
2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස සියයට 7.4ක් වූ අතර එම අගය 2024 වන විට 12.4 දක්වා ඉහළනැංවිණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ 2026 වන විට බදු ආදායම ද.දේ.නි ප්‍රතිශයක් ලෙස 14.2 දක්වා ඉහළනැංවීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුව ඇත. පසුගිය වසර 2-3 තුළ බදු ආදායම් කඩිනමින් ඉහළනැංවීමට පියවර කීපයක් ගනු ලැබිණි. එම පියවරවල ඉලක්කය වුයේ ආර්ථික ස්ථායීතාව ඉක්මනින් ළඟාකර ගැනීමට බදු ආදායම කඩිනමින් ඉහළනැංවීම වූ අතර බදු අයකිරීමේ දී අනුගමනය කළයුතු මූලික සිද්ධාන්ත පසෙකලා කටයුතු කිරීමට එහිදී සිදුවිය.
එසේ කරනු ලැබූ වෙනස්කම් අතර පැවති බදු අනුපාත ඉහළනැංවීම, බදු නිදහස් කිරීම් අහෝසී කිරීම, බදු පදනම පුළුල් කිරීම මෙන්ම බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වැනි කරුණු ඇතුළත් විය. බදු ආදායම ඉහළනැංවීමට ගනු ලැබූ පියවර රටේ පහළම ආදායම් ලබන පිරිස්වලට මෙන්ම මධ්‍යමපාන්තිකයන්ට ද අසීමිත පීඩනයක් එල්ල කර ඇති බව නොරහසකි. විශේෂයෙන්ම වැට් බදු වැඩි කිරීම සහ වැට් බද්දෙන් නිදහස්ව පැවති භාණ්ඩ සහ සේවා සඳහා ද වැට් බද්ද පැනවීම මෙන්ම උපයන විට ගෙවනු ලබන බද්ද විශාල ලෙස ඉහළනැංවීමෙන් ඉහත ආදායම් කාණ්ඩ දෙකට විශාල පීඩනයක් එල්ල කර ඇති බව නොරහසකි.
කෙටිකාලීනව ඉහත ආකාරයෙන් බදු වැඩිකිරීම කළයුතුව පැවතියත් මැදිකාලීනව සහ දිගුකාලීනව බදු අයකිරීමේ යාන්ත්‍රණය වඩාත් සාධාරණ වූ එකක් වෙතැයි බොහෝ දෙනා අපේක්ෂා කළත් ඒ සඳහා වූ පියවර මෙතෙක් ගන්නා බවක් පෙනෙන්නට නැත. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යෝඡිත ධන බද්ද ක්‍රියාත්මක කිරීමට තවමත් කල්මරමින් සිටින බවක් පෙනෙන්නට ඇත. මෙම ලිපියෙන් මූලික වශයෙන්ම අවධාරණය කිරීමට අපේක්ෂා කරනුයේ ධන බද්ද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දීම, බදු ප්‍රතිපත්තිය ආර්ථික වර්ධනය ඇතිකිරීම, දුප්පත්කම තුරන් කිරීම ඉලක්කකර සැකසිමේ වැදගත්කම පෙන්වා දීම වේ.
ධන බද්ද/දේපළ බද්ද ක්‍රියාත්මක කළයුත්තේ ඇයි?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් ධන බද්ද/දේපළ බද්ද යෝජනා වූ අතර එමගින් 2026 වර්ෂයට අදාළව දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.2 ක ආදායමක් උපයා ගැනීමට යෝජිතව පැවතිනි. එම මුදල දළ වශයෙන් රුපියල් බිලියන 130-140 වන අතර ඉන්පසු වසරවලදී එකී ආදායම ක්‍රමානුකූලව ඉහළනංවා ගැනීම ඉලක්ක කරන ලදී. එහෙත් මෙම බද්දට අදාළව යෝජනා ඉදිරිපත් කිරීමත් සමග ඊට අදාළව සමාජයේ ගොඩනැගුණු විරෝධය හේතුවෙන් එම බද්ද ක්‍රියාත්මක කිරීම අදහස් නොකරන බවට ප්‍රතිපත්ති සම්පාදකයෝ ප්‍රකාශ කළහ. එහෙත් මෙවැනි බද්දක් ක්‍රියාත්මක කිරීම හේතු කීපයක් නිසා වැදගත් වේ. පළමුව, ධන බද්දක් යනු සෘඡු බද්දක් වන අතර එමගින් බදු ගෙවීමට හැකියාව ඇති පිරිස් ඉලක්ක කරමින් බදු අයකිරීම සිදුවේ. ශ්‍රී ලංකාවේ බදු ක්‍රමයේ කාලයක් තිස්සේ පවතින ප්‍රධාන අඩුපාඩුවක් වන්නේ වක්‍ර බදු මත ඇති ඉහළ රැඳියාව වන අතර එමගින් විශාල බදු බරක් සමාජයේ පහළම ආදායම් කාණ්ඩවලට එල්ල කර පවතී.
