දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බිඳ වැටුණ රටවල් ගොඩනැගීමට ඇති කරන ලද මූල්‍ය අරමුදලේ සැලැස්මට දශක අටක ඉතිහාසයක් ඇත. පැරැණි යුගය නවීන තාක්ෂණික යුගයට ගැළපෙන්නේ නැත. පූර්ව කර්මාන්ත යුගය පසුකර සේවා යුගයට ඇතුළු වූ අතර දැන් ඩිජිටල් අවධියක් කරා ලෝකයේ රටවල් ගමන් කරමින් සිටී. මූල්‍ය අරමුදලේ නිර්දේශ තුළ පැරණි ගතානුගතික ආර්ථික රාමුව හැර අනෙක් යමක් නැත. ඇමරිකාවේ අලුත් බදු ප්‍රතිපත්ති, චීනය තීන්දු ගන්නා ආකාරය හෝ යුරෝපා කොමිසමට අයත් රටවල හැසිරීම තුළින් ශ්‍රී ලංකාව අපහසුතාවට පත්වන තරම සාකච්ඡා නොවීම වරදකි.
සාරා කන්දෙගොඩ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගමන හරි අඩක් අවසන් කර තිබේ. දුෂ්කර මාවත පසුකර අවදානම බැහැර කර ගෙන ඇත. ආර්ථිකය ස්ථාවර බව පැහැදිලිය. වසර 2022-23 කාලයේ දී සියයට දහයකින් පහත වැටුණ ආර්ථිකය නැවත ගොඩනැගෙන මාවතට හරවා ගෙන තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය කාර්ය මණ්ඩල මටට්මින් අනුමත කරන ලද පහසුකම අභ්‍යන්තර ස්ථාවරය ඇති කළේය. අරමුදලේ යෝජනාවක් පරිදි ජාත්‍යන්තර බැඳුම්කර ආපසු ගෙවන සැලැස්මක් සඳහා අලුත් අවබෝධතාවක් ඇති කරගත් අතර වාරික වශයෙන් ගෙවන සැලැස්මකට ඇතුළු වී සිටී.
කොවිඩ්-19 සමග ලෝකය පුරා හටගත් කැළඹිලි ශ්‍රී ලංකාව ගොදුරුකරගත් අතර විනිමය හිඟය දරුණු බලපෑමක් ඇතිකරන ලද බව මතක් කළ යුතුවේ. තව දුරටත් අගාධයකට තල්ලුවීම වළක්වන පියවරක් වශයෙන් මුල්‍ය අරමුදලේ මැදිහත්වීම ඉල්ලා සිටියේය. ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරු සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරු සැලැස්ම අඛණ්ඩව පවත්වාගෙන යන්නට ගත් තීරණ අගය කළ යුතුවේ.
ඉතාම අවශ්‍ය අවස්ථාවක ඉන්දීය රජය ඇමරිකානු ඩොලර් බිලියන හතරක ආධාර පිරිනමන ලද අතර ඉන්දීය රජය පවා කුලුනු හතරකින් යුත් සැලැස්මක් යොජනා කළ බව සිහිපත් කළ යුතුය. හිටපු මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් හා විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සමග පවත්වන ලද සැසි ගණනාවක සාකච්ඡා අවසානයේ දී ආධාර නිකුත් කරන ලද අතර ඉන්දීය සහාය ඇති සංචාරක ප්‍රවර්ධන කටයුතු හා ඉන්දීය ආයෝජන දිනාගැනීමේ අවශ්‍යතාව, ආර්ථිකය ගොඩනගන අනිවාර්ය කුලුනු දෙකක් වශයෙන් එකල අවධාරණය කළේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වසර හතරක සැලැස්ම අනුව ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක් වාරික වශයෙන් අනුමත කර තිබේ. එය වාරික වශයෙනි. ඉන්දියාව හා මුල්‍ය අරමුදල අතර වෙනස පැහැදිලි කරගත යුතුව තිබේ.
