IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


SLTC සංවිධානය කළ 2025 ජාත්‍යන්තර පර්‌යේෂණ සමුළුව සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය (SLTC) සංවිධානය කළ ‘2025 ජාත්‍යන්තර පර්‌යේෂණ සමුළුව (IRC 2025)’ පසුගියදා සාර්ථකව පැවැත්විණි. මෙම සමුළුවේ සමාරම්භක උත්සවය 2025 නොවැම්බර් 12 වැනි දින කොළඹ 10, ට්‍රේස් එක්ස්පර්ට් සිටි හි පිහිටි ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර, දෙවැනි දින වැඩසටහන 2025 නොවැම්බර් 13 වැනි දින පාදුක්ක ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
 ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම ජාත්‍යන්තර පර්‌යේෂණ සමුළුවට ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යායේ කළමනාකාරිත්වය ඇතුළු දෙස් විදෙස් විද්වත්හු රැසක් සහභාගි වූහ. 
‘Unified by Innovation-Exploring the Digital Frontiers Across Disciplines’ යන තේමාව යටතේ පැවැත්වුණු මෙම ජාත්‍යන්තර පර්‌යේෂණ සමුළුව, ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල්කරණ ඉලක්කවලට සහාය වන අන්තර් විෂය පර්‌යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ ඒ ආශ්‍රිත සහයෝගිතා පෝෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක විය. ‘2025 ජාත්‍යන්තර පර්‌යේෂණ සමුළුව’ ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්‌යේෂණ පීඨය (FPSR) යටතේ ක්‍රියාත්මක වන පර්‌යේෂණ හා නවෝත්පාදන සේවා කාර්යාලය (ORIS) විසින් සංවිධානය කරනු ලබන සුවිශේෂී වාර්ෂික වැඩසටහනක් ලෙස හඳුන්වා දිය හැකි අතර, මෙවර පැවැත්වුණේ එම පර්‌යේෂණ සමුළුවේ අති සාර්ථක 5 වැනි වරටයි.
ඉංජිනේරු විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, AI සහ රොබෝ විද්‍යාව, මූලික විද්‍යා, තිරසාර කෘෂිකර්මාන්තය හා පරිසරය, ආහාර තාක්ෂණය, සමාජ විද්‍යාව හා මානව ශාස්ත්‍ර, ව්‍යාපාර උපායමාර්ග හා විලාසිතා සහ රෙදිපිළි තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර දොළහක් ආවරණය කරමින් ‘2025 ජාත්‍යන්තර පර්‌යේෂණ සමුළුව’ පැවැත්වුණු අතර, මෙවර සමුළුවට ප්‍රධාන දේශන දෙකක් සහ පූර්ව සම්මන්ත්‍රණ වෙබ්නාර් තුනක් ඇතුළත් විය. 
එමෙන් ම සමාරම්භක උත්සවයේ දී SLTC විද්‍යා, ඉංජිනේරු සහ තාක්ෂණ පිළිබඳ පර්‌යේෂණ සඟරාව (J-SET) දොරට වැඩීම ද සුවිශේෂී සිදුවීමක් විය.
මොරටුව විශ්ව විද්‍යාලයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ මහාචාර්ය තුෂාරි සිල්වා සහ ක්‍රොඒෂියාවේ සැග්‍රෙබ් විශ්ව විද්‍යාලයේ සංවිධාන හා තොරතුරු විද්‍යා පීඨයේ පූර්ණ මහාචාර්ය ඉගෝර් බලබන් යන මහත්ම මහ්ත්මීන් මෙම සමුළුව පැවැත්වූ දින දෙකෙහි ප්‍රධාන දේශන ද්විත්වය පවත්වන ලද අතර, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජයරත්න, ආචාර්ය දීපිකා ප්‍රියදර්ශනී සහ පශ්චාත් උපාධි අධ්‍යයන සහ පර්‌යේෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය ලක්ෂිත පහලගෙදර යන මහත්ම මහත්මීහු ද සමුළුව ඇමතූහ.



අදහස් (0)

SLTC සංවිධානය කළ 2025 ජාත්‍යන්තර පර්‌යේෂණ සමුළුව සාර්ථකව අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site