයුම් දාමවලට සම්බන්ධ වීමෙන් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කළ හැකිය. එහෙත් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. දේශීය ව්‍යාපාරවලට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කිරීමට, තාක්ෂණය භාවිත කිරීමට සහ තරගකාරී මිලකට භාණ්ඩ සැපයීමට හැකි විය යුතුය.
විදේශ සෘජු ආයෝජන FDI ආකර්ෂණය කර ගැනීම ද මෙහිදී තීරණාත්මකය. ආයෝජකයන්ට අවශ්‍ය වන්නේ දේශපාලන ස්ථාවරත්වය පමණක් නොවේ. පැහැදිලි නීති රීති, ස්ථාවර බදු ප්‍රතිපත්ති, කාර්යක්ෂම රාජ්‍ය සේවා, විශ්වාසදායක යටිතල පහසුකම් සහ ප්‍රතිපත්තිමය පුරෝකථනය කළ හැකි පරිසරයකි. නිතර වෙනස් වන ප්‍රතිපත්ති, අනුමැති ලබා ගැනීමේ ප්‍රමාද සහ නියාමන අවිනිශ්චිතතාව ආයෝජන තීරණ කල් දැමීමට හේතු වේ. සංචාරක කර්මාන්තය සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ග වේ. එහෙත් මේවා මත පමණක් රඳා සිටීම ප්‍රමාණවත් නොවේ. සංචාරක කර්මාන්තය වඩාත් ඉහළ වටිනාකමක් සහිත සේවාවක් බවට පත් කිරීම, සංචාරකයන්ගේ සාමාන්‍ය වියදම ඉහළ නැංවීම සහ වසර පුරා සංචාරක පැමිණීම් වර්ධනය කිරීම අවශ්‍ය වේ. විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ගේ කුසලතා ඉහළ නැංවීම සහ වැඩි වැටුප් සහිත රැකියා වෙත යොමු කිරීම ද වැදගත්ය.
රාජ්‍ය වියදම් තාර්කික කිරීම සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පමණක් රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා ප්‍රමාණවත් නොවේ. රාජ්‍ය වියදම්වල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ද ඉහළ නැංවිය යුතුය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් ව්‍යුහය තුළ වැටුප්, විශ්‍රාම වැටුප්, පොලී ගෙවීම් සහ සහනාධාර සඳහා විශාල මුදලක් වැය වේ. එම නිසා අධ්‍යාපනය, සෞඛ්‍යය, පර්යේෂණ, යටිතල පහසුකම් සහ නිෂ්පාදන ආයෝජන සඳහා වෙන් කළ හැකි මූල්‍ය අවකාශය සීමා වේ. ඉදිරියේදී රජය වියදම් තාර්කික කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එහි අරමුණ සියලු වියදම් අඩු කිරීම නොව, අඩු ප්රතිලාභ සහිත, අනවශ්‍ය සහ අකාර්යක්ෂම වියදම් හඳුනාගෙන ඒවා පාලනය කිරීම විය යුතුය.
අඩු ප්‍රමුඛතාවක් ඇති පරිපාලන වියදම්, අකාර්යක්ෂම සහනාධාර සහ ප්‍රමාණවත් ප්රතිලාභ නොලැබෙන ව්‍යාපෘති පිළිබඳව නැවත සලකා බැලීම අවශ්‍ය වේ. ඒ සමගම අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය, පර්යේෂණ සහ ආර්ථිකයට දිගුකාලීන ප්රතිලාභ ලබා දෙන යටිතල පහසුකම් ආයෝජන ආරක්ෂා කළ යුතුය. රාජ්‍ය ආයෝජනවල ප්‍රමුඛතා තීරණය කිරීමේදී දේශපාලන හෝ කෙටි කාලීන ජනප්‍රියත්වය වෙනුවට ආර්ථික හා සමාජ ප්රතිලාභ සැලකිල්ලට ගත යුතුය. ව්‍යාපෘති ඇගයීම, පිරිවැය-ප්රතිලාභ විශ්ලේෂණය, ක්‍රියාත්මක කිරීමේ කාලසටහන් සහ පසු ඇගයීම් ශක්තිමත් කිරීම වැදගත් වේ. සීමිත රාජ්‍ය සම්පත් ඉහළ ප්රතිලාභ ලබා දෙන ක්ෂේත්‍ර වෙත යොමු කළ යුතුය.
රාජ්‍ය ව්‍යවසාය සහ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ
ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයට බාධාවක් වී ඇති තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ රාජ්‍ය ව්‍යවසායන්හි දිගුකාලීන අකාර්යක්ෂමතාවයි. ඇතැම් රාජ්‍ය ව්‍යවසාය විශාල මූල්‍ය පාඩු ලබන අතර, ඒවායේ පාඩු අවසානයේ රාජ්‍ය අයවැයට සහ බදු ගෙවන්නන්ට පැවරේ. එවැනි පාඩු පියවීම සඳහා රාජ්‍ය මූල්‍ය සම්පත් යෙදවීමෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සංවර්ධන ආයෝජන සඳහා වෙන් කළ හැකි මුදල් සීමා වේ. එබැවින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය තවදුරටත් කල් දැමිය නොහැකිය. එහිදී සියලු රාජ්‍ය ව්‍යවසාය එකම ආකාරයෙන් සැලකීම සුදුසු නොවේ. ඒවායේ ආර්ථික හා සමාජ කාර්යභාරය, වෙළෙඳපොළ ස්වභාවය සහ මහජන සේවා සැපයීමේ වැදගත්කම අනුව වෙනස් ප්‍රවේශය අවශ්‍ය වේ.