පණිවුඩ දෙක වරදවා වටහා ගැනීම පර්යේෂණාත්මකව සලකා බැලීමේ දී අනන්‍ය ක්‍රමවේදයක් රටට අවශ්‍යය. මූල්‍ය අරමුදල තද රාමුවක් සමග ප්‍රදානය පිරිනැමීය. එයට මානුෂීය ආධාර කොටසක් ද ඇතුළත්ව තිබුණි. ඉන්දියාව විවෘත තීන්දුවක් අනුව උපදෙස් නිකුත් කරන ලදී. නවදිල්ලියෙන් කොන්දේසි නොතිබුණි. වසර දෙකක් අවසානයේ දී වටිනා අදහස එනම් පාර්ශව දෙක මගින් අවධාරණය කරන ලද ආර්ථික වර්ධනය සඳහා සැලැස්ම පැහැර හැර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය නිලධාරීන් මෙරටට එවන අතර ඔවුන් කරන පසුවිපරම් හේතු කොටගෙන අය වැය පාලනය කර ගත හැකි වී තිබේ. ප්‍රධාන අංශ ගණනාවක පිරිවැය ආවරණය කරන ගාස්තු ක්‍රම, වක්‍ර බදු වැඩි කිරීම හා සෘජු බදු ආදායම සලකා සෑම පුද්ගලයකුටම බදු ලිපිගොනුවක් ආදී වශයෙන් අංශ ගණනාවකි. අය වැය පාලනය කරගැනීමෙන් පමණක් වර්ධනයක් ඇති නොවේ. එය ආදායම හා වියදම පාලනය කරගැනීමක් පමණකි. වර්ධනයක් සඳහා අලුත් ධනය යෙදවිය යුතුවේ. ආණ්ඩුව සතු ඉතාම දුර්වල ආයෝජන ශක්තිය සලකා බලන පසු පෞද්ගලික අංශයට ඉඩ දිය යුතුවේ. මෙහි දී දේශීය ව්‍යවසායකත්වය සමග විදේශ ආයෝජකයන් සම්බන්ධ කිරීම අවශ්‍යය. රට තුළ ධනය වැඩිකිරීම සඳහා පිටතින් මුදල් ඉතා අවශ්‍යය. මුදල් පමණක් නොව තාක්ෂණය ද ලැබේ. විදේශ ආයෝජන ඉතා කාර්යක්ෂම යාන්ත්‍රණ සමග ක්‍රියා කරන අතර කෘතිම බුද්ධිය, අඩුම බලශක්ති පිරිවැය හා ජාත්‍යන්තර බෙදාහැරීමේ ජාලා සමග සම්බන්ධ වී සිටී. මෙම අංශ තුළින් වාසියක් ලබාගැනීමෙන් හැර ශ්‍රී ලංකාවේ ආර්ථික සැලැස්මට ඉදිරියක් නැත.
අනාගතය සඳහා අවසන් අවස්ථාව
ජාත්‍යන්තර අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධක්ෂ (පළමුවැනි) ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සහ අරමුදලේ දකුණු හා ශාන්තිකර කලාපය භාර ක්‍රිෂ්ණ සිරිනිවාසන් මහතා ප්‍රධාන දුත පිරිසක් මෙරට පැමිණියේය. ඔවුහු පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා වූ අවසන් අවස්ථාව බව දැක්වේ. මුල්‍ය අරමුදලේ ණය සංචිත ලබාගත් ඉකුත් දහසය වතාවක් ඒවා අතරමග අත්හරින ලද අතර මෙවර පවතින ආණ්ඩුව එය අවසානයක් කරා ගෙන යන බව ඔවුන්ගේ උපකල්පනය බව පෙනේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද දැනට කරගෙන යන ණය වැඩසටහන ශ්‍රී ලංකාවේ අවසාන උත්සාහය බව දක්වා තිබේ.
