IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


අඛණ්ඩ ස්ථාවරත්වයට ප්‍රතිසංස්කරණ මාවතේ දිගටම රැඳී සිටීම අත්‍යාවශ්‍යයි

  • දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50 කට වඩා ප්‍රමාණයකට සංචාරක කර්මාන්තය ප්‍රමුඛ සේවා අංශ දායකත්වය
  • රජයේ ආදායම් සහ වියදම් අතර පරතරය ඉදිරි වසර හතරේදී අඩුවනු ඇතැයි අපේක්ෂාවක්. ණය ගෙවීම ආරම්භ කිරීම ඊට තිබෙන අවදානමක්
  • මූල්‍ය පරතරය අඩු කිරීමේ මාවත බදු ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමයි
  • සාමූහික ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට ණය ශ්‍රේණිගත කිරීම්ද ඉහළ ගිහින්

විමුක්ති එස්. රුද්‍රිගු


කෙයාර් එජ් ග්ලෝබල්හි ප්‍රධාන විධායක නිලධාරිනී රේවතී පරාග් කස්තුරි

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ධනාත්මක සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කර තිබෙන බවත් ඉදිරි වසර හතරේදී සියයට 3 ත් 4 ත් අතර ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගනු ඇතැයි අපේක්ෂා කරන බවත් කෙයාර් එජ් ග්ලෝබල්හි ප්‍රධාන විධායක නිලධාරිනී රේවතී පරාග් කස්තුරි මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වය කරා ගමන් කරමින් සිටින බවත් අඛණ්ඩව ස්ථාවරත්වය කරා ගමන් කිරීමට දැන් අත්‍යාවශ්‍ය කරුණක් වන්නේ ප්‍රතිසංස්කරණ ගමන් මාර්ගයේ දිගටම රැඳී සිටීම බවත් ඇය සඳහන් කළාය.
ධනාත්මක මාවතකට පැමිණි ශ්‍රී ලංකාවට එම මාවතේ රැඳී සිටීමට අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය. ධනාත්මක මාර්ගයේ රැඳී සිටීමට ශ්‍රී ලංකාව ආදායම් මාර්ග ඉහළ දමාගත යුතු බවත් මෙරට මූල්‍ය සහ බාහිර ශේෂය ගමන් කරන දිශාවද ඊට වැදගත් බවත් ඇය පැවැසුවාය.
එසේම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ ගෝලීය වෙළෙඳාමෙන් එල්ලවන බලපෑම්ද ධනාත්මක මාවතේ රැඳී සිටීමට බලපාන බව ඇය ප්‍රකාශ කළාය. ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගනිමින් ධනාත්මක මාවතක් කරා ගෙන ඒමට මෙරට සේවා අංශය විශාල දායකත්වයක් ලබා දී තිබෙන බවද කස්තුරි මහත්මිය පෙන්වා දුන්නාය.
මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50 කට වඩා ප්‍රමාණයකට සංචාරක කර්මාන්තය ප්‍රමුඛ සේවා අංශය දායකත්වය ලබා දී තිබෙන බවද ඇය පැවැසුවාය. එයට මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය පුරෝගාමී වූ කර්මාන්ත ක්‍රියාකාරකම් සහාය වී ඇති බවද ඇය ප්‍රකාශ කළාය. රජයේ ආදායම් සහ වියදම් අතර පරතරය ඉදිරි වසර හතර තුළදී අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් කෙසේ වෙතත් ණය ගෙවීම ආරම්භ කිරීම ඊට තිබෙන අවදානමක් බවත් ඇය සඳහන් කළාය.
රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8 ක් වූ මෙරට බදු ආදායම පසුගිය වසර අවසන් වනවිට සියයට 12.4 ක් දක්වා වර්ධනය කර තිබූ බවද කස්තුරි මහත්මිය පැවැසුවාය. මෙරට මූල්‍ය පරතරය අඩු කිරීමේ මාවත රඳා පවතින්නේ බදු ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මත බවද ඇය ප්‍රකාශ කළාය.
ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කරගැනීමට රජය බලාපොරොත්තු වන බවත් මෙවර අයවැයෙන් සියයට 2.3 ක අතිරික්තයක් ඉලක්ක කර ඇති බවත් ඇය පැවැසුවාය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග රාජ්‍ය ණය සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් පොලී බර ඉදිරි වසර 5 තුළදී අඩුවනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. එය මැදිකාලීනව මූල්‍ය පීඩනය ලිහිල් කර තිබෙන බවද කස්තුරි මහත්මිය පෙන්වා දුන්නාය.
සාමූහික ක්‍රියාකාරකම් රාජ්‍ය ආදායම ඉහළ නංවා තිබෙන බවත් බදු කාර්යක්ෂමතාව ඉහළ නංවා තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය. සාමූහික ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට ණය ශ්‍රේණිගත කිරීම්ද ඉහළ ගොස් තිබෙන බවද ඇය පැවැසුවාය. 
සමස්ත නැගී එන ආර්ථිකවල දළ දේශීය නිෂ්පාදිතවල එකතුව 2027 වසර වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 45 ක් වනු ඇති බවත් 2027 වසර වනවිට නැගී එන ආර්ථික ඇති රාජ්‍යයන්හි සමස්ත ණය ප්‍රමාණය ගෝලීය සියලු‍ රාජ්‍යය ණයෙන් සියයට 44 ක් වනු ඇති බවත් කෙයාර් එජ් ග්ලෝබල්හි ප්‍රධාන විධායක නිලධාරිනී රේවතී පරාග් කස්තුරි මහත්මිය ප්‍රකාශ කළාය. ඉන් අදහස් වන්නේ නැගී එන ආර්ථික ඉදිරියට පැමිණෙමින් සිටින බවත් සම්ප්‍රදායික ලෝක පිළිවෙළ වෙනස් වෙමින් පවතින බවත් යැයි ඇය පැවැසුවාය.
කෙයාර් එජ් ග්ලෝබල් සමාගම ඉන්දියාවේ දෙවැනි විශාලතම ණය ශ්‍රේණිගත කිරීම් සමාගම වන අතර දශක 3 කට වැඩි අත්දැකීම් ඇති මූල්‍ය සමාගමක් බවද ඇය ප්‍රකාශ කළාය. කෙයාර් එජ් ග්ලෝබල් සමාගම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ශ්‍රේණිගත කර ඇති බවත් ඉන්දියානු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වෘත්තීය කළමනාකාරිත්වයක් සහිත සමාගමක් බවත් ඇය පැවැසුවාය.
‘ශ්‍රේණිගත කිරීම් සහ නියාමන හරහා විශ්වාසය ගොඩනැගීම’ යන තේමාව යටතේ ණය සහ ප්‍රාග්ධනය පිළිබඳ ද ඩයලොග්’ වැඩසටහන කොළඹ රත්නදීප හෝටලයේදී පසුගියදා පැවැත්විණි. එම වැඩසටහනේදී කෙයාර් එජ් ග්ලෝබල්හි ප්‍රධාන විධායක නිලධාරිනී රේවතී පරාග් කස්තුරි මහත්මිය මෙම අදහස් පළ කළාය.



අදහස් (0)

අඛණ්ඩ ස්ථාවරත්වයට ප්‍රතිසංස්කරණ මාවතේ දිගටම රැඳී සිටීම අත්‍යාවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site