IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අර්බුදයට ගිය රන් සැතපුම වෙරළේ සංචාරක කර්මාන්තය

 

  • ඉදිරියේදී සංචාරකයන් මෙම කලාපයට නොපැමිණීමේ ඉඩක්

  • වෙරළට සමීප ව්‍යාපාරිකයන්ට ද වසරේ මාස කීපයක් අලෙවි කටයුතුවලින් ඉවත්ව සිටීමට සිදුවන තත්වයක් 

  • ව්‍යාපාරික ආයතන බේරුවල ප්‍රාදේශීය සභාවට බදු මුදල් ගෙව්වත් ඉන් ලැබෙන සේවා ප්‍රමාණවත් නෑ

  • යුරෝපයේ සංචාරකයන් අපේ හිරු එළියටයි මුහුදු රළටයි මුහුදු වෙරළටයි හරිම කැමැතියි

 


අලු‍ත්ගම තුසිත කුමාරද සිල්වා


 

අලු‍ත්ගම සංචාරක කලාපයේ කලු‍වා මෝදර, මොරගල්ල රන්සැතපුම වෙරළ තීරයේ ස්ථාන ගණනාවක මේ දිනවල මුහුදු රළ සමග ගොඩබිම් වෙරළ තීරයට පාවී එන කැළිකසළ හේතුවෙන් මෙම කලාපයේ  සංචාරක හෝටල්වල විවේකය ගතකිරීමට පැමිණ සිටින විදෙස් සංචාරකයන්ට මහත් බාධාවක් බව  සංචාරක හෝටල් සංගම් පෙන්වා දෙයි.

වසරකට මාස් පතා අවස්ථා ගණනාවක් මුළුල්ලේ මෙම ගැටලු‍ව පවතින බවත් ඊට නිසි ක්‍රමවේදයක් කාලාන්තරයක් මුළුල්ලේ සකස් නොවීමෙන් මෙම කර්මාන්තයට යම් යම් බාධා ඒ මගින් එල්ල වන බව සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවක අය සඳහන් කරති.   

මෙවන් තත්වයකට ස්ථීරසාර විසඳුම් යෙදිය යුතු බවත් එසේ සිදු නොවුවහොත්  මෙවන් කාල වකවානුවලදී මොරගල්ල, කලු‍වාමෝදර බේරුවල අලු‍ත්ගම බෙන්තොට සංචාරක කලාපයට පැමිණෙන විදේශිකයන්ට පිරිසුදු මුහුදු වෙරළක පහස ලබා ගැනීමට අවකාශ නොමැතිකමෙන් ඉදිරි සංචාරක සමය තුළදී සංචාරකයන් මෙම කලාපයට නොපැමිණීමට ඉඩ තිබේ. එසේ වුවොත් රටේ විදෙස් විනිමය ලැබීම්වලට අහිතකර බලපෑමකි. මේ සියල්ලෙන් ආර්ථිකයට විශාල පාඩුවක් සිදුවන බව සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන පාර්ශව පෙන්වා දෙයි.

විශේෂයෙන්  මෙලෙස මෙම වෙරළ ආසන්න ප්‍රදේශ අපද්‍රව වලින් පිරීයෑමට අමතරව මුහුදු ඛාදනයට ලක් වීමෙන් වෙරළට සමීප සංචාරක අවන්හල් මෙන්ම  සංචාරකයන් වෙනුවෙන් අලෙවි කිරීමට ඉදිකර තිබෙන මැණික්, ස්වර්ණාභරණ, තේ, විසිතුරු භාණ්ඩ සහ බතික්, වෙස්මුණු ව්‍යාපාරිකයන්ට ද වසරේ මාස කීපයක් සිය අලෙවි කටයුතුවලින් ඉවත්ව  සිටීමට සිදුවනු ඇතැයි එම ක්ෂේත්‍රයේ අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් බේරුවල බෙන්තොට සංචාරක හෝටල් සංගමයේ සභාපති ඉන්දක ද සිල්වා මහතා සඳහන් කළේ, මෙය සංචාරක ප්‍රවර්ධනයට ශුභදායී තත්වයක් නොවන අතර පිරිසුදුකම සංචාරකයන් අංක එකටම සලකන එබැවින් ඒ පිළිබඳ පුළුල් අවධානයක් යොමු කර මෙම සංචාරක කලාපයේ  ආකර්ෂණීය තත්වය රැක ගත යුතුව ඇති බවයි.

වසරේ මාස කීපයක්  මෙම වෙරළ තීරය මුහුදු කෑමට ලක්වන තත්වයක් පැවතීමෙන් පැහැදිලිවම මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ සංචාරක කර්මාන්තයටත් දැඩි බලපෑමක් එල්ල වෙනවා. ඇතැම් අවස්ථාවල ඊට තාවකාලික පිළියමක් ලෙස වැලි කොට්ට සකසා ආවරණ සකස් කරන්නට යෑමේදී පවා වෙරළ තීරයට අදාළ අංශවලින් අවසර ලබාගත යුතු බවත්  ඊට ද නිසි වෙලාවට එම අවසරය නොලැබෙන අවස්ථා තිබෙන බවත් ඒ වන විට සිදු වන හානි උපරිමය දක්වා එම කාලය තුළ  සිදුවන බව හෝටල් සංගමයේ  සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.                                     

