IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


අර්බුදයෙන් අර්බුදයට ගිය කුරැඳු තෙල් කර්මාන්තය

 

  • එදා ගාල්ලේ කුරැඳු තෙල් බෝතලයක් රුපියල් හාරදහස් පන්සීයක් පමණ විය
  • කුරැඳු තෙල් මිල පහත වැටීමත් සමග කර්මාන්තත් එකින්එක වැසී ගිහින්
  • කුරැඳු තෙල් මෝල් ටික වැහිලා ගිය නිසා විශාල පිරිසකට රැකියා නැතිවෙලා
  • කුරැඳු සංවර්ධන දෙපාර්තමේන්තුව මේ ගැන හොයලා බලන්න ඕන

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


කොරෝනා වසංගතයත් සමග අපේ රට ආපස්සට ගිය කතාව මුසාවක් නම් නොවේ. රටට ඩොලර් ගෙනා කර්මාන්ත රැසක්ම ඒ තුළින් අඩපණවිය. මේ අඩපණවූ කර්මාන්ත අතර ගාල්ලේ කුරුඳු තෙල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයද ඇත්තේ පෙරමුණේය. එදා අඩපණවූ කුරුඳු තෙල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය අද ඇත්තේ මරණ මංචකයේය. 
කුරුඳු තෙල් නිෂ්පාදනයට ගන්නේ කුරුඳු අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ශේෂවන කුරුඳු කොළය. ඉවතලන කුරුඳු කොළයට වැඩි වටිනාකමක් එදා ආවේ කුරුඳු කොළයෙන් කුරුඳු තෙල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පැමිණීමත් සමගමය. ඒ විතරක්ම නොවේ. ගාල්ලේ කුරුඳු කොළයෙන් නිෂ්පාදනය කෙරුණු කුරුඳු තෙලට ලෝකයෙන්ම පැමිණියේ ඉහළ ඉල්ලු‍මකි. ඇමරිකාව, රුසියාව, චීනය, ජපානය, බ්‍රිතාන්‍ය ඒ අතරය. ලෝක බලවත්තු ගාල්ලේ කුරුඳු කොළයෙන් නිෂ්පාදනය කෙරුණු කුරුඳු තෙලට වශී වී සිටියහ. ඒ නිසාම මේ කර්මාන්තය කොරෝනා ව්‍යසනයට පෙර ගාල්ලේ බලවත් කර්මාන්තයක්වූ බවද මුසාවක් නම් නොවේ.
කුරුඳු කොළයෙන් කුරුඳු තෙල් නිෂ්පාදනය කරන මෝල් එදා ගාල්ලේ නගර කිහිපයකම ගම්මාන ආශ්‍රිතව තිබිණ. කරන්දෙණිය, ඌරගස්මංහන්දිය, බටපොළ, මීටියාගොඩ, ඇල්පිටිය, පිටිගල ඒ අතරින් ප්‍රධානය. තවත් නගර කිහිපයකම මේ කුරුඳු තෙල් නිෂ්පාදනය කෙරුණද ඒ ස්වල්ප වශයෙනි. කුරුඳු තෙල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය නිසා එදා දිවි ගෙවූ පවුල් ගණන මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. කුරුඳු කොළ එකතු කිරීමට, එකතු කරගත් කුරුඳු කොළ මිටි බැදීමට, ඒවා ප්‍රවාහනය කිරීමට අත් ට්‍රැක්ටර් යොදා ගැනීමට, ඒවාට පැටවීමට මෙන්ම කුරුඳු තෙල් මෝලේ කුරුඳු තෙල් නිස්සාරණය කිරීම ඇතුළු ක්‍රියාවලට සෘජුවම අවශ්‍යවූයේ මිනිස් ශ්‍රමයයි. ඒ තුළින් හිමිවූ රැකියා ගණනද විශාලය. එම රැකියාවලින් පිරුණු බඩකටවල් දසදහස් ගණනකි. ඒ නිසාම එදා ගාල්ලේ කුරුඳු තෙල් නිෂ්පාදනය කිරීමේ රැකියාවට හිමිව තිබූ තැන ඉහළය.
