IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


අදානිගේ විජින්ජාම් වරායට MSC වෙතින් ඩො. බි. 2.85 ක ආයෝජනයක්

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත මෙහෙයුම් වෙත බලපෑමක්?
දකුණු ඉන්දියාවේ කේරළේ පිහිටි අදානි සමූහයට අයත් විජින්ජාම් වරායේ සියයට 49ක කොටස් හිමිකාරීත්වයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට සුප්‍රසිද්ධ මෙඩිටරේනියන් ෂිපින් කම්පැනි (MSC) සමූහයේ පර්යන්ත හස්තය වන ටර්මිනල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් (TiL) හවුල්කාරීත්ව එකඟතාවකට පිවිස ඇතැයි වාර්තා වෙයි. 
ඒ අනුව මෙය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.85ක ආයෝජනයක් ලෙස ඉදිරිපත්ව ඇති අතර, ඒ හරහා විජින්ජාම් වරායේ ප්‍රතිනැව්ගත කිරීම් ඇතුළුව බහාලු‍ම් (TEUs) හැසිරවීමේ ධාරිතාව ඉහළ නැංවීම අරමුණ වී තිබේ.
අද වනවිට එම වරායේ වාර්ෂික බහාලු‍ම් හැසිරවීමේ ධාරිතාව මිලියන 1.6ක් වන අතර, මෙම පුළුල් කිරීමත් සමගින්ම එය මිලියන 5.7ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ.
මෙම විජින්ජාම් වරාය අදානි සමූහයට අයත් අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් (APSEZ) සමාගමට අයත්ය. එය අදානි විජින්ජාම් පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ක්‍රියාත්මක වෙයි. 
“මෙම උපායමාර්ගික සහයෝගිතාව මගින් ඉන්දියානු වරාය යටිතල පහසුකමක් වෙත සිදු කළ තනි විශාලතම විදෙස් පෞද්ගලික ආයෝජනය නියෝජනය කරනවා. මේ හරහා විජින්ජාම් වරාය ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධානතම ප්‍රතිනැව්ගත කිරීමේ දොරටුවක් ලෙස නැගී ඒම තවදුරටත් ස්ථිර කරනවා.” යනුවෙන් APSEZ පවසයි.
ඒ අනුව විජින්ජාම් වරාය පුළුල් කිරීම හරහා එහි ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම් ඉහළ යාම දැනට එම මෙහෙයුම්හි ප්‍රමුඛයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ මෙහෙයුම් වෙත බලපෑමක් එල්ල කරනු ඇතැයි අදහස වී තිබේ. එහිදී මෙම විජින්ජාම් වරාය දැනටමත් කොළඹ වරාය වෙත තරගකාරීත්වයක් එල්ල කරමින් සිටින අතර, ඉන්දීය රජයේ සහායත් වරාය හිමි අදානි සමූහයට හිමිවීම එහිදී කැපී පෙනෙයි.
වාර්තා අනුව අද වනවිට කොළඹ වරායට හිමි වන බහාලු‍ම් ප්‍රතිනැව්ගත කිරීම්වලින් සියයට 70කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් හිමිවන අතර, විජින්ජාම් වරායේ පුළුල්වීමත් සමගින් එම ව්‍යාපාරය ඒ වෙත ඇදී යාමේ අවස්ථාවක් පවතී. කෙසේ වෙතත් ඊට සමගාමීව කොළඹ වරායේ සිදුවන වර්ධනයත් සමගින් වඩා වැඩි ප්‍රතිනැව්ගත කිරීම් සහ බහාලු‍ම් හැසිරවීමක් වෙත යාමට කොළඹ වරායටද හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය වී තිබේ. කොළඹ වරායේ බටහිර බහාලු‍ම් පර්යන්තයේ (WCIT) ප්‍රධානතම ආයෝජකයා වන්නේද අදානි සමූහයයි.



අදහස් (0)

අදානිගේ විජින්ජාම් වරායට MSC වෙතින් ඩො. බි. 2.85 ක ආයෝජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site