IMG-LOGO

2026 අගෝස්තු මස 19 වන බදාදා


lnsureme මෙහෙයුම් මෙරටින් පිටතටත් ව්‍යාප්ත කිරීමට යයි

සිංගප්පූරුවේ ගනුදෙනුකරුට පසුව තායිලන්තයේ ඇති හැකියාව සොයයි 
භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මෙරට පළමු ඩිජිටල් රක්ෂණ තැරැව්කාර සමාගම වන  InsureMe Insurance Brokers PLC (Insureme ඉදිරියේදී මෙරටින් පිටතටත් සිය ව්‍යාපාර මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට සූදානමින් සිටින බව පවසයි. 
ඒ අනුව සිය පූර්ණ හිමිකාරීත්වය සහිත ඩිජිටල් සේවා සම්පාදන සමාගම වන DIGIS හරහා මෙම කටයුතු සිදු වන බව සමාගමේ සම නිර්මාතෘ, අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ධර්මපාල මහතා පවසයි. 
පසුගියදා නිකුත් කෙරුණු Insureme  සමාගමේ මංගල වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ. 

“මෙම DIGIS  හරහා අපි දැනටමත් රක්ෂණ ක්ෂේත්‍රයේ අගය දාමයට සම්බන්ධ රක්ෂණකරුවන්, බැංකු සහ අනෙකුත් පිරිස් වෙත අවශ්‍ය (SaaS - Software – as – a Service) වේදිකාවක් නිර්මාණය කරමින් සිටිනවා. දැනටමත් අපේ පළමු ජාත්‍යන්තර ගැනුම්කරු සිංගප්පූරුවෙන් ලැබී තිබෙනවා. ඉදිරියේදී තායිලන්තයේ පවතින අවස්ථා අපි සොයා බලනවා.” ඒ මහතා පවසයි. 
ඒ අනුව ශ්‍රී ලාංකික නවෝත්පාදන සතුව කලාපීය වේදිකාව තුළ වඩාත් සාර්ථකව තරගකිරීම සඳහා හැකියාවක් පවතින බව මින් පෙන්නුම් කරන බවත් ඒ මහතා සඳහන් කරයි. 
“කෘත්‍රිම බුද්ධිය, ස්වයංක්‍රීයකරණය සහ ඩිජිටල් තාක්ෂණික හැකියාවන් මගින් රක්ෂණ කර්මාන්තය අලු‍ත් කරනවා. පාරිභෝගික අත්දැකීම් සරලකරමින්, මෙහෙයුම් කාර්යක්ෂමතාව දියුණු කරමින් සහ අපගේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන්ට වඩාත් හොඳින් වටිනාකම් ලබාදීමට සම්පූර්ණයෙන්ම නව මාවත් මේ හරහා නිර්මාණය වන බව අපිට පෙනෙනවා.” යනුවෙන්ද ඒ මහතා පවසා සිටියි.

 

 



අදහස් (0)

lnsureme මෙහෙයුම් මෙරටින් පිටතටත් ව්‍යාප්ත කිරීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site