මෙම තත්වය වෙනස් කිරිමට නිරන්තරයෙන් අදහස් පළ කළද ඒ සඳහා ක්‍රියාත්මක වීම සිදු නොවීමේ ප්‍රතිඵලයක් වශයෙන් දිගින් දිගටම පවතින බදු ක්‍රමය ඉතාමත් අසාධාරණ අයුරින් ක්‍රියාත්මක වීමක් සිදුව ඇත. එබැවින් අවම වශයෙන් ඉදිරියට හෝ බදු ක්‍රමය සාධාරණ විය යුතු අතර ඒ සඳහා ධන බද්ද ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය සාධකයක්ව පවතී. දෙවනුව රජයේ බදු ආදායම වඩාත් තිරසාර ලෙස වර්ධනය කිරීම සඳහාත් ධන බද්ද වැනි බදු හඳුන්වාදීම කළයුතුව පවතී. ධන බද්දකින් ලබන ආදායම වඩාත් ස්ථාවර වන්නක් සහ වාර්ෂිකව පහසුවෙන් පුරෝකථනය කළ හැකි වීම නිසා රාජ්‍ය ආදායමට අදාළව උස් පහත් වීම අවම කරගැනීමේ හැකියාව පවතී. වෙනත් රටවල අත්දැකීම් අනුව පෙනීයන කරුණක් වන්නේ මෙවැනි බදු මගින් ලබන ආදායම අඛණ්ඩව ගලා ඒමක් සිදුවන බවයි.
තුන්වනුව ධන බද්දක් අයකිරීමෙන් සම්පත් ප්‍රසස්ථ උපයෝජනය සඳහා අවශ්‍ය දිරිදීම් ලබා දිමේ හැකියාව පවතී. මේ වන විට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන මෙන්ම ප්‍රධාන නරගර ආශ්‍රිතව ද භාවිතයට නොගන්නා හෝ ඌණ උපයෝජන මට්ටමේ පවත්නා ඉඩම් ගොඩනැගිලි දැකිය හැකිය. එවැනි තත්ව අවම කිරීමට බොහොමයක් රටවල් ධන බද්ද උපයෝගී කරගන්නා අවස්ථා දැකිය හැකිය. අවසාන වශයෙන් මෙවැනි බද්දක් හඳුන්වාදීමෙන් දැනට අය වන සියයට 18 ක් යටතේ වන වැට් බදු අනුපාතය සාමාන්‍ය ජනතාව භාවිත කරනු ලබන අත්‍යඅවශ්‍ය භාණ්ඩ සහ සේවා සඳහා අවම වශයෙන් සියයට 15ක මට්ටමකට පහත හෙළීමේ හැකියාව පවතී. එවැනි පහත හෙළීමක් අත්‍යවශ්‍යව පවතින අතර එමගින් පහළ ආදායම් ලබන්නන්ගේ ඡීවන තත්වයට කළහැකි බලපෑම ඉතා ඉහළ වේ. එබැවින් ධන බද්ද ක්‍රියාත්මක කිරීමට අවශ්‍යවන යෝජනා සහ වැඩසටහන් මෙවර අයවැය තුළ අඩංගු වීම අත්‍යඅවශ්‍ය වූවකි.
අනෙකුත් බදු සංශෝධන මොනවාද?
වත්මන් ආදායම් බදු ව්‍යුහය ද ඉතාමත් අනර්ථකාරී වූවක් බව ඉතා පැහැදිලි කරුණකි. විශේෂයෙන්ම, උපයන විට ගෙවනු ලබන බද්ද මධ්‍යම පාන්තිකයා දැඩි අසරණ තත්වයකට ඇද දමා තිබේ. පැවති ඉහළ උද්ධමනය හේතූවෙන් වැටුපෙන් මිලට ගත හැකි මූර්ත භාණ්ඩ සහ සේවා ප්‍රමාණය හරි අඩකින්, 2022ට සාපෙක්ෂව, පහළ ගිය අතර උපයන විට බදු ගෙවිමට සිදුවීමෙන් වැටුප් මත ජීවත්වන බහුතර පිරිසක් මහත් අසරණ තත්වයකට ඇද දමන ලදී. පසුගිය අයවැය තුළ යම් යම් සංශෝධන හඳුන්වා දුන්න ද ඒ හරහා දැනෙන පිළිසරණක් නොලැබිණි. විශේෂයෙන්ම වත්මන් උපයනවිට ගෙවනු ලබන බද්ද ආර්ථික ක්‍රියාකම් සඳහා ද ඉතා අහිතකරය. එමගින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පහත හෙළන අතර ඉතිරිකිරීම්, අායෝජන සහ ව්‍යවසායකත්වය සඳහා ද අහිතකරව බලපානු ලබයි. එමෙන්ම ශ්‍රම පලදායීතාවට සහ ශ්‍රම සභාගීත්වයට ද මෙමගින් අහිතකර බලපෑම් ඇති කරනු ලබයි. වෘත්තිකයන් රට හැරයාම බහුලවම සිදුවීමට එක් හේතුවක් වන්නේ ඉහළ මට්ටමක පවත්නා බදු ප්‍රතිශත වන අතර මේ වනවිටත් බොහෝ අංශවල කුසලතා සහිත සේවකයන්ගේ හිඟයක් පවත්නා බව නොරහසකි. එබැවින් මෙම තත්වය හැකි ඉක්මනින් ආමන්ත්‍රණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතී.