ආණ්ඩුව දැවැන්ත පියවරක් ඉදිරියට තැබිය යුතුවේ. මුල්‍ය අරමුදල කරන යෝජනාවලට වඩා විකල්ප දැක්මක් රටට අවශ්‍යය. එවැනි ප්‍රයත්නයකින් ආර්ථිකය දියුණු කරගත හැකිවේ. රට තුළ ආදායම නංවන අතර විදේශ විනිමය උපයන ක්‍රමවේද සොයාගැනීමට සිදුවේ. දශක කිහිපයකට පෙර කෘෂි භෝග කෙරෙහි තිබුණ නැඹුරුව සහමුලින්ම වෙනස් වී ඇති අතර විදේශ රැකියාවල නිරත පිරිස එවන ධනය මෙරට ඉහළම විනිමය උත්පාදන ක්ෂේත්‍රය වී ඇත. ලෝකයේ වෙනත් රටක සේවය කර මෙරටට එවන ධනය වෙනුවට මෙරට උත්පාදනයෙන් විනිමය උපයන අලුත් ක්‍රමවේද රටට අවශ්‍යය. සංචාරක ව්‍යාපාරය නුසුදුසු නැත. එහෙත් එහි සීමාවක් තිබේ. තේ අපනයනය මෙරට තුන්වන අපනයන ඉපැයීම බව දැක්වේ. තේ වගාව මගින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් යැපෙන නමුත් රටට ලැබෙන විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.25 ක් පමණ වේ.
ශ්‍රී ලංකාව ගොඩනගන උත්සාහයේ අවසන් අවස්ථාව වශයෙන් සලකා අලුත් විනිමය උපයන ක්ෂේත්‍ර සඳහා ඉඩ දෙන අතර එම ධනය ජාතික ආදායම කරගැනීමේ වගකීමක් අපට තිබේ. වපරිසය පුළුල් කරන අතර පහසු තීන්දු සඳහා ඉඩකඩ අවශ්‍යය. බලශක්තිය, සේවා, තාක්ෂණය හෝ වෙනත් පැති ගැන නවතම මුහුණුවරක් සඳහා යෝජනා රහිතව ඉදිරියට ගමනක් නැත.\
ණය ගෙවන්නට හැකි රටක් ගැන සැලසුම්
අභ්‍යන්තරය සලකා බලන පසු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර සතිපතා වෙන්දේසි කෙරේ. වෙන්දේසියට හොඳ ඉල්ලුමක් තිබේ. එම ලැබෙන ණයවලින් කොටසක් පැරණි ණය ගෙවන අතර තවත් කොටසකින් රජයේ එදිනෙදා වියදම් ආවරණය කරගැනේ. ජාත්‍යන්තර ණය පවා පැරණි ණය හා පොලිය ගෙවන පියවර සඳහා අලුතින් ඩොලර් ණය හැර වෙනත් විකල්පයක් නැත. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලද අතර ඉදිරියේ දී ගෙවීම් ආරම්භ කළ යුතුවේ.
එම කර්තව්‍යය සඳහා විදේශ විනිමය අවශ්‍යය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කරන යෝජනා අනුව දේශීය බදු සංශෝධන තුළින් මෙතෙක් තිබුණ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට අටක සිට සියයට පහළොවක් දක්වා දෙගුණයක් කර ඇත. මෙම බදු ගෙවන ජනතාව දෙස වඩාත් තීක්ෂණව සලකා බැලීමේ අවශ්‍යතාවක් මතු වී තිබේ.
මූල්‍ය අරමුදල බල කරන ව්‍යුහය වෙනුවට ජනතාවගේ ආදායම ආරක්ෂා කරන අතර අලුත් ක්ෂේත්‍ර පණ ගන්වා ඒවායෙන් අලුත් ආර්ථික උත්පාදනය කෙරෙහි නැඹුරුව සලකා බැලිය යුතු පැත්තකි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බිඳ වැටුණ රටවල් ගොඩනැගීමට ඇති කරන ලද මූල්‍ය අරමුදලේ සැලැස්මට දශක අටක ඉතිහාසයක් ඇත. පැරණි යුගය නවීන තාක්ෂණික යුගයට ගැළපෙන්නේ නැත. පූර්ව කර්මාන්ත යුගය පසුකර සේවා යුගයට ඇතුළු වූ අතර දැන් ඩිජිටල් අවධියක් කරා ලෝකයේ රටවල් ගමන් කරමින් සිටී.
මූල්‍ය අරමුදලේ නිර්දේශ තුළ පැරණි ගතානුගතික ආර්ථික රාමුව හැර අනෙක් යමක් නැත. ඇමරිකාවේ අලුත් බදු ප්‍රතිපත්ති, චීනය තීන්දු ගන්නා ආකාරය හෝ යුරෝපා කොමිසමට අයත් රටවල හැසිරීම තුළින් ශ්‍රී ලංකාව අපහසුතාවට පත්වන තරම සාකච්ඡා නොවීම වරදකි.
