IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


SME අංශයේ වර්ධනයෙන් බැංකු නොවන මූල්‍ය සමාගම් ඉදිරිය සුබ අතට

2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී බැංකු නොවන මූල්‍ය සමාගම්හි බදු පසු ලාබය සියයට 59.3කින් ඉහළ ගිහින්
ණය පොතත් පෙර වසරට සාපේක්ෂව සියයට 29 කින් වර්ධනය වෙලා


මෙරට ආර්ථිකය යථාවත්වීමත් සමගින්ම, මූලිකවම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ පෙන්නුම් කරන වර්ධනය හේතුවෙන් ඉදිරියේදී මෙරට බැංකු නොවන මූල්‍ය සමාගම්වල කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි වනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත අදහස් දැක්වූ Asha Securities Limited  සමාගම, අද වනවිට මෝටර් රථ ආනයන සිමා ලිහිල් කිරීමෙන් අනතුරුව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින කල්බදු ලීසි සඳහා වන ඉල්ලු‍මට අමතරව, මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නව ව්‍යවසාය ආරම්භ කිරීමට සහ පවතින ව්‍යවසාය දියුණු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත වැඩිවශයෙන් යොමුවීම ඊට හේතුවනු ඇතැයි පවසයි.

 “දත්ත වාර්තා පෙන්නුම් කරන ආකාරයට පසුගිය වසරට සාපේක්ෂව 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළදී බැංකු නොවන මූල්‍ය සමාගම්හි බදු පසු ලාබය සියයට 59.3කින් ඉහළ ගිහින් තිබෙනවා. ඒ වගේම ණය පොතත් පෙර වසරට සාපේක්ෂව සියයට 29 කින් වර්ධනය වෙලා.”

මේ අතරම ආසන්න කාලසීමාවේදී රන් මිලෙහි සිදු වූ වර්ධනයත්, මෙම බැංකු නොවන මූල්‍ය ආයතන හරහා ලබා ගන්නා රන් ණය ප්‍රමාණය ඉහළ යෑමටද හේතුවක් වී තිබේ. 

 “මෙම බැංකු නොවන මූල්‍ය අංශය 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළදී වාර්තා කළ දළ පොලී ආදායම්ද පෙර වසරට සාපේක්ෂව 28.3කින් ඉහළ ගිහින් තිබෙනවා. එතැනදී මූලිකවම වෙළෙඳපොළ පොලී අනුපාතවල සිදුව තිබෙන කැපී පෙනෙන පහත වැටීම හේතුවක්.’’

ඊට අමතරව 2023 මූල්‍ය වර්ෂයේදී සියයට 16ක පැවැති අක්‍රිය ණය අනුපාතයත් අද වනවිට සියයට 8.3ක් දක්වා අඩුව තිබීමත් සමගින්ම මෙම සමාගම් තමන් සතු වත්කම් ප්‍රමාණයද කැපී පෙනෙන ලෙස ඉහළ නංවා ගැනීමට සමත්ව තිබීමත් විශේෂත්වයක් ගන්නා බව Asha Securities පවසයි. 
විශේෂයෙන්ම 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව වන විට ලබාදී තිබෙන දළ ණය සහ අත්තිකාරම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 1.73ක් ලෙස සටහන්ව තිබේ. එය 2025 මූල්‍ය වර්ෂය හා සැසඳීමේදී සියයට 29.06ක වර්ධනයකි.
 “මේ බැංකු නොවන මූල්‍ය සමාගම්වල අනාගතය ගත්තොත්, ඔවුන් දැන් වැඩි වශයෙන් තාක්ෂණය වෙත යොමු වෙමින් තිබෙනවා. ඒ හරහා ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් මෙම සමාගම් හා ගනුදෙනු කරන්න හැකියාව ලැබී තිබෙනවා. මේ හේතුවෙනුත් ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ඉදිරියේදී වැඩි වී ණය පොත වර්ධනය කරගැනීමේ හැකියාවක් පවතිනවා.“

 



අදහස් (0)

SME අංශයේ වර්ධනයෙන් බැංකු නොවන මූල්‍ය සමාගම් ඉදිරිය සුබ අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site