×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 සැප්තැම්බර් මස 03 වන බදාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
අපනයන භෝගයක් පුවක් වගාවට වැඩි තැනක්
කතෘ මණ්ඩලය 2025 අගෝස්තු මස 29
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ඉන්දුනීසියා පුවක් මිශ්‍රකර ප්‍රති අපනයනයෙන් වාර්ෂික ආදායම ඩොලර් මිලියන 500යි.
පෘතුගිසි සහ ලන්දේසි සමයේ විශාල ආදායමක් පුවක්වලින් ලැබුණා
ලංකාවේ ජාතික ආදායමට වාර්ෂිකව පුවක් අපනයනයෙන් එකතු වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 500කි. මෙය විශාල මුදලක් ලෙස පෙනෙන මුත් මෙම මුදල ලැබෙන්නේ පුවක් ප්‍රති අපනයනයෙනි. එනම් ඉන්දුනීසියාව වැනි රටවල සිට මෙරටට ආනයනය කෙරෙන කරුංකා පුවක් මෙරට නාමය යටතේ පිටරට පැටවීමෙනි. මෙරට පුවක් තත්වයෙන් ඉහළ නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේදී ඉහළ ඉල්ලුමක් තිබෙන හෙයින් ඉන්දුනීසියාවේ පුවක් මෙරටට රැගෙන විත් ප්‍රති අපනයනය කෙරෙයි. එනිසා ලැබෙන සම්පූර්ණ ආදායමම මෙරටට හිමිවන්නේ නැත.
මේ වනවිට පෞද්ගලික සමාගම් ගණනාවක් ඉන්දුනීසියාව හා තායිලන්තය යන රටවලින් මෙරටට පුවක් ආනයනය කර ලංකා ලේබලය යටතේ අගය එකතු කර ප්‍රති අපනයනය කිරීමෙන් විශාල විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබෙන මුත් එමගින් ලංකා පුවක් සඳහා ඉන්දියාවේ ඇති සුවිශාල ඉල්ලුමට තර්ජනයක් මතුව ඇත. වාර්ෂිකව මෙරට නිෂ්පාදනය කෙරෙන පුවක් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 26,000 සහ 28,000 අතරය. එයින් මෙට්‍රික් ටොන් 18,000ක් පමණ අපනයනය කෙරෙයි. එයින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ ඉන්දියාවය. පිටරටින් ගෙනැවිත් අගය එකතුකර ප්‍රතිඅපනයනය කිරීම නිසා ඉන්දියානු වෙළෙඳපොළ අහිමිවීමේ අවදානමකට නිරතුරුවම මෙරට පුවක් කර්මාන්තය ලක්වෙයි.
පුවක් යොදා කරන නිෂ්පාදන
ලෝකයේ විවිධ රටවල් ආහාර රසකාරක, තීන්ත සහ ඩයි නිෂ්පාදනය සඳහා පුවක් යොදා ගනියි. නොමේරූ පුවක් මදවලින් ටැනින් නමැති ආහාර වර්ණකාරකය ද පදම් කළ සම් සහ රෙදිපිළි සඳහා වර්ණ කාරක ඩයි ද නිපදවයි. ඖෂධ නිෂ්පාදනය සඳහා ද පුවක් යොදාගනියි. වියළන ලද පුවක් කුඩු අඹරා සකස් කර ගන්නා යොදය දන්තාලේප නිෂ්පාදනයට යොදා ගනියි.
පෘතුගීසි සහ ලන්දේසි පාලන කාලවල විදේශීය වෙළෙඳාමේ ප්‍රමුඛ තැනක් පුවක්වලට ලැබිණ. පහතරට යුරෝපීය පාලකයන් උඩරට රජු සමග ඇති කරගත් වෙළෙඳ ගිවිසුම්වල දී උඩරට පුවක් මිලදී ගෙන විදේශයට විකිණීමේ බලයක් ඔවුහු රජුගෙන් ලබා ගැනීමට උත්සාහ කළහ. තමන්ගේ පාලන ප්‍රදේශයේ පුවක් අස්වැන්න මුළුමනින්ම පාහේ පෘතුගීසි හා ලන්දේසි පාලකයන්ට හිමි වූ අතර උඩරටින් මිල දී ගත් පුවක් ද සමග ඉන්දීය වෙළෙඳපොළට පැටවීමෙන් විශාල ලාබයක් ඔවුන්ට ලැබිණ.
ලංකාවේ වෙරළබඩ පළාත්වල ලන්දේසි පාලනයක් ස්ථාපිත වූයේ වර්ෂ 1658 සිටය. ඔවුන්ගේ පැමිණීම ප්‍රධාන වශයෙන්ම සිදු වූයේ ලංකාවේ සිට රැගෙන ගොස් එතෙර විකිණිය හැකි වර්ග හතරක් අත්පත් කර ගැනීම සඳහාය. අලි ඇතුන්, පුවක්, කුරුඳු සහ මුතු එම වර්ග හතරය. මේ සියල්ලම ලංකාවේ දී ගෙන ගොස් ඉන්දියාවේ දී විකිණිය හැකි විය. ඒ වනවිට පෘතුගීසීහු මෙම සතර ද්‍රව්‍යම ලංකාවේ සිට ගෙන ගොස් ඉන්දියාවේ දී අලෙවි කර විශාල ආදායමක් ලබා ගත්හ.
