ලොව ප්‍රමුඛතම ප්‍රවාහන (ride-hailing) සහ බෙදාහැරීම් (delivery) සේවා සපයන තාක්ෂණික යෙදවුමක් වන Uber සමාගම, සිය ශ්‍රී ලාංකීය ව්‍යාපාරික කටයුතු දේශීයකරණය කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කරමින්, සිය දේශීය මෙහෙයුම් Uber Lanka පුද්ගලික සමාගම (Uber Lanka Private Limited) යටතට පත් කර තිබේ. මෙයින් අදහස් වන්නේ Uber සමාගම මේ වන විට ශ්‍රී ලංකාව තුළ පූර්ණ වශයෙන් ලියාපදිංචි වූ දේශීය සමාගමක් ලෙස ස්ථාපිත වී ඇති බවයි. මෙමගින්, දිවයින පුරා සිය සේවා තවදුරටත් ව්‍යාප්ත කරන අතරතුර ශ්‍රී ලංකාව කෙරෙහි එම සමාගම සතු දිගුකාලීන කැපවීම යළිත් තහවුරු කෙරේ.
යෝජිත ඩිජිටල් බදු රාමුව සහ දේශීයව ලියාපදිංචි ව්‍යාපාර මෙන්ම විදේශීය ඩිජිටල් වේදිකා අතර සමාන ව්‍යාපාරික අවස්ථා සහිත සමාන තරගකාරී වෙළෙඳපොළ පරිසරයක් පැවතීමේ අවශ්‍යතාව පිළිබඳව මෑතකදී ඇති වූ සංවාද අතරතුර, Uber සමාගම මේ බව ලංකාදීප පුවත්පත වෙත අනාවරණය කළේය. සිය ව්‍යාපාරික කටයුතු මෙලෙස දේශීයකරණය කිරීම හරහා Uber සමාගම මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අනෙකුත් දේශීයව ලියාපදිංචි සමාගම් හා සමාන තත්වයකට පත්ව ඇත.
Uber සමාගම 2015 වසරේදී මෙරට වෙළෙඳපොළට පිවිසි දා සිට සිය ප්‍රවාහන මෙන්ම බෙදාහැරීම් සේවා ව්‍යාප්ත කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කර ඇති අතර, මෙම නවතම පියවර මගින් එම සමාගම මෙරට තුළ සිය පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම් වන බවට ලැබෙන මනාවූ පිළිබිඹුවක් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ විශ්වාස කරති.
මේ පිළිබඳව නිල ප්‍රකාශයක් කරමින් Uber මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ”ශ්‍රී ලංකාව යනු ඉහළ විභවතාවක් සහිත, කලාපය තුළ Uber සමාගමට අතිශය වැදගත් වන වෙළෙඳපොළක්. අපගේ ව්‍යාපාරික කටයුතු දේශීයකරණය කිරීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහි අප තුළ පවතින දිගුකාලීන කැපවීම සහ එහි අනාගතය පිළිබඳව අප සතු විශ්වාසය තවදුරටත් තහවුරු වනවා. අප තවදුරටත් නව නගර කරා ව්‍යාප්ත වෙමින් වැඩි පිරිසකට සේවා සපයන විට, මෙම පියවර අපගේ වර්ධනයට මෙන්ම මෙරට සමාජයට සිදු කරන සාධනීය බලපෑමට ශක්තිමත් පදනමක් සපයනවා.” යනුවෙනි.
Uber:”අපිත් ලංකාවේ ලියාපදිංචි වූ අනෙකුත් ඕනෑම සමාගමක් මෙන්ම පූර්ණ දේශීය සමාගමක්”