ඒ එක්කම එදා ගාල්ලේ කුරුඳු තෙල් බෝතලයක් රුපියල් හාරදහස් පන්සීයකට පමණ අලෙවි විය. අතරමැදියන්ගේ ගසා කෑම නොවන්නට කුරුඳු තෙල් නිෂ්පාදනය කරන ඇත්තන්ට කුරුඳු තෙල් බෝතලයකට රුපියල් දස දහසක පමණ මිලක් ලැබීමට ඉඩ තිබිණ. අපේ රටේ අවාසනාවට මේ ශ්‍රම ශූරාකෑමට එරෙහිව ක්‍රියා කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීය. 
ගාල්ලේ කුරුඳු තෙල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය ඉතා ප්‍රශස්ත මට්ටමේ තිබියදීම රටේ අවාසනාවට කොරෝනා ව්‍යසනය කඩා පාත්වූවේය. කුරුඳු තෙලේ මිල අඩියටම බැස්සේය. එය රුපියල් දෙදහස දක්වාම පල්ලම් බැස්සේය. නිෂ්පාදනය කෙරුණු කුරුඳු තෙල් ගැනීමට කෙනෙක් නොමැතිවිය. ඒ එක්කම එකින් එකම ගාල්ලේ කුරුඳු තෙල් මෝල් වැසී ගියේය. ඒ සමගම අද ගාල්ලේ ඇත්තේ වැසී ගිය කුරුඳු තෙල් මෝල්වල අවශේෂ කොටස්ය. නටබුන්ය. මේ වනවිට කුරුඳු තෙල් බෝතලයට ඉහළ ඉල්ලු‍මක් පැවතුනද අද කුරුඳු තෙල් නිස්සාරන්නය කිරීමට කුරුඳු තෙල් මෝල් නැත. ඇත්තේ තුන හතරකි. මේ ඒ සම්බන්ධයෙන් කෙරෙන සොයාබැලීමකි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කරන්දෙණිය ජයබෝධිරාජයාරාමාධිපති, අමරපුර සංඝ සභාවේ ගාලු‍ දිසාවේ මහා ලේඛකාධිකාරී ගල්පොත්තාවල උදයසිරි හිමියෝ මෙසේ කීහ.
අපිටත් තිබුණා කුරුඳු ඉඩම්. එදා මේ කුරුඳු ඉඩම්වලින් අස්වැන්න නෙළා ගත්තට පස්සේ ඉවතලන කුරුඳු කොළ එකතු කරන්න විශාල පිරිසක් එනවා. ඒ අය එන්නේ කුරුඳු කොළවලින් තෙල් හදන්න කුරුඳු කොළ ගෙනියන්නයි. මම දැක්ක දෙයක් තමයි මේ නිසා කරන්දෙණියේ විශාල පිරිසකට රැකියා නිර්මාණය වෙලා තිබුණා. ඒ විතරක් නෙමෙයි එකතු කරන කුරුඳු කොළ ගෙනියන්න කොච්චර අත් ට්‍රැක්ටර් එනවද. එතනත් රස්සාවල් ගොඩක් තිබුණා. කුරුඳු කොළ බදින්න වගේම ඒවා පටවන්නත් ශ්‍රමිකයන් අවශයයි. මේ කුරුඳු තෙල් නිස්සාරනය කිරීම නිසා කරන්දෙණියේ විතරක් රස්සාවල් රැසක්ම උත්පාදනය වුණා.
කුරුදු තෙල් මෝල් ටික වැහිලා ගිය නිසා අද එමගින් ජීවත්වූ විශාල පිරිසකට රැකියා නැතිවෙලා. ඒ අයට යනඑන මං නැහැ. මේ වගේ කර්මාන්තයක නියැලෙන්නේ ගමේ අය. බොහෝවිට කාන්තාවන්. අද ඒ අයගේ අමතර ආදායමක් නැතිවෙලා තියෙනවා. මේක නරක තත්වයක්.
අපිට දැන ගන්න ලැබෙන විදිහට දැන් කුරුඳු තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ කර්මාන්තය යළි ගොඩනැගුවොත් ඒකෙන් රටට යහපතක් මිස අයහපතක් වෙන්නේ නැහැ. මේවා පිළිබඳව අදාළ බලධාරීන් අවධානය යොමුකරන්න ඕන.
ඌරගස්මංහන්දිය හිපන්කන්දේ පදිංචි සමස්ත ලංකා කුරුඳු සංගමයේ සභාපති සමන් ප්‍රියන්ත:-
