විශේෂයෙන් මධ්‍යස්ථ ආදායමක් ඇති පාරිභෝගිකයන්ට වාහන මිලදී ගැනීමේ හැකියාව ලබාදීම සඳහා අඩු එන්ජින් ධාරිතාවයෙන් යුත් වාහන සඳහා පනවා ඇති බදු ව්‍යූහය සහ මිලකරණය සංශෝධනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව වාහන ආනයනකරුවෝ පසුගියදා ප්‍රකාශ කළේය.
විශේෂයෙන් එන්ජින් ධාරිතාව 1000 සීසී කාණ්ඩයේ වාහන සඳහා පනවා ඇති බදු ව්‍යූහය සංශෝධනය කිරීමට රජය අවධානය යොමු කළ යුතු බවත් එම ධාරිතා කාණ්ඩයට මෙරට මැදි ආදායම් ලබන්නන් අතර ජනප්‍රිය ඇල්ටෝ, වැගන් ආර්, යාරිස් සහ හස්ලර් වැනි වාහන මාදිලි තිබෙන බවත් වාහන ආනයනකරුවෝ පැවැසූහ.
ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවකින් යුතු සුසුකි වැගන් ආර් මෝටර් රථයක් සඳහා රුපියල් ලක්ෂ 40 ක පමණ බදු මුදලක් පැනවෙන බවත් දිට්වා සුළි කුණාටුවත් සමග පීඩාවට පත්ව සිටින මැදි ආදායම් ලබන පුද්ගලයන් දිරිමත් කිරීම සඳහා බදු ව්‍යූහය සංශෝධනය කිරීම සඳහා රජය අවධානය යොමු කළ යුතු බවත් වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.
දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් වාහන අලෙවිය සැලකිය යුතු මට්ටමකින් පහළ වැටී තිබෙන බවත් ඇතැම් වාහන ඇණවුම් ලබාදුන්නන්ට ආර්ථික අපහසුතා හේතුවෙන් ඇණවුම් ලබාදුන් වාහන මිලදී ගැනීමට නොහැකි වී තිබෙන බවත් වාහන ආනයනකරුවෝ සඳහන් කළහ.
ඒ හේතුවෙන් දින 90 ක් තුළ අලෙවි කිරීමට නොහැකි වුවහොත් පැනවෙන සියයට තුනක දඩ මුදල ඉවත්කර දෙන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.
අඩු එන්ජින් ධාරිතා වාහන බදු සංශෝධනය කරන්න - ආනයනකරුවෝ ඉල්ලති