බුලත් සමග පුවක් මිශ්‍රකර සිදු කරන බුලත්විට කෑම එකල ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද බහුලව සිදුවිය. ඉන්දියාවේ පුවක් නිෂ්පාදනය වන්නේ කේරළ ප්‍රාන්තයේ පමණකි. මේ නිසා සමස්ත ඉන්දියාවටම පුවක් හිඟයක් තිබිණි. මේ හේතුවෙන් ලංකාවේ පුවක්වලට එරට සරු වෙළඳපොළක් සැකසී තිබුණි. පෘතුගීසින් සහ ලන්දේසින් යන දෙපිරිසම භාවිත කළේ මෙම ඉඩ ප්‍රස්ථාවය. එකල ලංකාවෙන් යැවූ පුවක් ඉන්දියානු වෙළඳපොළට යැවූ විගසම විකිණී ගියේය. ඉන්දු ලංකා වෙළෙඳාමේ ඉතා ලාබයක් ගෙනදුන් ද්‍රව්‍යයක් බවට පුවක් පත්වීම හේතුවෙන් විදේශීය ආක්‍රමණිකයෝ මෙරට පුවක් එකතු කිරීම සඳහා සිංහල රජුගේ යටත් ප්‍රදේශ ආක්‍රමණය කිරීමට පවා පෙළඹුණහ. පහතරට හා වෙරළබඩ ප්‍රදේශ යුරෝපීය ආක්‍රමණිකයන් යටතේ තිබූ නිසා ඔවුන්ට යටත් නොවූ ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය රෙදිපිළි, ලුණු, කරවල වැනි ද්‍රව්‍ය ලබා ගැනීමට මාර්ගයක් ලෙස පුවක් එකතු කර විකිණීමට එම ජනතාව පුරුදුව සිටියහ. මේ නිසා පුවක් යටත් විජිත යුගයේ භාණ්ඩ මිලදී ගැනීමේ හා හුවමාරුවේ වැදගත්ම මාධ්‍යයක් ලෙස පැවතුණේ සිංහල ප්‍රදේශවල මුදල් භාවිතයක් නොතිබූ නිසාය. පරංගි සමයේ පටන් පුවක් අපනයනය සිදු වුවත් කොතරම් පුවක් ප්‍රමාණයක් විදේශයට අලෙවි කළේද ඉන් ලැබුණු ආදායම කොපමණ ද යන්න නිවැරැදිව ලේඛන ගතව ඇත්තේ ඕලන්ද සමයේ සිටය. ඕලන්දයෝ ලක්දිව වෙළෙඳ ද්‍රව්‍යවලින් ඉතා වැදගත් ද්‍රව්‍ය ලෙස සැලකුවේ පුවක් සහ කුරුඳුය. මෙරට පුවක් සහ කුරුඳු විදේශයට විකුණා ඕලන්ද පාලකයෝ අතිවිශාල ආදායමක් ලැබූහ. පාන්ගොඑන්ස් නමැති ඕලන්ද ලේඛකයා 1679 වර්ෂයේදී මෙරට ඕලන්ද පාලකයන් දකුණු ඉන්දියාවට පුවක් අමුණු හතලිස් දෙදහසක් විකුණා ගිල්ඩර් 550000ක ලාබයක් ලැබූ බව වාර්තා කර ඇත. එම කාලයේ පුවක් විකුණුයේ අමුණුවලිනි. පුවක් අමුණකට වියළි පුවක් නම් විසි හතර දාහක් ද අමු පුවක්වලින් නම් පුවක් තිස් දාහක් ද අයත් වේ. ඉන්දියාවට යැවූ ප්‍රමාණ මෙසේය.
ඉන්දියාවේ බෙංගාලයට පුවක් අමුණු - 5200
කොරමණ්ඩලයට අමුණු - 20000
නාගපට්ටනමට අමුණු
-
12000
මදුරෙයි ප්‍රදේශයට අමුණු - 4000
මලබාරයට අමුණු - 500
අරාබියේ පර්සියාවට අමුණු - 300
ඒ අනුව මෙම අමුණු හතළිස් දෙදහස අමු පුවක් ලෙස සලකා බැලුවහොත් එයට ගෙඩි කෝටි 126ක් අයත් බව තේරුම් ගත හැකිය. ඒ අනුව එකල මෙරට පුවක් ගස් විශාල වශයෙන් වැවී තිබෙන්නට ඇතැයි සැලකිය හැකිය. දැනට වසර තිහ හතලිහකට පෙරද මෙරට පුවක් ගස් ගොමු වශයෙන් තිබූ අතර ඒවා හැඳින්වූයේ පුවක් අරඹ හැටියටය.