ලංකාවේම කුරුඳු කර්මාන්තයේ හෙට දවස හොඳ කරන්න කුරුඳු කර්මාන්තය වැඩියෙන්ම කරන කරන්දෙණියේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවක් ආරම්භ කළා. දැන් එම දෙපාර්තමේන්තුව ආරම්භ කරලා අවුරුදු දෙකකට ආසන්නයි. එහෙත් ලංකාවේ තියා කරන්දෙණියේවත් කුරුඳු කර්මාන්තයට යහපතක් වෙලා නැහැ. කුරුඳු තෙල් මෝල් වැසීයාමේ කතාවත් කුරුඳු කර්මාන්තයට අදාළ කතාවක්. මම නම් කියන්නේ මේ වේලාවේ මේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව මේ ගැන හොයලා බලන්න ඕන. කුරුඳු තෙල් මෝල් වැහැව්වට තවමත් ඒ නිෂ්පාදනාගාර තියෙනවා. ඒ නිෂ්පාදනාගාර වහලා තියෙන අයට නැවත ඒවා අරින්න ප්‍රාග්ධනය නැහැ. ඒ මිනිස්සු දිරිමත් කළොත් අවශ්‍ය පහසුකම් දුන්නොත් ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් හැදුවොත් ආයෙත් ඒ කර්මාන්ත ශාලා පටන් ගන්න පුළුවන්.
මේ කාලයේ කර්මාන්ත ශාලා වහන කාලයක් නෙමෙයි. වහපුවත් ඇරලා නිෂ්පාදනය කරන්න ඕන යුගයක්. අපි නම් කියන්නේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව මේ සඳහා සෘජු දායකත්වයක් ලබා දිය යුතුයි කියලයි. මේ කර්මාන්තය රටට ඩොලර් එන කර්මාන්තයක්. රස්සාවල් රැසක් උත්පාදනය කළ හැකි කර්මාන්තයක්. මේ කුරුඳු තෙල් වැඩියෙන්ම පරිභෝජනය කරන්නේ විදේශිකයන්. රටට ඩොලර් දෙන අය. මේ නිසාම මේ කර්මාන්තය ගැන අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතුම වෙනවා.
පිටිගල කුරුඳු ඉඩම් හිමියකු වන පහත රට වතු හිමියන්ගේ සංගමයේ සභාපති, නියාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.පී.සරත්:-
කුරුඳු අස්වැන්න නෙළා ගැනීමෙන් පසු අහක දාන කුරුඳු කොළයෙනුත් අපිට එදා ආදායමක් ලැබුණා. ඒ කුරුඳු තෙල් මෝල් තියෙන කාලයේ. ඒවා වැහිලා ගිය නිසා අපිට දැන් ඒ ආදායමත් අහිමිවෙලා ගිහිල්ලා. කුරුඳු කොළ ඔහේ නිකං දිරමින් යනවා. ඒක හරිම අපරාධයක්. වෙන රටක මේ වගේ කර්මාන්තයක් තිබුණනම් බලන්න ඕන ඒ කර්මාන්තය සංවර්ධනය කරන හැටි. කුරුඳු ගහේ අහක දාන්න දෙයක් නැති තරම්.
මම නම් කියන්නේ නව රජයට රට ගොඩ ගන්න අවශ්‍ය නම් අවංකවම ඒ ගැන හැගීමක් තියේනම් මෙවැනි කර්මාන්ත දියුණු කළ යුතුයි. මේවා දියුණු කරන්න පුළුවන් කර්මාන්ත. කුරුඳු කොළවලින් කුරුඳු තෙල් නිෂ්පාදනය කිරීම වෙනත් රටක් සාර්ථකව කරන්න කලියෙන් අපි ඒ සඳහා දැන්වත් සූදානම් වෙන්න ඕන. නැත්නම් අපිට වෙන්නේ අත පිහදාගන්නයි.
කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් ගුණරත්න:-