මුහුදු වෙරළේ මෙම ඛාදන තත්වය මෙන්ම වෙරළ තීරයට  ගංගා ඇළ දොළ මගින් එක් වෙන කැළි කසළ විශාල ලෙස ගොඩ ගැසී අපවිත්‍රවීම විදෙස් සංචාරකයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් මුහුණු පොත්වල සටහන් තබන බවත් එම තත්වය ද සංචාරක ව්‍යාපාරයේ දියුණුවට බාධාවක් බව සංචාරක හෝටල් හිමිකරුවකු වූ  මන්දු රජික්ද සිල්වා මහතා  පැවසීය.

සංචාරක ව්‍යාපාරිකයකු මෙන්ම ප්‍රදේශයේ මහජන ආරක්ෂක කමිටු  සභාපති උපාලි ජයරත්න මෙසේ පැවසීය. 

මෙම සංචාරක වෙරළ තීරයට සමීපව පවතින හෝටල්වලට පැමිණෙන සංචාරකයන්ට වෙරළ තීරයේ පහස නිසි ලෙස  විඳීමට නොලැබුණොත්  වෙරළාසන්න ව්‍යාපාරික ස්ථානවලට ඔවුන්ගෙන් ලැබෙන එක ඩොලර්යක් හෝ ලැබෙන්නේ නෑ. මෙම හෝටල් මෙන්ම ව්‍යාපාරික ආයතනද බේරුවල ප්‍රාදේශීය සභාවට බදු මුදල් ගෙවනු ලැබුවද ඉන් ලැබෙන සේවා ප්‍රමාණවත් නෑ. මෙම සංචාරක වෙරළ තීරය නිසි ලෙස  පිරිසුදු කර තැබීම බේරුවල ප්‍රාදේශීය සභාවේ යුතුකමක්.

විදේශීය සංචාරකයන් වෙනුවෙන් තේ අලෙවි කරන සංචාරක ව්‍යාපාරික ප්‍රියන්තද සිල්වා මෙසේ පැවසීය.

අප රන් සැතපුම නමින් හඳුන්වන වෙරළ තීරයට විදේශිකයන් බෙහෙවින් ආදරේ කරන තැනක්. මමත් අවුරුදු තිහ හතළිහකට වැඩි කාලයක් සංචාරකයන් සමග සම්බන්ධතා පවත්වන වෘත්තිවල නියැලු‍ණා. තරු පන්තියේ සංචාරක හෝටල්වල සේවය කළා. සුනාමි ව්‍යසනයෙන් පස්සේ බේරුවල මොරගල්ල සංචාරක කර්මාන්තයටත් කණකොකා හැඬුවා. මෙම වෙරළ තීරයේ හොඳ තත්වයේ තිබුණු සංචාරක හෝටල්  අයිති සමාගම් මාරුවෙලා අලු‍තෙන් ඉදි කරන්න ගිහින් ඒවා අතරමග නතර වෙලා. එම හෝටල්වල සේවය කළ දහස් ගණනකගේ රැකියා ද අහිමි වුණා. ඊට පස්සේ කොවිඩ් ව්‍යසනය සංචාරක කර්මාන්තයට ආයෙත් කඩා වැටුණා.

පසුව මම මැණික්  ස්වර්ණාභරණ  සමග විදේශිකයන්ට තේ අලවි කිරීමේ ව්‍යාපාරය පටන් ගත්තා. පසුව මැණික් ස්වර්ණාභරණ අලෙවියත් නතර කරන්න සිදුවුණා. ඒ සංචාරකයන් මෙම කලාපයටත් ලංකාවටත් පැමිණීම  සැලකිය යුතු මට්ටමෙන් අඩු වුණු නිසා. මම දැන් විදේශිකයන්ට තේ අලෙවි කිරීමේ ව්‍යාපාරය  කරගෙන යනවා. බෝහෝ සංචාරකයන් අපත් සමග මෙම ප්‍රදේශය ගැන කතා කරනවා. ඔවුන්මෙම වෙරළ තීරයට හරි ආදරෙයි. ගෝල්ඩන් මයිල් නිසා එන බවත් කියනවා. හැබැයි ඇවිත් නිවාඩුව ගත කරද්දි ඔවුන්ට මේ විඳින්න වෙන ගැටලු‍  ගැන දුකෙන් කතා කරනවා.  

බෝහෝ සංචාරකයන්ගේ රෙකමන්ඩේෂන් නිසා තමයි ඔවුන් ඇවිත් ගිය ප්‍රදේශයට ඔවුන්ගේ මිතුරන්ටද එන්න කියන්නේ. අපේ මොරගල්ල කළුවාමදර වෙරළ තීරයේ ආශ්‍රිත කලාපයට බොහොමයක් සංචාරකයන් එන්නේ ඒ පදනමින්. යුරෝපයේ සංචාරකයන් අපේ හිරු එළියටයි මුහුදු රළටයි මුහුදු වෙරළටයි හරිම කැමැතියි. අපිට ඔය ටික ලස්සනට සංචාරකයන්ට ප්‍රිය උපදවන විදිහට ලබාදෙන්න බැරි වුණොත් ඉදිරියේදී   දැන හැදුනුම් කම් මත එන සංචාරකයන් බේරුවල, මොරගල්ලට කළුවා මෝදරට අහිමිවෙනවා.  

 මේ පිළිබද බේරුවල ප්‍රාදේශීය සභාවේ  සභාපති  ෆයිසාන් නයිසර්  මහතාගෙන් විමසීමේදී කියා සිටියේ, වෙරළ තීරයේ පිරිසුදු කිරීම් නිසි ලෙස සිදු නොවන්නේ නම් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බවය.

 



අදහස් (0)

අර්බුදයට ගිය රන් සැතපුම වෙරළේ සංචාරක කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site