එහෙත් කුමන හිමිකාරිත්ව ආකෘතියක් යටතේ ක්‍රියාත්මක වුවද, මූල්‍ය විනය, විනිවිදභාවය සහ වගවීම අනිවාර්ය විය යුතුය. වෘත්තීය කළමනාකරණය, ස්වාධීන හා වගකීම් සහිත අධ්යක්ෂ මණ්ඩල, විගණනය කළ ගිණුම්, පැහැදිලි කාර්යසාධන ඉලක්ක සහ නියාමන අධීක්ෂණය ශක්තිමත් කළ යුතුය. අවශ්‍ය අවස්ථාවලදී පෞද්ගලික අංශයේ සහභාගිත්වය, හවුල් ආයෝජන හෝ හිමිකාරිත්වයේ වෙනස්කම් පිළිබඳව ද විවෘතව සලකා බැලිය හැකිය. එහෙත් එවැනි තීරණවලදී මහජන සේවා සැපයීම, පාරිභෝගික ආරක්ෂාව සහ තරගකාරීත්වය ද සැලකිල්ලට ගත යුතුය.
රාජ්‍ය අංශයේ පුළුල් ප්‍රතිසංස්කරණ ද ඒ හා සමානව වැදගත් වේ. රාජ්‍ය සේවක සංඛ්‍යාව අවිචාරවත් ලෙස අඩු කිරීම පමණක් ප්රතිසංස්කරණයක් නොවේ. රාජ්‍ය ආයතනවල කාර්යභාරය, සේවක අවශ්‍යතා, කුසලතා සහ සේවා සැපයීමේ ක්‍රමවේද පිළිබඳ සාක්ෂි මත පදනම් වූ සමාලෝචනයක් අවශ්‍ය වේ. ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම, බඳවා ගැනීම් හා උසස්වීම්වල විනිවිදභාවය, කාර්යසාධන ඇගයීම සහ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කළ යුතුය. මෙවැනි ප්‍රතිසංස්කරණ නොමැතිව රාජ්‍ය වියදම් පාලනය කිරීම දුෂ්කර වන අතර, රාජ්‍ය සේවාවල ගුණාත්මකභාවය ද පහත වැටිය හැකිය. රාජ්‍ය ව්‍යවසායන්හි පාඩු සහ රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව දිගටම පැවතුණහොත්, ඒවා ආර්ථික වර්ධනය මන්දගාමී කරනවා පමණක් නොව, රාජ්‍ය ණය අඩු කිරීමේ හැකියාව ද දුර්වල කරනු ඇත. එවිට වර්තමානයේ අත්කරගෙන ඇති ණය තිරසරභාවය නැවතත් අවදානමට ලක් විය හැකිය.
ආයෝජන, ඵලදායිතාව සහ ආර්ථික වර්ධනය
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය දිගුකාලීනව ඉහළ නැංවීම සඳහා ආයෝජන සහ ඵලදායිතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. ආර්ථික අර්බුදයෙන් පසු රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන දෙකම පීඩනයට ලක් විය. එහෙත් රටේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම, නව රැකියා නිර්මාණය කිරීම සහ අපනයන වර්ධනය කිරීම සඳහා ආයෝජන අත්‍යවශ්‍ය වේ. ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී පෞද්ගලික අංශයට ප්‍රධාන කාර්යභාරයක් පැවරේ. ඒ සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමේ සහ පවත්වාගෙන යාමේ පිරිවැය අඩු කිරීම, නියාමන ක්‍රියාවලි සරල හා කාර්යක්ෂම කිරීම, ඉඩම් හා යටිතල පහසුකම් ලබා ගැනීමේ බාධා අවම කිරීම සහ නීතිමය නිශ්චිතභාවය තහවුරු කිරීම අවශ්‍ය වේ. රජයේ කාර්යභාරය විය යුත්තේ පෞද්ගලික ආයෝජනවලට බාධා කිරීම නොව, ඒවාට අවශ්‍ය පරිසරය සකස් කිරීමයි.