1679 දී මෙම වාර්තාව සටහන් කළ වර්ෂයේ මෙම පුවක් තොගය ඕලන්දයන් මිලදී ගෙන ඇත්තේ උඩරට රජුගේ පාලන ප්‍රදේශයෙන් සහ තමන්ට අයත් පහත රට ප්‍රදේශයෙනි. මිලදී ගැනීමට ඔවුන්ට ඔවුන්ගේ මුදල් ඒකකය වූ ගිල්ඩර් ලක්ෂ දෙකක් වැයවී ඇත. එම පුවක් විකුණා ලත් ලාබය ගිල්ඩර් 550000ක් තරම් විශාල මුදලකි. පාන්ගොඑන්ස් නමැති ලේඛකයා සඳහන් කර ඇත්තේ මෙම මුදල මෙරට ඕලන්ද යුද හමුදාවට වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් වූ බවය.
පුවක් ගස පිළිබඳව මෙරට විධිමත් අධ්‍යනයක් සිදුව නැත. රිළවුන්ගෙන් හැර වෙනත් වන සතුන්ගෙන් පුවක් ගසට හානි සිදු නොවේ. කෘමි රෝග ද නැත. රිළවුන් නිසා පුවක් ගස් විශාල වශයෙන් විනාශ වන්නේ පුවක් ගොබය අවුස්සා එහි සාරය උරා බීමට රිලවුන් පුරුදුවී සිටින නිසාය. මේ නිසා ගොබය මැලවී ගස මැරී යයි. වයඹ පළාත ඇතුළු බොහෝ ප්‍රදේශවල මෙම තත්වය දැක ගත හැකිය. ඒ හැරෙන්නට වෙනත් සත්ව හානි නොමැති අතර ගසට පොහොර යෙදීමක් ද අවශ්‍ය නොවේ. බ්‍රිතාන්‍යයන් ද පුවක් අපනයනයෙන් විශාල ආදායමක් ලැබූ අතර පසුව පුවක් වගාව නොසලකා හැරිණි.
මේ වනවිට මෙරට පොල් සහ තේ මෙන් මහා පරිමාණ පුවක් වගාවක් සිදු නොකෙරේ. වගාවක් ලෙස පුවක් වැවූ වතු යායවල් ද නැත. ගෙවතු වගාවක් ලෙස ඉබේ වැවුණු පුවක් ගස්වලින් ඵල නෙළාගෙන විකුණා ගැනීම හැර ගම්බද ප්‍රදේශවල පවා පුවක් පැළ විශාල වශයෙන් සිටුවන්නේ ද නැත. එසේ වුවත් වසරකට විශාල පුවක් අස්වැන්නක් එකතු වේ.
එක ගසකින් වසරකට නෙළා ගත හැක්කේ ද උපරිම වශයෙන් ගෙඩි 700ක් පමණය. මෙරට හට ගන්නා එක් පුවක් වල්ලක ගෙඩි 400-500 අතර හටගනී. ඒ අස්වැන්න මදිය. ඒ නිසා අපනයන වගාවක් ලෙස ප්‍රචලිත කිරීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක් ගසකින් වසරකටට ගෙඩි 1000ක් පමණ නෙළා ගත හැකි ප්‍රභේද කිහිපයක් හඳුන්වාදී ඇත. මාතලේ චතුර, මාතලේ සිංහ සහ මාතලේ රාජා එම පුවක් ප්‍රභේද වේ. අඩුම වශයෙන් එම නව ප්‍රභේද හෝ වගාව ව්‍යාප්ත කර වතු යාය ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමට පියවර ගතහොත් දැනට වඩා විශාල අපනයන ආදායමක් ලබා ගත හැකිය. එලෙසම ගම්බදව වැවෙන මෙරටට ආවේනික පුවක් වර්ග විධිමත් ලෙස වගා කිරීමට ජනතාව පෙළඹවීම අවශ්‍යය. සබරගමුව, මධ්‍යම පළාත, වයඹ ඇතැම් ප්‍රදේශ හා දකුණේ බහුලව පුවක් වැවෙන මුත් රට පුරාම පුවක් වගා කිරීමට ඉඩම් හිමියන් පෙළැඹවීමෙන් පුවක් අස්වැන්න ඉහළ නංවා අපනයන ආදායම ද ඉහළ නංවා ගත හැකිය. මෙරට පෘතුගීසි සහ ලන්දේසි පාලකයන් දැක්වූ උනන්දුව ආදර්ශයට ගෙන පුවක් වගාව ප්‍රචලිත කිරීමෙන් රටේ විදේශ විනිමය සංචිතය ඉහළ නංවා ගැනීමට රාජ්‍ය ප්‍රතිපත්තියක් සැකසිය යුතුය.
- ප්‍රේමකීර්ති රණතුංග
අදහස් (0)
අපනයන භෝගයක් පුවක් වගාවට වැඩි තැනක්
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
අපනයන භෝගයක් පුවක් වගාවට වැඩි තැනක්