2022 ආර්ථික අර්බුදය යටතේ කරනු ලැබු බදු සංශෝධන මගින් යම් සහනදායී මට්ටම් යටතේ බදු අයවූ සමහර අංශවලවලට අදාළව පැවති සහන ඉවත් කරන ලදී. ඉන් ප්‍රමුඛතම අංශ දෙකක් වන්නේ අපනයන අංශය සහ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලාබ මත අය වූ බදු අනුපාතයි. ඒ අනුව එතෙක් සියයට 14ක පමණ මට්ටමේ පැවති බදු අනුපාත සියයට 30 දක්වා ඉහළනංවන ලදී. 2022 ආර්ථික අර්බුදය හමුවේ බදු සංශෝධන කිරීමේදී මූලික වශයෙන්ම ප්‍රකාශ කෙරෙනු කරුණක් වූයේ වසර දෙක තුනක් ඇතුළත බදු අයකිරීමේ කාර්ක්ෂමතාව ඉහළනැංවිම, බදු පැහැර හැරීම් සහ බදු අවතක්සේරු කිරීම් වළක්වාලීමත් සමග බදු ප්‍රතිශත පහත දැමිය හැකිය යන්නයි. ඒ අනුව, ජනතාව මෙන්ම ව්‍යාපාර ද තමන් මුහුණ දෙනු ලබන බදුබර ක්‍රමිකව සැහැල්ලු වෙතැයි අපෙක්ෂා කරන ලදී.
ඒ අනුව 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කරනු ලබන අයවැය ආර්ථික වර්ධනය දිරිමත් කිරීම ඉලක්ක කරමින් බදු සහන ලබාදීමක් සිදුවිය යුතුව ඇත. අපේක්ෂා කළ පරිදි බදු එකතු කිරීම කාර්යක්ෂමතාව ඉහළ ගියේ නම් සහ නව තාක්ෂණය සහ නීතිරීති මගින් බදු පැහැර හැරීම සහ අවතක්සේරුව අවමකොට ඇත්තේ නම් සමස්ත බදු ආදායමට බලපෑමක් ඇති නොවන අයුරින් බදුබර අඩු කිරීමේ හැකියාව රජයට ඇත. එමෙන්ම 2022-2023 වර්ෂවල ඉතා පහළ අගයක් ගත් රජයට ලැබෙන තීරු බදු ආදායම නැවත සක්‍රියව ඇති අතර වාහන ආනයනයෙන් සැලකිය යුතු ආදායමක් රජය දැනටමත් ලබා ගනිමින් සිටි.
අනෙක් අතට රජයට දැනට යම් ආදායම් ඉතිරියක් ද (fiscal buffer) පවතින හෙයින් යම් බදු සංශෝධන සඳහා ගමන් කිරීමේ හැකියාව පිළිබඳ කල්පනා කිරීම වැදගත්ය. විශේෂයෙන්ම තිරසාරව ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමටනම් දේශීය සහ විදේශීය පෞද්ගලික ආයෝජන ප්‍රවර්ධනය කළ යුතු අතර මේ සඳහා ද යම් බදු සහන ලබා දිය යුතුව ඇත. විශේෂයෙන්ම සඳහන් කළ යුතු මූලික කරුණක් වනුයේ කුමන බදු සංශෝධනයක් කළද රජයට ලැබෙන බදු ආදායම, ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස පහත නොහෙළීමට වගබලා ගතයුතු බවයි.