එසේම, ශ්‍රම බළකායේ කුසලතා සහ තාක්ෂණික හැකියාව ඉහළ නැංවීම ද අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපන ක්‍රමය සහ රැකියා වෙළෙඳපොළ අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම, වෘත්තීය පුහුණුව පුළුල් කිරීම සහ නව තාක්ෂණයට ගැළපෙන කුසලතා වර්ධනය කිරීමෙන් ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවිය හැකිය. කාන්තා ශ්‍රම බළකා සහභාගිත්වය වැඩි කිරීම ද රටේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට උපකාරී වේ. ආර්ථික වර්ධනයේ ගුණාත්මකභාවය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. පරිභෝජනය සහ ආනයන මත පදනම් වූ කෙටි කාලීන වර්ධනයකට වඩා, ආයෝජන, අපනයන, තාක්ෂණික දියුණුව සහ ඵලදායිතාව මත පදනම් වූ වර්ධනයක් අවශ්‍ය වේ. එවැනි වර්ධනයක් මගින් රැකියා අවස්ථා පුළුල් වන අතර, බදු ආදායම ඉහළ යාමටත්, විදේශ විනිමය උපයන හැකියාව ශක්තිමත් වීමටත් ඉඩ සැලසේ.
ඉදිරි මාවත: ස්ථායීකරණයෙන් ව්‍යුහාත්මක පරිවර්තනයට
ශ්‍රී ලංකාව අද සිටින්නේ වැදගත් තීරණාත්මක අවස්ථාවකය. 2022 අර්බුදයෙන් පසු අත්කරගත් ස්ථායීකරණය ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍යය. එහෙත් එය පමණක් රටේ දිගුකාලීන ආර්ථික ගැටලු විසඳන්නේ නැත. අනාගත ප්‍රතිපත්ති වැඩපිළිවෙළ ප්‍රධාන අංශ කිහිපයක් වටා ගොඩනැගිය යුතුය.
පළමුව, අපනයන වර්ධනය සහ විදේශ විනිමය උපයන හැකියාව ඉහළ නැංවීම ප්‍රමුඛතාව විය යුතුය. දෙවනුව, රාජ්‍ය ආදායම් ශක්තිමත් කිරීමත් සමග වියදම්වල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කළ යුතුය. තෙවනුව, රාජ්‍ය ව්‍යවසාය සහ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුය. සිව්වනුව, පෞද්ගලික හා රාජ්‍ය ආයෝජන සඳහා හිතකර පරිසරයක් සකස් කර ඵලදායිතාව සහ තාක්ෂණික හැකියාව ඉහළ නැංවිය යුතුය. පස්වනුව, ආර්ථික ප්‍රතිසංස්කරණවල සමාජ පිරිවැය අවම කිරීම සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ශක්තිමත් කළ යුතුය.
මෙම අංශ එකිනෙකට සම්බන්ධ වේ. රාජ්‍ය වියදම් කාර්යක්ෂම කිරීමෙන් ඵලදායී ආයෝජන සඳහා මූල්‍ය අවකාශය නිර්මාණය කළ හැකිය. රාජ්‍ය ව්‍යවසාය ප්රතිසංස්කරණයෙන් අයවැය මත ඇති වන පීඩනය අඩු කළ හැකිය. අපනයන හා ආයෝජන වර්ධනයෙන් විදේශ විනිමය ආදායම් සහ රැකියා අවස්ථා පුළුල් කළ හැකිය. අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනයෙන් එම වර්ධනයට අවශ්‍ය මානව ප්රාග්ධනය සපයාගත හැකිය. එබැවින් මේවා වෙන වෙනම ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති නොව, එකිනෙක ශක්තිමත් කරන ප්‍රතිසංස්කරණ පැකේජයක කොටස් වේ.
අවසානයේදී, ශ්‍රී ලංකාවට තවත් IMF වැඩසටහනක් අවශ්‍ය වන්නේ අතීතයේ සිදු වූ වැරදි නැවත කිරීමට හෝ ණය මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් දිගටම පවත්වා ගැනීමට නොවේ. එය අවශ්‍ය වන්නේ දැනට අත්කරගෙන ඇති ස්ථායීකරණය ආරක්ෂා කරමින්, වඩාත් තරගකාරී, ඵලදායී සහ අපනයන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා විස්වසනීය රාමුවක් පවත්වා ගැනීමටය.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම වැදගත් ජයග්‍රහණයකි. එහෙත් එය අවසාන ඉලක්කය නොවේ. රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම, විදේශ විනිමය උපයන හැකියාව පුළුල් කිරීම, රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම සහ ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම එකට ගෙන යා යුතුය. එසේ නොවුවහොත්, අද අත්කරගෙන ඇති ස්ථාවරත්වය තාවකාලික එකක් බවට පත්වීමේ අවදානම පවතී. ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන තීරණය වන්නේ අර්බුදයෙන් ගොඩඒමට අප කොතරම් සාර්ථක වූවාද යන්නෙන් පමණක් නොව, එම අර්බුදයෙන් පාඩම් ඉගෙනගෙන ආර්ථිකයේ මූලික දුර්වලතා කොතරම් දුරට නිවැරදි කරගන්නේද යන්න මතය.
අර්බුදයෙන් ගොඩ ඒමෙන් ඔබ්බට : ලංකාවට තවත් IMF වැඩසටහනක් අවශ්‍ය ඇයි ?