එදා අපේ නගරයේ සෑම ග්‍රාම නිලධාරී වසමකම වගේ කුරුඳු තෙල් මෝල් තිබුණා. කොරෝනා ව්‍යසනයෙන් පස්සේ ඒක වෙනස්වුණා. කුරුඳු තෙල් මෝල් වැහුණා. ඒ කාලයේ ඒ අයට කුරුඳු තෙල් මෝල් පවත්වාගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ නිසා දැන් අපේ ප්‍රදේශවල කුරුඳු තෙල් මෝල් දකින්නට නැති තරම්. එදා ඒකේ අනිත් පැත්ත තිබ්බේ. කුරුඳු තෙල් මෝල්වලින් පරිසර දූෂණය අවම මට්ටමකයි තිබුණේ. ඒ අතිනුත් මේ කර්මාන්තය අපිට යෝග්‍ය එකක්. මේ ප්‍රශ්නය ග්‍රාමීය මට්ටමෙන් විසදන්න අමාරුයි.
අපේ ප්‍රදේශයේ වහලා තියෙන කුරුඳු තෙල් මෝල් නැවත අරින්න නම් ඒ අයට ප්‍රාග් ධනයක් ලබා දිය යුතුම වෙනවා. ඒ අය ගැන සොයා බැලිය යුතුම වෙනවා. මේ සඳහා රජය මැදිහත්වී රාජ්‍ය බැංකු හරහා වැඩසටහනක් හඳුන්වා දිය යුතුයි. පළමුව වැහිලා තියෙන කුරුඳු තෙල්මෝල් ගැන දත්ත ගත යුතුයි. එසේ ආරම්භ කරන කුරුඳු තෙල් මෝල්වලින් නිෂ්පාදනය කෙරෙන තෙල් සඳහා වෙළෙඳ පොළත් හදා දිය යුතුයි. මේ කර්මාන්තයෙන් අතරමැදියා ගසා නොකෑවනම් මම හිතන්නේ කොරෝනා නෙමෙයි මාරයා ආවත් මේ අය කුරුඳු තෙල් මෝල් වහන්නේ නැහැ.
බටපොළ පදිංචි කුරුඳු තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්තයේ යෙදී සිටින වසන්ත හල්විට මෙසේ කීය.
මම තවමත් මේ කර්මාන්තයේ යෙදී සිටිනවා. කොරෝනා ව්‍යසනය එන්න කලින් හොඳටම තිබුණා. එවිට කුරුඳු තෙල් බෝතලයක් රුපියල් හාරදහස් පන්සීයකට විතර ගියා. කොරෝනා ව්‍යසනයත් එක්ක කුරුඳු තෙල් බෝතලය රුපියල් දෙදෙහසට පමණ බැස්සා. ඒ එක්කම නිෂ්පාදකයන්ට කර්මාන්තය කරගෙන යන්න බැරිව ගියා. වියදම වැඩියි. ලාබයක් නැහැ පාඩුයි. ඒ නිසාම බොහෝ කුරුඳු තෙල් මෝල් වැහුණා. ඒවා පවත්වාගෙන ගිය අය වෙන වෙන කර්මාන්තවලට අනුගත වුණා. ඒත් හදපු කුරුඳු තෙල් මෝල් ටික එහෙමම තියෙනවා.
 දැන් කුරුඳු තෙල් බෝතලයක් රුපියල් හාරදහසට කිට්ටු කරලයි තියෙන්නේ. හොද මිලකට යමින් තියෙනවා. ඒත් නිෂ්පාදනය අඩුයි. ඉල්ලු‍ම ඉහළයි. කොරෝනා කාලයේ මට මගේ කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන් වුණේ ශ්‍රමිකයන් පිටින් නොගත් නිසයි. එහි වැඩ කළේ මමයි මගේ පවුලේ අයයි. ඒ නිසා ජාමේ බේර ගෙන යන්න පුළුවන් වුණා. පිටින් ශ්‍රමිකයන් අරගෙන කළ අයට ඒ දවස්වල ඒවා පවත්වගෙන යන්න බැරිවුණා.
කුරුඳු තෙල් කර්මාන්තයට දැන් වසන්ත කාලය උදාවෙමින් තියෙන්නේ. ඒ නිසා වහපු කර්මාන්ත ශාලා විවෘත කරන එක ඊට අවශ්‍ය සහයෝගය දෙන එක රජයේ වගකීමක්.



අදහස් (0)

අර්බුදයෙන් අර්බුදයට ගිය කුරැඳු තෙල් කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site