බදු අයකිරීමට අදාළව විවිධ වෙනස්කම් පසුගිය වසර දෙක-තුනක කාලය තුළ සිදුව පැවතියත් තවමත් නිසි අයුරින් අවධිමත් අංශය තුළ බදු එකතු කිරීම සිදු නොවන බව නොරහසකි. දැනට සිදුව පවතින්නේ බදු ගෙවීමට පහසුවෙන් ලක්කළ හැකි පිරිස පමණක් ඉලක්ක කරමින් ඉතා ඉහළ බදුබරක් ඔවුන්මත පැටවීමටය. එබැවින් එම තත්වය වෙනස්කිරීමට අදාළව කඩිනම් පියවර ගතයුතුය. ඒ සඳහා දැනට ක්‍රියාත්මකව ඇති ඩිජිටල්කරණ වැඩසටහන උපකාරී කරගත හැකිය. විශේෂයෙන්ම දැනට බදු එකතු කිරීම සඳහා ඇති ආයතන තුන ඒකාබද්ධ කිරීමෙන් නව අධිකාරියක් පිහිටුවීම කාලයක් තිස්සේ යෝජනා වී පැවතිය ද ඒ සඳහා පියවර ගැනීමක් සිදුව නොමැත. 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කරනු ලබන අයවැය තුළ අවධානයට ලක්විය යුතු තවත් අංගයක් වන්නේ බදු පරිපාලනය ශක්තිමත් කිරීමට අදාළව මෙම නව ආයතන ව්‍යුහය ඇති කිරීම වේ.
නිගමනය
පවත්නා බදු ක්‍රමය, බදු එකතු කිරිමේ දී අනුගමනය කළ යුතු මූලික මූලධර්ම සියල්ලක්ම උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වෙමින් පවතී. එමගින් ආර්ථික වර්ධනයට, ශ්‍රම සැපයුමට, සහ ශ්‍රම පලදායීතාවට ඉතා අහිතකර ප්‍රතිඵල ඇතිකරමින් සිටින බව නොරහසකි. ඊටත් වඩා අහිතකර තත්වය වන්නේ දැනට ඉතා ඉහළ මට්ටමක පවතින දුප්පත්කමට මූලික හේතුවක්ව පවතින්නේ වත්මන් බදු ව්‍යුහයෙන් සමාජයේ පහළම පන්තියට ඇති කොට ඇති දැඩි පීඩාව වේ. මෙම තත්වය අවම කිරීමට කඩිනමින් පියවර ගැනීම කළ යුතුව ඇත. ඒ සදහා පියවර ගැනීමේ දී දැනට අප අත්කර ගෙන ඇති සාර්ව ආර්ථික ස්ථායීතාවට බලපෑමක් සිදු නොවිය යුතු අතර විශේෂයෙන්ම රජයේ බදු ආදායම අහිමි කරගනිමින් එවන් අරමුණු ජය ගැනීමට කටයුතු නොකළ යුතුය.
ඒ අනුව ප්‍රතිපත්ති සම්පාදකයන් කළයුතු වන්නේ ඇතිහැකි අය ඉලක්ක කරමින් දේපළ බද්ද වැනි බදු හඳුන්වාදීම සඳහා කටයුතු කිරීම වන අතර ඊට අමතරව දැනට බදු දැලෙන් බැහැරව කටයුතු කරනු ලබන පිරිස් නිසි පරිදි බදු ගෙවීමට යොමු කිරිම වේ. ඒ සඳහා අවශ්‍යවන වැඩසටහන් සහ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහා වූ යෝජනා මෙවර අයවැයේ ඇතුළත්විය යුතුව ඇත. ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ බොහොමයක් බදු සංශෝධන තාවකාලික ප්‍රපංචයක් වනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළ අතර විශේෂයෙන්ම බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරිමත් සමග ක්‍රමානුකුලව සහනයක් ලැබෙතැයි අපේක්ෂා කරන ලදී. එහෙත් එම අපේක්ෂා ඉටුවන බවක් පෙනෙන්නට නැත. වත්මන් බදු ව්‍යුහය තුළ දිගින් දිගටම කටයුතු කිරීමට සිදු වුවහොත් ඉන් සිදු වන්නේ ආර්ථික කටයුතු ක්‍රමයෙන් මන්දගාමී වීම වන අතර එවැනි අත්දැකීම් මෙරට තුළ මෙන්ම ලෝකයේ බොහෝ රටවල අත්දකින ලද තත්ව වේ. එබැවින් වත්මන් බදු ව්‍යුහය පිළිබදව නිසි අවධානයක් යොමුකර අවශ්‍ය සංශෝධන කිරීමට පියවර ගැනීම මෙවර අයවැය තුළ සිදුවිය යුතුයැයි අපේක්ෂා කරමු.
අයවැය අභියෝග : දේපළ බද්ද හඳුන්වාදීම වැදගත්ද ?