ජාත්‍යන්තරයෙන් ලැබෙන පිටිවහල සීමා වන අතර රට තුළ වෙසෙන දුප්පත් ජනතාවට තවත් බර පටවන ආර්ථික ප්‍රතිසංස්කරණය සහමුලින්ම ගැළපෙන්නේ නැත. ජාතික ජනබලවේගය ආණ්ඩුව මෙම අභ්‍යන්තරය හඳුනා ගත යුතුව තිබේ. මුලින් පනවන ලද කොන්දේසි අනුව ආර්ථිකය බිඳවැටීම වළක්වාගෙන ස්ථාවර වූ පසු එය ගොඩනැගීම සඳහා ජවය සොයාගැනීම පමණක් නොව මෙම වපරිසය ඉදිරියේ ශක්තිමත්ව හා තරගකාරීව තීරණ ගත හැකි විය යුතුය.
එතෙර වූ පසු ඔරුව ඔසවාගෙන යා යුතු නැත
ආර්ථිකය ස්ථාවර කරගැනීම වැදගත්ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එයට මග පෙන්වීය. වරින්වර රටට පැමිණි උපදේශකවරු පනවන ලද කාරණා අනුව මෙතෙක් පැමිණ සිටී. පසුගිය වසරේ වර්ධනය සියයට පහක් දක්වා පැමිණීම එහි ප්‍රතිඵලයකි.
ශ්‍රී ලංකාවේ ඉදිරිය සලකා බලන පසු සියයට දහයකට ආසන්න වර්ධනයක් අවශ්‍ය කෙරේ. මුල්‍ය අරමුදල ආර්ථික අර්බුදයෙන් එතෙරවීමට මග දැක්වීය. එයින් පසු ඔරුව ඔසවාගෙන යා යුතු නැත. අනන්‍ය ඉදිරි ගමනක් තීන්දු කළ යුතුවේ. මූල්‍ය අරමුදලේ සහාය වෙනුවට රටට ගැළපෙන ප්‍රතිසංස්කරණ අවශ්‍යය. ජවය ඇති කරන ස්වාධීන සැලැස්මක් වුවමනා කෙරේ.
ජාතික ජනබලවේගය සිය ජනාධිපතිවරණ වේදිකාවේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේ අනන්‍ය වැඩ පිළිවෙළක් ජනතාව හමුවේ තැබීය. එය අනුමත කෙරිණ. පළාත් පාලන මට්ටමින් ද සැලකිය යුතු තීන්දුවක් ලැබී තිබේ. රට ගොඩනගන, ජනතා අභිමතාර්ථ සාක්ෂාත් කරන පියවර සඳහා තීන්දු ගැනීම සුදුසුය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තීරණාත්මක බලපෑම් වෙනුවට ඒවා සමග කේවල් කරන ක්‍රමයකින් උපායශීලීව ඉදිරියට ගමන් කරන සැලැස්මක් අවශ්‍යය. ජනතාවට හිතකර ක්‍රමවේද අනුගමනය කරන ජනතා ආණ්ඩුවක වගකීමක් තිබේ. ඉතිහාසයේ කරගෙන ගිය ණය ගනුදෙනු අවස්ථා දහසයක දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ බලවේග ඇති කරන ලද මතවාදී විරෝධය මෙහි දී මතක් කළයුතුය.
සමාජයක් වශයෙන් යථාර්ථය අවබෝධ කරගැනීම අවශ්‍යය. ඔවුන්ට අවශ්‍ය හා අවනත රටක් වෙනුවට අපට අවශ්‍ය අපගේ අනාගත පරපුර ඔසවා තබන ආර්ථිකයක් අවශ්‍යය. 2026 වසර සඳහා මෙම තීන්දු වහාම යෝජනා කිරීම ආණ්ඩුවේ වගකීමකි.
අයි ඇම් එෆ් වෙනුවට විකල්ප ආර්ථික ප්‍රතිපත්ති